SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

සොක්‍රටීස් හා මෙනෝ අතර සංවාදයේ දී සොක්‍රටීස් උත්සාහ කරන්නේ

දැනුම අප තුළින් ම පැනනැඟිය හැකි බව (innate knowledge rationaism) මෙනෝට ඒත්තු ගැන්වීමට ය.

 

 

සොක්‍රටීස් මෙනෝගේ නූගත් වහලකු ගෙන ඔහුගෙන් පයිතගරස් ප්‍රමේයය විමසයි.ඇත්තෙන් ම පයිතගරස් ප්‍රමේයයේ විශේෂ අවස්ථාවක් එනම් දී ඇති සමචතුරස්‍රයක් වර්ගඵලයෙන් දෙගුණ කිරීමට කොපමණ දිග පාදයක් සහිත සමචතුරස්‍රයක් ඇඳිය යුතු ද යන්න විමසයි.

 

සොක්‍රටීස් වහලාගෙන් මෙය ඍජුව විමසයි. වහලා දෙගුණයක් තුන් ගුණයක් වැනි පිළිතුරු දෙන අතර සොක්‍රටීස් එය වැරදි බව එම චතුරස්‍ර ඇඳ පෙන්වා දෙයි.

 

එනම් එය වහලා නොදන්නා බව සොක්‍රටීස් මෙනෝට හා වහලාට පෙන්වා දෙයි.

 

ඉන්පසු සොක්‍රටීස් පියවරින් පියවර ජ්‍යාමිතික නිර්මාණ කරමින් පියවරින් පියවර මෙය මෙසේ වේ ද නැති ද යන්න වහලාගෙන් විමසයි.

 

වහලා මේ ඍජු නිශ්චිත ප්‍රශ්නවලට ඒ ගැන කල්පනා කරමින් ද ඔව් ද නැද්ද ආදී වශයෙන් පිළිතුරු දෙයි.

 

සාධනය සම්පූර්ණ කරන සොක්‍රටීස් වහලාට කර්ණය මත සමචතුරස්‍රයේ වර්ගඵලය පාද දෙක මත සමචතුරස්‍රවල වර්ගඵල එකතුවට සමාන බව පෙන්වා දෙයි.

 

එනම් නූගත් වහලා තුළින් ම දැනුමක් මතු කරගෙන ඇත. එනිසා මනස තුළින් දැනුම මතු කරගත හැකි ය කියා සොක්‍රටීස් කියයි..

 

සියලු දැනුම මනස තුළින් පමණක් ම තාර්කිකව බිහිවේ යන්න දාර්ශනිකව වෙන ම අභියෝග කළ යුත්තකි.

 

මෙතන දී අපට වැදගත් වන්නේ ඉගැන්වීම යන අර්ථයෙන් සොක්‍රටීස්ගේ ක්‍රියාව කුමක් ද යන්නයි..

 

දැනුම ලබා ගැනීමේ දී එය ගොඩනැඟෙන ආකාරය තමා ම දැනගත යුතු බවත්, ඒ දැනුම භාවිත කරන ආකාරය තමා ම දැන ගත යුතු බවත් විවාදයක් නැත.

 

නමුත් ඒ දැනුම ලබා දෙන්නේ කෙසේ ද? සොක්‍රටීස් වහලාගෙන් ඔහුගේ අතාර්කික උපකල්පන වැරදි බව පෙන්වූවා මිස ඒවා සාකච්චා කරමින් ඒවා මත රැඳෙමින් ඉගැන්වූයේ නැත.

 

වහලාට නැවත නැවත හැකි තරම් චතුරස්‍ර ඇඳ බැලීමටත්, ඒවා මැන මැන බැලීමටත් කීවේ නැත. අනෙක් වහලුන් හා සාකච්චා කොට පිළිතුරකට එන ලෙස කීවේ නැත.

 

පොත් පිංචක් හෝ බ්‍රිස්ටල් බෝඩ් පෝස්ටරයක් හෝ සෑදීමට හෝ ඉන්ටර්නෙට් බලන්නට කීවේ ද නැත. (මේවා තිබුණේ ද නැත)

 

සොක්‍රටීස් වහලාගේ උපකල්පන වැරදි බව ඍජුව පෙන්වා කළ යුතු නිර්මාණ පියවරවල් තමා ම කළේ ය. සමස්ත සාධනයේ දිශානතිය තමා ම තීරණය කළේ ය.

 

එහෙත් සොක්‍රටීස් එක වර ම පයිතගරස් ප්‍රමේයය යනු මෙයයි කියා වහලාට කියා සිටියේ ද නැත. වහලාට ඔහේ අසා ගැනීමට කියා පයිතගරස් ප්‍රමේයය තනියම සාධනය කරමින් ගියේ ද නැත.

 

සොක්‍රටීස් කළේ සාධනයේ දිශානතිය සම්පූර්ණයෙන් තමා අතට ගෙන එය ගොඩනැඟෙන තර්ක සරල පියවරවල් වශයෙන් කඩා පූර්ණ මඟ පෙන්වීමක් සහිතව නිශ්චිත ලෙස කෙසේ වේද යන්න වහලාගෙන් ඇසීමයි.

 

එනම් තමාගේ දිශානතියේ පූර්ණ පාලනය යටතේ මේ කුඩා සරල පියවරවල් කෙසේ සිතිය යුතු ද කෙසේ ගොඩනඟා ගත යුතු ද යන්න වහලාගෙන් මතු කරගැනීමයි.

 

 

වහලාට කෙලින් ම පයිතගරස් ප්‍රමේයය කියා දුන්නේ නම් ඔහු එය දන්නේ සොක්‍රටීස් එසේ කීවා කියා මිස තමාගේත් දැනුමක් ලෙස නො වේ. සොක්‍රටීස් ම සාධනය කරගෙන වහලාට අසා සිටින්න කීවා නම් නූගත් වහලා ඒ පියවරවල් ගැන සිතීමට මහන්සි නො වීමට බොහෝ ඉඩ තිබේ. ඒ නිසා සොක්‍රටීස් මොකක් දෝ කරලා මේක පෙන්වූවා යැයි කීමට පමණක් වහලාට හැකි වීමට ඉඩ තිබේ..

 

 

වහලාට නැවත නැවත චතුරස්‍ර ඇඳ බලන්න හෝ, අනෙක් වහලුන් සමඟ සාකච්චා කරන්නට, පෝස්ටර් හදන්න හෝ කිවහොත් මාස කිහිපයකින්වත් වහලා පයිතගරස් ප්‍රමේයය හඳුනා ගනී දැයි සැක සහිත ය.

 

ඉන්ටර්නෙට් බලා පොත් පිංචක් හදන්න කිවහොත් වහලා කොහෙන් හෝ පයිතගරස් ප්‍රමේයය හොයාගෙන පොත් පිංචේ ලස්සන රූප සමඟ ලියා ඇඳීමට ඉඩ ඇතත් එහි පියවර හා ගොඩනැඟීම හිතීමට එතරම් වද නො වනු ඇත.

 

ඇත්තෙන් ම ශිෂ්‍ය-කේන්ද්‍රීය යැයි කියා කරනා විප්‍රකාර මෙහි දී එතරම් ප්‍රතිඵල දායක නො වේ.

 

ඇත්තෙන් ම සොක්‍රටීස් මෙහි කළ ආකාරය මෑතකාලයේ ආනුභවික පර්යේෂණාත්මක සාක්ෂ්‍ය ඇති ඉගැන්වීම් ක්‍රමවලට ද සමපාත වේ.

 

රූප ඇඳිලි, පාට කිරිලි, ඇලවිලි, පෝස්ටර් හැදිල මෙන් ම මුල සිට අවස්ථා නිරීක්ෂණය කොට රටා සොයා ගැනීම් වැනි අමතර මහන්සි වීම්වලින් නිදහස් කොට, ඉගැන්වීමට ඇති දේ සරල වන තෙක් පියවරවලට කඩා, ඒ සරල පියවර සිතා කල්පනා කොට ගොඩනඟා ගැනීමට පෙළඹවීම මඟින් පියවර ඔස්සේ දේවල් ඉගෙන ගැනීම වඩාත් ම ප්‍රතිඵලදායක බව සන්සන්දනවලින් පෙනී ඇත.

 

මහන්සි කළ යුත්තේ සිතීමට දැනුම ගොඩැනැඟුණු අයුරු වටහා ගැනීමට හා එසේ වටහා ගත් පසු ඒවා ගැටලුවලට යොදන ආකාරය ගැන පියවර වශයෙන් "සිතීමට" ය. සිතීමට හැර වෙනත් විකාරවලට බර තැබීමෙන් ඵලදායිතාවක් ඇති වෙතැයි සිතූ (ස්නායු-මිථ්‍යා ආදී) අමුතු කතන්දරවලට ආනුභවික පදනමක් නැතැයි පෙනී හමාර ය.

 

එහෙත් මතක තබා ගත යුත්තේ දැනුම වටහා ගැනීම හා කල්පනා කිරීමෙන් පරිබාහිර කුසලතා වර්ධනය දෙකක් බව ය. යතුරු ලියනය, සංගීත භාණ්ඩ, වේගයෙන් ගණිත සුළු කිරීම් කිරීම ආදියට අවශ්‍ය ඒවා වටහාගැනීම නොව ඒවා නැවත නැවත පුහුණු වීමයි.. වැරදි හදාගැනීමයි..

 

@Thamalu Maliththa Piyadigama

නවතම ලිපි