"ගල් අඟුරු වංචාව තහවුරුයි. NPP රජය යටතේ ලබාදුන් විශාලතම ටෙන්ඩරය දූෂිතයි! ගල් අඟුරුවල තත්ත්වය දිගින් දිගටම බාලයි.
ලක්විජය බලාගාරයේ Lab results අනුවත් ගල් අඟුරු නියත ලෙසම ප්‍රමිතියෙන් තොරයි! අද දින ලක්විජය බලාගාරයේ සිදුකළ ගවේෂණ චාරිකාව තුළ, ඉංජිනේරු මතය අනුවත් එම තත්ත්වය නැවතත් තහවුරු වුණා."
(අජිත් පී. පෙරේරා - පාර්ලිමේන්තු මන්ත්‍රී)

ඉහත ප්‍රකාශයත් සමඟ මෙරට දේශපාලන කරළිය තුළ "ගල් අඟුරු අර්බුදය" තවත් උණුසුම් වී ඇත. මෙයට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, ආනයනය කළ පළමු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක තොගයේ තාප ධාරිතාව (Calorific Value) අඩු බව රජය පිළිගන්නා නමුත්, ඒ වෙනුවෙන් අදාළ සමාගමට "දෙගුණයක දඩයක්" පනවන බැවින් රජයට පාඩුවක් නොවන බවයි.
නමුත් මෙම "දඩ ගැසීමේ තර්කය" පිටුපස ඇති සැබෑ තාක්ෂණික සහ මූල්‍යමය යථාර්ථය කුමක්ද?
දඩය විසඳුමක්ද? නැතිනම් සූක්ෂම සැලසුමක්ද?

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි 2020 සිට 2023 දක්වා කාලය තුළ ද ඩොලර් මිලියන ගණනින් දඩ අයකරගෙන ඇත. එය සත්‍යයකි. එහෙත් මෙවර තත්ත්වය ඊට වඩා වෙනස් වන්නේ කරුණු කිහිපයක් නිසාය:
- සැලසුම් සහගත අඩු ප්‍රමිතිය: මෙම ටෙන්ඩරය හිමිකරගත් Trident සමාගම, ආරම්භයේ සිටම අඩු ගුණාත්මක භාවයෙන් යුත් ගල් අඟුරු සැපයීමේ සැලසුමක් සහිතව ඉතා අඩු මිලක් (Predatory Pricing) ඉදිරිපත් කළේද යන්න ගැටලුවකි. ඔවුන් ඉදිරිපත් කළ ලාභදායී මිල නිසා අනෙකුත් ගුණාත්මක සැපයුම්කරුවන්ට අවස්ථාව අහිමි විය.
- අඛණ්ඩ ගුණාත්මක පරිහානිය: අතීතයේදී සිදුවූයේ අහඹු ලෙස ඇතැම් නැව් තොගවල ප්‍රමිතිය සුළු වශයෙන් අඩුවීමයි. නමුත් වර්තමානයේදී අඛණ්ඩව නැව්ගත කිරීම් පිරිවිතරයන්ට වඩා අඩු මට්ටමක පැවතීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය නොහැක.
- ප්‍රතික්ෂේප කිරීමේ සීමාව (Rejection Limit): මීට පෙර TRAFIGURA වැනි ලෝක මට්ටමේ සමාගම්වලින් ලැබුණු පිරිවිතරයන්ට වඩා අඩු ගල් අඟුරු තොග ලංකා ගල් අඟුරු සමාගම (LCC) විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර ඇත. නමුත් මෙවර පිරිවිතරයන්ට වඩා බෙහෙවින් අඩු වුවද, ඒවා ප්‍රතික්ෂේප කිරීමේ සීමාවට ආසන්නව තබා ගනිමින් "දඩයකට යටත්ව" භාරගැනීම පිටුපස ඇත්තේ කුමන අවශ්‍යතාවයක්ද?
සංසන්දනාත්මක විශ්ලේෂණය:
ස්විස් සිංගප්පූරුව (Aditya Birla) සහ වර්තමානය
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගල් අඟුරු සැපයූ හොඳම සැපයුම්කරු ලෙස සැලකෙන්නේ ස්විස් සිංගප්පූරු (Aditya Birla) සමාගමයි. ඔවුන් මෙරටට ලබාදුන් දකුණු අප්‍රිකානු ගල් අඟුරු (South African Coal) ඉහළ තාප ධාරිතාවයකින් යුක්ත වූ අතර, එමගින් බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සිදුවන හානිය අවම බව පවසයි.
(නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොගවලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් දීර්ඝ කාලීනව සැපයූවේ මොවුන්ය. දකුණු අප්‍රිකානු ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ට ලංකා ගල් අඟුරු සමාගම (LCC) තුළ ස්ථාවර පිළිගැනීමක් තිබුණි. එසේම සපුගස්කන්ද පිරිපහදුව සඳහා 'Murban' වර්ගයේ බොරතෙල් සැපයීම සහ රජයේ පොහොර ටෙන්ඩර් (Urea/TSP) ලබා ගැනීම හරහා ඔවුන් මෙරට බලශක්ති හා කෘෂිකර්ම අමාත්‍යාංශ සමඟ ද දැඩි සබඳතා පවත්වයි. තවද ශ්‍රී ලංකාවේ ඉහළම තේ අපනයනකරුවන් දස දෙනා අතරට (Aditya Birla Global Trading හරහා) ඔවුන් පැමිණ සිටින අතර, මුල්ලේරියාව ප්‍රදේශයේ දැවැන්ත යටිතල පහසුකම් ඔවුන් සතුය).

දඩ ගැසූ පමණින් බාල ගල් අඟුරු නිසා බලාගාරයට සිදුවන තාක්ෂණික හානිය පියවිය නොහැක. තාප ධාරිතාව අඩු ගල් අඟුරු දහනය කිරීමේදී:
- වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවේ.
- අළු (Ash) නිපදවීම ඉහළ යන අතර යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වේ.
- ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය පලුදු වීමෙන් අනාගතයේදී ගුණාත්මක සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවනු ඇත.
වගකීමෙන් මිදිය හැකිද?
අමාත්‍යවරයා පවසන පරිදි "දඩ ගැසීම සාමාන්‍ය ක්‍රමවේදය" වුවද, එමගින් වංචාවක හෝ අක්‍රමිකතාවක සෙවණැලි මැකී නොයයි. ටෙන්ඩරය ලබා ගැනීම සඳහා අඩු මිලක් පෙන්වා, පසුව බාල ප්‍රමිතියෙන් භාණ්ඩ සපයා දඩය ගෙවා ඉතිරි ලාභය සාක්කුවේ දමා ගැනීමට සැපයුම්කරුවෙකුට ඉඩ දීම "දුෂණයට එරෙහි" රජයක පිළිවෙත විය නොහැක.
මෙය හුදෙක් තාක්ෂණික ගැටලුවක් නොව, පිරිවිතරයන් (Specifications) හිතාමතාම උල්ලංඝනය කරමින් සිදුකරන මූල්‍යමය ක්‍රීඩාවකි. NPP රජය පවසන "වෙනස" මෙය නම්, අතීතයේ දඩ ගැසූ දත්ත ඉදිරිපත් කර වර්තමාන වරද සාධාරණීකරණය කිරීම ජනතාව බලාපොරොත්තු වූ විනිවිදභාවය නොවන බව අවධාරණය කළ යුතුය.
#නයෝමි සුබ්‍රමනියම්
මීළඟ ලිපියෙන් - ගල් අඟුරු වංචාව පිටුපස දියත්වෙන දේශපාලන ක්‍රමන්ත්‍රණයක්?

