රාජපක්ෂලාගේ අත්තනෝමතික ව්‍යූහයන් වත්මන් ආණ්ඩුවත් ඒ ආකාරයෙන්ම රකින්නේ ඇයි?
කොළඹ වරාය නගරය (Port City) යනු ශ්‍රී ලංකාවේ නීතියට යටත් භූමියක් ද, නැතහොත්
කිසිදු විනිවිදභාවයක් නොමැතිව පාලනය වන වෙනමම රාජ්‍යයක් ද යන බරපතළ ප්‍රශ්නය මේ වන විට යළිත් වරක් මතු වී තිබේ. ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) තුළ සිදුවන නීති විරෝධී සහ අත්තනෝමතික පත්වීම් මාලාවයි.


විශේෂයෙන්ම අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ, කොමිසමේ ‘වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂ’ සහ ‘නීති අධ්‍යක්ෂ’ යන තනතුරු දෙකම එකවර පුරප්පාඩු වී, ඒ සඳහා එකවර අයදුම්පත් කැඳවා තිබියදීත්, ඉන් එක් තනතුරක් පමණක් (වාණිජ අධ්‍යක්ෂ) පිරවීමට කොමිසම කටයුතු කිරීමයි. වසර දෙකකට ආසන්න කාලයක් නීති අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩුව තබා ගනිමින්, එම තනතුරේ රාජකාරි ද වාණිජ අධ්‍යක්ෂවරිය වෙත පැවරීම තුළින් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර ඇත.

(රධිකා ඔබේසේකර)
මෙහි ඇති බරපතළම ඛේදවාචකය නම්, වාණිජ හා මෙහෙයුම් අධ්‍යක්ෂවරිය ලෙස පත්කර ඇති රධිකා ඔබේසේකර, එම තනතුර සඳහා කොමිසම විසින්ම ඉල්ලා සිටි මූලික සුදුසුකම් හෝ සපුරා නොතිබීමයි. අදාළ තනතුර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් (MBA) හෝ ඊට සමාන සුදුසුකම් සමග වාණිජ අංශයේ ඉහළ කළමනාකාරීත්ව පළපුරුද්දක් ඉල්ලා තිබුණි. එහෙත් ඇය සතුව ඇත්තේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධියක් සහ අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් පමණි. ඇයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් දැවැන්ත වාණිජ මෙහෙයුම් පිළිබඳ කිසිදු ප්‍රායෝගික පළපුරුද්දක් නොමැති වීම තුළ, ඇයව මෙම තනතුරට බඳවා ගත්තේ කෙසේද යන්න පළමු ප්‍රහේලිකාවයි.
අනෙක් අතට, ඇය විසින් මේ වන විට අනීතිකව ආවරණය කරමින් සිටින නීති අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය දෙස බැලූ විට තත්ත්වය තවත් බරපතළය. කොමිසම නියම කර ඇති පරිදි, නීති අධ්‍යක්ෂවරයාට වාණිජ නීතිය, දේපළ නීතිය, බේරුම්කරණය වැනි අංශවල දශකයකට වැඩි ජ්‍යෙෂ්ඨ නීතිමය පළපුරුද්දක් තිබිය යුතුය. ඔබේසේකර මහත්මිය නීතිඥවරියක වුවද, ඇගේ වෘත්තීය ජීවිතය ගෙවී ඇත්තේ පරිපාලන සහ විධායක නිලධාරිනියක ලෙස මිස නීති උපදේශනය හෝ නීති කෙටුම්පත් සම්පාදනය තුළ නොවේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කළ වින්ද්‍යා වීරසේකර මහත්මිය වසර 26ක නීති පළපුරුද්දක් සහ ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහිත, එම තනතුරට උපරිම සාධාරණයක් ඉටු කළ හැකි තැනැත්තියකි. එතරම් සුදුසුකම් සහිත නිලධාරිනියක් ඉවත්ව ගිය පසු, කිසිදු විධිමත් බඳවා ගැනීමේ පටිපාටියකින් තොරව, අදාළ සුදුසුකම් කිසිවක් නොමැති වාණිජ අංශයේ නිලධාරිනියකට නීති අංශයේ බලතල ද පැවරීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද?
වරාය නගරයේ ගිවිසුම්, දේපළ පවරාදීම් සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ස්වාධීන නීතිමය අධීක්ෂණයක් සිදුකළ යුත්තේ නීති අධ්‍යක්ෂවරයා විසිනි. නමුත් එම නීතිමය අධීක්ෂණය, වාණිජ කටයුතු මෙහෙයවන නිලධාරිනියටම පැවරීම කුමක් බඳු ද? කළමනාකාරීත්වයේ තීරණ ස්වාධීනව ප්‍රශ්න කළ යුතු නීති අංශය, කළමනාකාරීත්වය තුළටම දියකර හැරීම කිසිසේත්ම අහඹු සිදුවීමක් විය නොහැකිය. ඉන් පැහැදිලි වන්නේ ස්වාධීන නීතිමය විනිවිදභාවය කොමිසමට හිසරදයක් වී ඇති බවයි.

