SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි පෙන්ටාරා සුපිරි මහල් නිවාස සංකීර්ණයට

අදාළ ඉදිකිරීම් අනුමැතිය සම්බන්ධයෙන් මේ වනවිට බරපතල චෝදනා එල්ල වී ඇති අතර, එය නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සැලසුම් අනුමත කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කිරීමක් දැයි යන්න පිළිබඳව සිවිල් සංවිධාන සහ නේවාසිකයින් අධිකරණයේ පිහිට පතා ඇත.

 

 

නගර සැලසුම් රෙගුලාසිවලට අනුකූල නොවන ව්‍යාපෘතියකට දිස්ත්‍රික් මට්ටමේ කමිටුවකින් අනුමැතිය ලබා දීම, අධිකාරියේ පාලන ව්‍යුහය තුළ ඇති විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.

 

 

නාගරික සංවර්ධන අධිකාරී නීතිය සහ කමිටු ව්‍යුහය

නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් නගර සැලසුම් සකස් කිරීම, යාවත්කාලීන කිරීම සහ බලාත්මක කිරීම සඳහා බලතල භාවිතා කරනු ලබන්නේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී නීතියේ විධිවිධාන යටතේය.

 

 

නීතිමය පදනම (කමිටු පිහිටුවීම)

 

පනතේ 5 වන වගන්තිය (1) හි සඳහන් වන්නේ:

"5. (1) The Board may establish committees consisting of such number of persons for the proper exercise, discharge and performance of its powers, functions and duties." (1978 අංක 41 දරණ පනත, 5(1) වගන්තිය.)

 

WhatsApp Image 2025 11 14 at 17.55.50

 

මෙම විධිවිධාන අනුව, අධිකාරියේ බලතල නිසි පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස මණ්ඩලයට කමිටු පිහිටුවීමේ හැකියාව ඇත. ඒ අනුව, UDA විසින් නගර සැලසුම් කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රධාන කමිටු තුනක් පිහිටුවා ඇත:

 

  1. ප්‍රධාන සැලසුම් කමිටුව (Main Planning Committee - MPC)
  2. උප සැලසුම් කමිටුව (Sub Planning Committee - SPC)
  3. දිස්ත්‍රික් සැලසුම් කමිටුව (District Planning Committee - DPC)

නීතිමය පදනම (සැලසුම් කිරීමේ කාර්ය පටිපාටිය):

1982 අංක 4 දරණ නගර සංවර්ධන අධිකාරිය (සංශෝධන) පනතේ 3(ii) වගන්තිය යටතේ, සැලසුම් කිරීමේ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් පහත විධිවිධාන දක්වා ඇත:

WhatsApp Image 2025 11 14 at 21.57.411

 

 

"8ආ. (1) සංවර්ධන ප්‍රදේශයක හෝ එහි යම් කොටසක යම් තැනැත්තකු විසින් ගොඩනැගිලි පිළිබඳව වූ ඉදිකිරීම් කටයුතු හෝ යම් වෙනත් වැඩ කටයුත්තක් සම්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම පිණිස යම් යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, එවැනි යෝජනාවක් පිළිබඳව පරීක්ෂා කර බැලීම සහ පසුව බල පැවැත්වෙන පරිදි ඒ සංවර්ධන ප්‍රදේශයේ හෝ එහි යම් කොටසක ගොඩනැගිලි පිළිබඳව වූ ඉදිකිරීම් පිළිබඳව බලය දීම සඳහා සැලසුම් කමිටුවක් පත් කරනු ලැබිය යුතුය."

WhatsApp Image 2025 11 14 at 21.57.41

 

 

"8ඇ. (1) සංවර්ධන ප්‍රදේශයක හෝ එහි යම් කොටසක යම් තැනැත්තකු විසින් යම් කටයුත්තක් කිරීම, ඉදිකිරීමක් පිළිබඳව වූ වැඩ කටයුත්තක් කිරීම, ගොඩනැගිල්ලක ස්වභාවය වෙනස් කිරීම හෝ ගොඩනැගිල්ලක් වෙනත් අයුරකට පාවිච්චි කිරීම පිණිස වූ "සැලසුම් කිරීමේ කාර්යය සඳහා අනුමැතිය ලබා දීම සඳහා වූ අයදුම්පතක්", එනම්, 8 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ සැලසුම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු ය." (1982 අංක 4 දරණ පනත, 3(ii) කොටස, 8ආ. (1) සහ 8ඇ. (1) වගන්ති.)

 

 

සැලසුම් අනුමත කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටිය

 

ඉහත නීතිමය පදනම් අනුව, සංවර්ධන ප්‍රදේශයක ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලය පැවරී ඇත්තේ UDA විසින් පත් කරන ලද සැලසුම් කමිටු වෙත වන අතර, මෙම ක්‍රියාවලිය විධිමත් ලෙස සිදුවිය යුතුය.

 

  • දිස්ත්‍රික් සැලසුම් කමිටුව (DPC): ඉදිරිපත් කරන ලද සැලැස්ම පවතින සහ ප්‍රකාශයට පත්කර ඇති සැලසුම් රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල වන්නේ නම්, එම සැලසුම් අනුමත කිරීමේ බලය දිස්ත්‍රික් කමිටුවට ඇත.

