SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (06) රාත්‍රියේ සිය 'Truth Social' ගිණුම හරහා තැබූ සටහනක්

ලෝක දේශපාලනය සහ බලශක්ති වෙළෙඳපොළ තුළ නව කතාබහක් නිර්මාණය කර තිබේ. වෙනිසියුලාවේ අන්තර්වාර රජය විසින් එරට සතු බොරතෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට අලෙවි කිරීමට එකඟ වූ බව ට්‍රම්ප් එහිදී හෙළි කළේය.

 

 

මෙය හුදෙක් වාණිජ ගනුදෙනුවක් ද? නැතහොත් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම (හෝ පැහැර ගැනීම) සහ එරට සම්පත් ඇමරිකානුකරණය වීම අතර ඇති දේශපාලන 'ඩීල්' එකේ පළමු ප්‍රතිඵලය ද?

මේ ඒ පිළිබඳ කෙරෙන විග්‍රහයකි.

 

 

තෙල් ගනුදෙනුවේ ස්වභාවය සහ වෙළෙඳපොළ යථාර්ථය

 

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව, වෙනිසියුලානු අන්තර්වාර රජය විසින් සම්බාධකවලට ලක්ව තිබූ මෙම තෙල් තොගය ඇමරිකාවට ලබා දෙන්නේ විශේෂ කොන්දේසි යටතේය. එම අලෙවියෙන් ලැබෙන ආදායම ඇමරිකාව විසින් පාලනය කරනු ලබන අතර, එය "වෙනිසියුලානු ජනතාවගේ සහ ඇමරිකාවේ ප්‍රයෝජනය සඳහා" යොදවන බව කියැවේ. මෙම ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමරිකානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට උපදෙස් දී ඇති අතර, මේ වන විටත් නැව්ගත කර ඇති තෙල් තොග සෘජුවම ඇමරිකානු පිරිපහදු වෙත යොමු කෙරෙනු ඇත.

 

 

මෙම පුවතත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැරලයකට ඩොලර් 56 දක්වා (ඩොලර් 1කින් පමණ) පහත වැටුණි. වෙනිසියුලානු තෙල් බැරලයක් ඩොලර් 55ක් ලෙස ගණන් බැලුවහොත් මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 1.65 ත් 2.75 ත් අතර වේ.

 

 

කෙසේ වෙතත්, ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බැරල් මිලියන 50ක් යනු ඇමරිකාවට අති විශාල ප්‍රමාණයක් නොවන බවයි. දිනකට බොරතෙල් බැරල් මිලියන 20කට වඩා පරිභෝජනය කරන ඇමරිකාවට මෙය දින දෙකහමාරක පරිභෝජනයක් පමණි. එබැවින් ඉන්ධන මිල පහත දැමීමට මෙය තිරසාර විසඳුමක් නොවූවද, එය දේශපාලනමය වශයෙන් ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයකි.

 

 

මදුරෝ, ප්‍රජාතන්ත්‍රවාදය සහ 'නීතියේ' භූමිකාව

 

මෙම සිදුවීම හුදු තෙල් ගනුදෙනුවකට වඩා ඔබ්බට ගිය බරපතල දේශපාලන න්‍යාය පත්‍රයක් හෙළි කරයි. මදුරෝව අත්අඩංගුවට ගෙන ඇමරිකාවට ගෙන ඒමෙන් අනතුරුව පත් වූ අන්තර්වාර රජය, ක්ෂණිකව එරට ස්වාභාවික සම්පත් ඇමරිකාවට පූජා කිරීමට පටන් ගැනීම අහම්බයක් නොවේ.

