SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලිපි අංක 01 (විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

"ඉන්දියානු ව්‍යාප්තවාදය" — මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ගම් නියම්ගම් සිසාරා රතු කමිස හැඳි

තරුණයින්ගේ රුධිරය උණුසුම් කළ, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සුප්‍රසිද්ධ 'දේශපාලන පන්ති පහේ' එක් ප්‍රධාන මාතෘකාවකි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සතුරා ලෙස ඉන්දියාව යක්ෂාවේශ කළ ජවිපෙ, අද වන විට බලයේ උච්චතම ස්ථානයට පැමිණ ඇත.

 

 

එහෙත්, පුදුමයකට මෙන් අද ඔවුන්ගේ දැඩි ඉන්දීය විරෝධය ඈත අතීතයට අයත් බොඳ වූ මතකයක් පමණි. බලය නොමැති දා වේදිකා දෙවනත් කළ සටන් පාඨ අද වල් වැදී ඇත. ඒ වෙනුවට දැන් අපට දක්නට ලැබෙන්නේ ඉන්දියාව දෙසට විවෘත කළ දොරටු සහ 'දිල්ලි වන්දනාවන්' ය.

 

 

ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ගේ මෑතකාලීන (2026 පෙබරවාරි) ඉන්දීය සංචාරය, මෙම දෘෂ්ටිවාදාත්මක විපර්යාසයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරයි.

 indian wyapthawadaya

 

සතුරාගෙන් මිතුරාට: සැලසුම් සහගත දේශපාලන මෙහෙයුම

 

ජාතික ජන බලවේගය (NPP) ලෙස වෙස් ගැන්වුණු ජවිපෙ නායකත්වය ඉන්දියාවේ 'අතකොලුවක්' බවට පත්වෙමින් සිටින බව අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමට පෙර සිටම පැහැදිලි විය. 2024 පෙබරවාරි මාසයේදී, එවකට ජනාධිපති අපේක්ෂකයා පමණක් වූ අනුර දිසානායක ට නිල වශයෙන් ඉන්දියාවට ආරාධනා කිරීම හරහා නවදිල්ලිය දුන්නේ පැහැදිලි සංඥාවකි. එනම්, තමන්ට අවනත වන්නේ නම් අතීත සතුරන් පවා රතු පලසක් එලා පිළිගැනීමට ඔවුන් සූදානම් බවයි.

 

මෙම ආයෝජනය ඉන්දියාවට අපතේ ගියේ නැත. 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු, දෙසැම්බර් මාසයේදී නව ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය සංචාරය දිල්ලියට වීමත්, එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිසානායක ව උණුසුම් ලෙස වැළඳගත් ඡායාරූපයත් "වචන දහසකට වඩා" දේවල් ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර ලෙස 2025 අප්‍රේල් මාසයේදී මෝදි ශ්‍රී ලංකාවේ කළ සංචාරය මෙම සබඳතාවයේ මධුසමය විය.

 

සබාස්බ චදක

 

රාජ්‍ය යාන්ත්‍රණයට රිංගන 'මෘදු බලය' (Soft Power)

 

අද වන විට ඉන්දියාව තම දකුණු අසල්වැසියා ආක්‍රමණය කරන්නේ අවි ආයුධවලින් නොවේ; ඒ 'ධාරිතා වර්ධන වැඩසටහන්' (Capacity Building Programs) නමැති රාජ්‍ය තාන්ත්‍රික සළුපිළිවලින් සැරසීගෙනය. චීනය වෙත නැඹුරු වූ මහින්ද රාජපක්ෂ යුගයේදී ගිලිහී ගිය බලය, ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවේ සංවේදීම මර්මස්ථාන හරහා යළි ගොඩනගමින් සිටී. පසුගිය මාස 14 තුළ පමණක් සිදුවූ දේ දෙස බලන්න:

 

  • අධිකරණය: අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝජිතයින් 10ක්, මහාධිකරණ විනිසුරුවරුන් 20ක් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 30ක් ඉන්දියාවේ 'පුහුණුවීම්' සඳහා සහභාගී වීම.
  • සිවිල් පරිපාලනය: ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලාංකික සිවිල් සේවකයින් 1500කට ඉන්දියාවේ ජාතික යහපාලන මධ්‍යස්ථානය (NCGG) හරහා පුහුණුව ලබා දීමට ගිවිසුම්ගත වීම.
  • විගණනය: ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් 35 දෙනෙකු ඉන්දියාවේදී පුහුණු කිරීම.