(රෙවාන් වික්‍රමසූරිය)
මෙම බරපතළ තත්ත්වය පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් ද පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කළේය. නිසි නීතිමය අධීක්ෂණයක් නොමැතිව මෙතරම් දැවැන්ත කොමිසමක් ගන්නා තීරණවල නීත්‍යානුකූලභාවය කුමක්දැයි ඔහු එහිදී විමසා සිටියේය. එමෙන්ම වරාය නගර කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් පිළිබඳව ඔහු කළ විමසීම්වලට පවා, නිලධාරීන්ගේ තනි වැටුප් විස්තර ලබාදීම ප්‍රතික්ෂේප කරමින්, සමස්ත වැටුප් බිල්පත පමණක් ඉදිරිපත් කර තොරතුරු වසන් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය බැංකු ණය කපා හැරීම් සහ වරාය නගරයේ පාලනය පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්න හරහා මනාව පැහැදිලි වන්නේ මෙම ආයතනය තුළ පවතින දැවැන්ත අක්‍රමිකතාව සහ වගවීමක් නොමැතිකමය.
අවසාන වශයෙන් මතු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ, මෙම වරාය නගර කොමිසම යනු රාජපක්ෂ පාලන සමයේදී කිසිදු වගවීමකින් තොරව, තමන්ට රිසි සේ කටයුතු කිරීම සඳහා නීතිය නමමින් නිර්මාණය කරන ලද අත්තනෝමතික ව්‍යූහයක් බවයි. ප්‍රශ්නය ඇත්තේ එතැන පමණක් නොවේ; යහපාලනයක් සහ සුපිරිසිදු රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, රාජපක්ෂවරුන් විසින් සකස් කළ මෙම විනිවිදභාවයෙන් තොර, දූෂිත ව්‍යූහයන් ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යන්නේ ඇයි ද යන්නයි.
වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ නීතියට යටත් භූමියක් නම්, වහාම මෙම අක්‍රමිකතා විමර්ශනය කර කොමිසමේ පාලනය විනිවිදභාවයකට ලක් කිරීම වත්මන් ආණ්ඩුවේ අනිවාර්ය වගකීමකි. එසේ නොමැතිව යහපාලන සටන් පාඨ කියමින් පෝට් සිටියට පමණක් වෙනම න්‍යායක් ක්‍රියාත්මක කරන්නේ නම්, වරාය නගරය යනු සැබැවින්ම ශ්‍රී ලංකාවට අයිති නැති වෙනම රාජ්‍යයක් බව ජනතාවට පිළිගැනීමට සිදු වනු ඇත.
මූලාශ්‍ර -
වරාය නගරය පුවත්පත් දැන්වීම්,
ශානක්‍යන්ගේ පාර්ලිමේන්තු ඇමතීම්,
ද ලීඩර් සහ ලංකාලීඩර් වෙබ් ලිපි,