 

 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන 'ස්පාටකස්' (Spartacus) ලිපිය පෙන්වා දෙන පරිදි, මෙය "ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක්" ලෙස බටහිර ලෝකය හුවා දැක්වුවද, යථාර්ථයේදී සිදුව ඇත්තේ වෙනිසියුලාවේ සම්පත් කොල්ලකෑම සුජාතකරණය කිරීමකි. මදුරෝව බලෙන් ඉවත් කිරීමෙන් පසු ඇමරිකානුවන්ට ලාභදායී ඉන්ධන ලැබීම හරහා ඇමරිකානු ජනතාව තුළ ට්‍රම්ප් පාලනය ගැන විශ්වාසයක් ගොඩනැගීම මෙහි අරමුණයි.

 

 

ජූලියන් අසාන්ජ්ගේ නීතිඥයා සහ නීතියේ දෘෂ්ටිවාදී තිරය

 

මෙහි වඩාත් සිත්ගන්නාසුලු කරුණ වන්නේ නිකලස් මදුරෝ වෙනුවෙන් පෙනී සිටීමට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ව නිදහස් කරගත් සුපිරි නීතිඥ බැරී පොලැක් (Barry Pollack) ඉදිරිපත් වීමයි. මෙය මදුරෝට ලැබුණු වාසියක් ලෙස පෙනුනද, දේශපාලන විචාරකයන්ට අනුව මෙය පද්ධතිය විසින්ම නිර්මාණය කළ "දෘෂ්ටිවාදී මර උගුලකි".

 

 

ඉහත කී විශ්ලේෂණයට (Spartacus lipi) අනුව:

"මදුරෝ අධිකරණයකට යොමු කිරීම විසින්ම තවදුරටත් තහවුරු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි... මදුරෝ වෙනුවෙන් දැවැන්ත නීතිඥයෙකු පෙනීසිටීම තුල වඩා හොඳින් තහවුරු වන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදයයි."

 

 

මෙහි අර්ථය නම්, ඇමරිකාව සිදු කළ "පැහැර ගැනීම" හෝ "ආක්‍රමණය" නීතිමය ක්‍රියාවලියකට යොමු කළ සැනින් එයට ශිෂ්ට සම්පන්න පෙනුමක් ලැබෙන බවයි. බලවත් නීතිඥයෙකු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම මගින් අධිකරණ ක්‍රියාවලිය "සර්ව සාධාරණ" බව ලෝකයට පෙන්වයි. අවසානයේදී මදුරෝ නිදහස් වුවද, දඬුවම් ලැබුවද, ඒ වන විට වෙනිසියුලාවේ තෙල් සම්පත සහ ආර්ථිකය ඇමරිකානු සමාගම්වලට නතු වී හමාරය.

 

 

නීතිය පවතින්නේ එය උල්ලංඝනය කිරීමේ හැකියාව සමඟය

 

වෙනිසියුලාවේ බොරතෙල් නැව් ඇමරිකාව බලා යාත්‍රා කිරීමත් සමඟ තහවුරු වන්නේ එක් කටුක යථාර්ථයකි. එනම්, "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "මානව හිමිකම්" නාමයෙන් සිදුකරන මැදිහත්වීම්වල අවසන් ප්‍රතිඵලය වන්නේ තුන්වන ලෝකයේ සම්පත් බටහිර ධනේශ්වර පද්ධතියට ගලා යාමයි.

 

 

නීතිමය ක්‍රියාවලිය මෙහිදී ක්‍රියාත්මක වන්නේ සැබෑ ආර්ථික සූරාකෑම (සම්පත් නතු කරගැනීම) වසන් කරන සදාචාරාත්මක ආවරණයක් (Ideological Screen) ලෙසය. ට්‍රම්ප් තෙල් මිල අඩු කරමින් ජනප්‍රිය වන විට, මදුරෝ නීතිමය සටනක පැටලී සිටින විට, වෙනිසියුලාවේ අයිතිය නිහඬවම ඇමරිකාව සතු වෙමින් පවතී.

 

 

(මෙම ලිපිය සැකසීමේදී 'Spartacus' ලිපි නමින් පළවූ සමාජ මාධ්‍ය සටහන සහ විදෙස් මාධ්‍ය වාර්තා ආශ්‍රය කර ගන්නා ලදී.)

නවතම ලිපි