 

මේවා හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික වචන ලෙස පෙනුණද, මේවායේ 'යටිපෙළ කියවන' ඕනෑම අයෙකුට වැටහෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පිරිස් පාලනය තුළට ඉන්දියාව සිය බලපෑම කෙතරම් සූක්ෂමව කාවද්දමින් සිටිනවාද යන්නයි.

 NW0032

ආගමික රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රහස් ගිවිසුම්

 

බහුතරයකගේ ආගමික භක්තිය තම වාසියට හරවා ගැනීමටද ඉන්දියාව අමතක කර නැත. ඉන්දියාවේ සිට වැඩම කරවූ බුද්ධ ධාතු ප්‍රදර්ශනය සහ දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය (මෙය පෙබරවාරි 4 නිදහස් දිනයටම සමපාත කිරීම අහඹුවක් නොවේ) හරහා ශ්‍රී ලාංකීය ජන සමාජයේ හදවත් දිනාගැනීමට නවදිල්ලිය සමත් වී ඇත.

 

එහෙත්, මේ සියලු ප්‍රදර්ශනාත්මක සංදර්ශන පිටුපස ඇත්තේ අඳුරු යථාර්ථයකි. වත්මන් රජය, ඉතිහාසයේ අන් කවරදාටත් වඩා ඉන්දියාව සමග රහස්‍ය ගිවිසුම් රාශියකට එළඹ ඇති බවට චෝදනා නැඟේ. යහපාලනය සහ විනිවිදභාවය ගැන වේදිකාවල කෑගැසූ පක්ෂයක්, මේ දක්වා එම ගිවිසුම්වල අන්තර්ගතය ජනතාවගෙන් වසන් කරන්නේ ඇයි?

 

ටිල්වින්ගේ ගමන: යටත්වීමේ නිල මුද්‍රාව

 

ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදාත්මක එන්ජිම ලෙස සැලකෙන මහලේකම් ටිල්වින් සිල්වාගේ මෑතකාලීන ඉන්දීය සංචාරය, මෙම යටත්වීමේ නිල මුද්‍රාවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක බලධාරීන් සමග සාකච්ඡා මේසයේ වාඩි වන විට, ටිල්වින් සිල්වාට තම පක්ෂයේ අතීත "ඉන්දියානු ව්‍යාප්තවාද" පන්තිය මතක් වූවාදැයි දන්නේ ඔහුම පමණි.

 

WhatsApp Image 2026 02 12 at 09.30.371

 

 

බලය යනු පුදුමාකාර දෙයකි. එය දෘෂ්ටිවාදයන් දියකර හරියි; සතුරන් මිතුරන් කරයි. අද ජාතික ජන බලවේගය මුහුණ දී සිටින්නේ ලෝක දේශපාලන යථාර්ථයටයි. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට කලාපීය දැවැන්තයෙකු වන ඉන්දියාව මගහැර යා නොහැකි බව සැබෑවකි. නමුත් ඛේදවාචකය වන්නේ, බලය ලබාගැනීම වෙනුවෙන් පමණක් දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ මනස් තුළට ඉන්දීය විරෝධය කාවැද්දූ දේශපාලන ව්‍යාපාරයක්, අද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ සියලු සටන් පාඨ කුණු කූඩයට දමා ඉන්දියාවේ සෙවනැල්ලක් බවට පත්වීමයි. ජවිපෙ-එන්පීපී රජයේ මෙම විවෘත දොරටු ප්‍රතිපත්තිය අවසානයේදී දිල්ලියේ යහපතට මිස කොළඹ යහපතට හේතු වේද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

 

 

(මීළඟ ලිපිය - “‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ වෙනුවට ජවිපෙ රජය වැළඳගත් ඉන්දු-ලංකා ආර්ථික හා බලශක්ති ගිවිසුම්”)

නවතම ලිපි