SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

| භූ-දේශපාලනික විශ්ලේෂණය

 

මානව යහපත උදෙසා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්

අද (16) නවදිල්ලියේදී ආරම්භ වන විශේෂ සමුළුව හුදෙක් තාක්ෂණික එකතුවක් පමණක් නොවේ. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් වැනි ලෝක බලවතුන් ගැවසෙන එම වේදිකාවට ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ද ගොඩවීම, දකුණු ආසියානු භූ-දේශපාලන චෙස් පුවරුවේ තීරණාත්මක ඉත්තෙක් ඉදිරියට තැබීමකි.

 

 

  1. ඉන්දියාවේ 'මෘදු බල' (Soft Power) මෙහෙයුම සහ NPP ආණ්ඩුව

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ඓතිහාසික ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය මේ වන විට සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇත. ඉන්දියාව මේ මොහොතේ අනුගමනය කරන්නේ අතිශය සූක්ෂම 'අවශෝෂණ' (Absorption) න්‍යායකි.

 

  • ගෝලීය ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම:

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව මැක්‍රෝන් සහ ලූලා ද සිල්වා වැනි නායකයින් සමග එකම වේදිකාවක අසුන් ගැන්වීම හරහා ඉන්දියාව ඔහුට 'ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ' වටිනාකමක් (Global Statesman aura) ලබා දෙයි. දේශීය වශයෙන් ආර්ථික හා පරිපාලන අභියෝගවලට මුහුණ දෙමින් සිටින ආණ්ඩුවකට මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් අත්‍යවශ්‍ය බව නවදිල්ලිය මැනවින් දනී.

  • බැඳ තබා ගැනීමේ උපාය:

මීට පෙර හරිනි අමරසූරියව සහ නාමල් රාජපක්ෂව විවිධ මානයන්ගෙන් 'ප්‍රමෝට්' කළ ඉන්දියාව, දැන් ජනාධිපතිවරයාවම සිය කලාපීය න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොටස්කරුවෙකු කරගෙන ඇත. මෙය ණය ප්‍රතිව්‍යුහගත කිරීම්, බලශක්ති ව්‍යාපෘති (අදානි) සහ ගොඩබිම් පාලම වැනි ඉන්දීය භූ-දේශපාලනික ව්‍යාපෘති සඳහා කොළඹින් කොන්දේසි විරහිත සහායක් ලබා ගැනීමේ 'මිලක් සහිත ආයෝජනයකි'.

2. ජනාධිපතිවරයාගේ 'කඹයේ යාම'

වත්මන් ජාතික ජන බලවේග රජය ඉන්දියාව ඉදිරියේ දක්වන මෙම නම්‍යශීලීභාවය ඔවුන්ගේ ඓතිහාසික දෘෂ්ටිවාදයට පරස්පර වුවද, භූගෝලීය යථාර්ථය හමුවේ ඔවුන්ට වෙනත් විකල්පයක් නැත.

  • ලංකාවේ ආර්ථිකය හැසිරවීමේදී ඉන්දීය ණය යෝජනා ක්‍රම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හරහා ලැබෙන බලපෑම මගහැර යාමට ජනාධිපතිවරයාට නොහැකිය. නවදිල්ලියට අවශ්‍ය වන්නේ කොළඹ පාලනය තම 'ආරක්ෂක කුඩය' (Security Umbrella) යටතේම තබා ගැනීමටයි.

3. මකරාගේ නිහැඬියාව: චීනයේ උපායමාර්ගික ඉවසීම (Strategic Patience)

මෙම සමස්ත ක්‍රියාවලිය දෙස බීජිනය බලා සිටින්නේ දැඩි නිහැඬියාවකිනි. නමුත් එය දුර්වලකමක් නොවේ. වත්මන් ලංකා රජය ඉන්දියාව සහ බටහිර දෙසට බරවෙමින් සිටින බව චීනය ඉතා හොඳින් අධ්‍යයනය කර ඇත.

 

  • බලා සිටීමේ කලාව:

චීනය මේ මොහොතේ කලබල වී නැත. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි සිය මූලෝපායික ආයෝජනයන් සුරක්ෂිතව පවතින තාක්, ඔවුන් ලංකාවේ දේශීය දේශපාලන හැලහැප්පීම්වලට සෘජුව මැදිහත් නොවේ.

  • ආර්ථික උගුල:

ඉන්දියාවෙන් කොතරම් දේශපාලන සහයෝගයක් ලැබුණද, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනයට හෝ දැවැන්ත ආර්ථික අර්බුදයකදී ක්ෂණික සහන සැලසීමට ඇති හැකියාව අතින් චීනය ඉදිරියෙන් සිටී. ආණ්ඩුවට යම් මොහොතක ආර්ථික වශයෙන් හුස්ම හිරවන තත්ත්වයක් උදා වුවහොත්, චීනය නැවතත් සිය ආර්ථික බලය (Debt Trap / Economic Statecraft) හරහා ශ්‍රී ලංකාව තුළ සිය ආධිපත්‍යය තහවුරු කරනු ඇත.

ඉන්දීය ජනරජ දින සැමරුමට විපක්ෂයේ (නාමල් - සජබ) නියෝජිතයන් ගෙන්වා ඔවුන්ව 'විකල්පයක්' ලෙස පෝෂණය කළ ඉන්දියාවම, අද ජනාධිපති අනුර කුමාර දිසානායකට ලෝක නායකයින් සමග හිඳගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙය හුදෙක් 'කෘත්‍රිම බුද්ධිය' පිළිබඳ සමුළුවක් නොව, ශ්‍රී ලංකාව ඉන්දීය කක්ෂයෙන් ගිලිහී යාම වැළැක්වීම සඳහා මෝදි දියත් කළ 'ස්වභාවික බුද්ධි' මෙහෙයුමකි. චීනය සීරුවෙන් බලා සිටින්නේ මෙම ඉන්දු-ලංකා මධුසමය අවසන් වී, ආර්ථික යථාර්ථය කොළඹ ආණ්ඩුවේ දොරට තට්ටු කරන තුරුය.

 

නවතම ලිපි