 

  • උප/ප්‍රධාන සැලසුම් කමිටු (SPC/MPC): ඉදිරිපත් කරන ලද සැලසුම් සහ ප්‍රකාශිත රෙගුලාසි අතර පරස්පරතාවන්, වෙනස්කම් හෝ අඩුපාඩු පවතින විට, එම සැලසුම් යෝජනා පිළිවෙලින් උප සැලසුම් කමිටුවට හෝ ප්‍රධාන සැලසුම් කමිටුවට යොමු කළ යුතුය. මෙම කමිටු, එහි සිටින නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සංයුතිය (නගර නිර්මාණ ශිල්පීන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවරුන්, පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ආදී ආයතනවල නිලධාරීන්) අනුව නිරීක්ෂණ හා නිර්දේශ ලබා දී තීරණ ගනු ලබයි.
    • උදාහරණ: ප්‍රවේශ මාර්ගයේ පළල, ඉඩමේ ප්‍රමාණය, ගෙබිම් අනුපාතය (Floor Area Ratio - FAR) වැනි ප්‍රධාන අවශ්‍යතාවල වෙනස්කම් පැවතියහොත් මෙම ඉහළ කමිටු වෙත යොමු කිරීම අනිවාර්ය වේ.

 

පෙන්ටාරා ව්‍යාපෘතියේ අනීතික බව විමසුම

 

තුම්මුල්ල හෝම්ලෑන්ඩ් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්ම සම්බන්ධයෙන් චෝදනා වන්නේ, එය ඒ වනවිට ගැසට් කර ඇති සැලසුම් රෙගුලාසිවලට අනුකූල නොවූ බවයි.

ක්‍රියා පටිපාටියේ උල්ලංඝනය:

  • නීතියේ 8ඇ. (1) වගන්තිය යටතේ සියලුම අයදුම්පත් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු අතර, එය රෙගුලාසිවලට අනුකූල නොවන බැවින්, මෙම සැලැස්ම දිස්ත්‍රික් සැලසුම් කමිටුව (DPC) හරහා අනුමත කිරීම නීති විරෝධී වේ.

 

  • විධිමත් ක්‍රියා පටිපාටිය අනුව, එය උප සැලසුම් කමිටුවට (SPC), ඉන්පසු ප්‍රධාන සැලසුම් කමිටුවට (MPC) යොමු කර, එහිදී වෘත්තීය නිලධාරීන්ගේ සංයුතිය මඟින් පවතින පරස්පරතා (උදා: ඉඩමේ මුහුණත පළල ප්‍රමාණවත් නොවීම, පසුපස ප්‍රවේශ මාර්ගයෙන් ප්‍රවේශය ලබාදීම, යෝජිත කලාපකරණය) පිළිබඳව අවධානය යොමු කර නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සිදු කළ යුතුව තිබුණි.

 

අනුමැතිය ප්‍රතික්ෂේප වීමේ ඉඩකඩ

 

ප්‍රධාන අවශ්‍යතාවයන් (ඉඩමේ මුහුණත පළල, ප්‍රවේශ මාර්ගයේ ස්වභාවය, කලාප 02 ට අයත් වීම) සපුරා නොතිබීම නිසා, මෙම සැලසුම විධිමත්ව ඉහළ කමිටු වෙත යොමු කළේ නම්, බොහෝ දුරට සැලසුම් අනුමැතිය ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබුණි. ප්‍රධාන සැලසුම් කමිටුව (MPC), පරිසර අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන නියෝජනය කරන පිළිගත් වෘත්තීයවේදීන්ගෙන් සමන්විත වන බැවින්, රෙගුලාසිවලින් බැහැරවීම් (deviations) පිළිබඳව ඔවුන් දැඩි අවධානයක් යොමු කරනු ඇත.

 

විනිවිදභාවය පිළිබඳ ගැටළු

 

මෙම අනුමැතිය ලබා දීම සඳහා වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකුගෙන් (EMS ඒකනායක සහ යසන්ත ප්‍රදීප්) පමණක් තොරතුරු ලබාගැනීම සහ එම අනුමැතිය සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇත. අධිකාරියේ සියලුම වෘත්තිකයන්ගෙන් තොරතුරු ලබාගැනීමක් සිදු නොවීම, තීරණ ගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාමූහික වගකීම පිළිබඳව සැක මතු කරයි.

 

 

අධිකරණ ක්‍රියාමාර්ග සහ දේශපාලන මැදිහත්වීම්

 

තුම්මුල්ල පෙන්ටාරා ව්‍යාපෘතියේ මෙම අනීතික ඉදිකිරීම් අනුමැතිය සම්බන්ධයෙන් දැනටමත් නේවාසිකයින් සහ සිවිල් සංවිධාන විසින් අලුත්කඩේ අධිකරණයේ නඩු කටයුතු ආරම්භ කර ඇති අතර, විභාගය එළැඹෙන 18 වන දින සිට ආරම්භ වීමට නියමිත බව අධිකරණ ආරංචි මාර්ග වාර්තා කරයි.

 

මෙම සිද්ධියට අදාළව ඉදිකිරීම් ආයතනය ජනාධිපතිවරයා හමුවීමට යන බවට වන හිමිකරුගේ ප්‍රකාශයන් වාර්තා වී තිබීම දේශපාලන ක්‍ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත. අදාළ විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන පද්ධතිය "සුද්ධ කිරීමේ" මෙහෙයුමක නිරතව සිටියදී, ජනාධිපතිවරයා මෙම කරුණට මැදිහත්වීමක් සිදු කරන්නේ නම්, එය ප්‍රදේශවාසීන්ගේ කුකුසට හේතුවක් වී තිබේ. මෙම මැදිහත්වීම කාගේ මෙහෙයුමක් මත සිදු වන්නේද යන්න පිළිබඳව නීති සහ පාලන ක්ෂේත්‍රයේ විමසිල්ලක් පවතී.

 

කෙසේ වෙතත්, ඉහත කරුණු මගින් පැහැදිලි වන්නේ, නාගරික ඉදිකිරීමකදී සැලසුමක් අනුමත කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටිය සැකසී ඇති ආකාරය සහ තුම්මුල්ල සිද්ධියේදී එම විධිමත් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වී ඇති ආකාරයයි.

 

 

@ නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි