SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

අපේ රටේ අත්‍යවශ්‍ය පරිසර පද්ධති පෙර පැවති පාලන තන්ත්‍රයන් යටතේ විනාශ වී ගිය ආකාරය අප දුටුවෙමු.

එයින් පාඩම් ඉගෙන ගෙන වෙනසක් සිදුකරනු ඇතැයි රටේ ජනතාව මහත් බලාපොරොත්තු තබා සිටි වත්මන් ජාතික ජන බලවේග රජය පවා, එම සුපුරුදු පාරේම ගමන් කරමින් සිටීම විශාල කණගාටුවට කරුණකි. විශේෂයෙන්ම, වන රක්ෂිතයන් දේශපාලන හිතවත්කම් මත විනාශ කිරීමට සහ ඉඩම් මාෆියාවට ඉඩ දීමට බලධාරීන් අනුබල දීම, පෙර පැවති පාලන ක්‍රමයන්ගෙන් කිසිදු වෙනසක් සිදුනොවූ පාලනයක් බවට වත්මන් පාලනයද පත්වෙමින් ඇති බවට පැහැදිලි සංඥා නිකුත් කරයි. මොණරාගල දිස්ත්‍රික්කයේ වැන්ඩම-දෙමළිය වන රක්ෂිතයේ සිදුවන මෙම බරපතළ ඉඩම් ගිලගැනීම එම කණගාටුදායක තත්ත්වය මනාවට පෙන්නුම් කරයි.

 

 

පහත පලවන්නේ ඩේලි මිරර් පුවත්පතෙහි නයනජීව බණ්ඩාර විසින් පල කළ ලිපියේ සිංහල අනුවර්තනයකි.

 

 වන 2

 

රටේ යෝජිත වැන්ඩම-දෙමළිය රාජ්‍ය වන සංරක්ෂණ රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් වී ඇති අතර, මේ පිළිබඳව පරිසර සංවිධානවලින් සහ සිවිල් සමාජයෙන් නැගෙන චෝදනා සහ ඉල්ලීම් සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ කන් බිහිරි වී ඇති සෙයකි. දේශපාලන බලපෑම් මත නීතිවිරෝධී ලෙස අත්පත් කරගත් ඉඩම් පිළිබඳ විධිමත් විගණනයක් සිදු කරන ලෙස කළ ඉල්ලීම් දිගින් දිගටම නොසලකා හැරීම මෙයට හේතුවයි.

 

 

සිදුවීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DFC) විසින් දේශපාලන අනුග්‍රහය මත මෙම යෝජිත වන රක්ෂිතයෙන් අක්කර 500ක් අත්පත් කර ගත් පෞද්ගලික සමාගමකට එරෙහිව නීතිමය පියවර ගෙන තිබුණි. උසාවි නියෝගයකට අනුව එම සමාගම ඉඩමෙන් ඉවත් කිරීමට නියෝග කර තිබුණද, පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ඇතිව එම ඉඩම රහසිගතව එම සමාගමටම නැවත පවරා දීම බරපතළ තත්ත්වයකි.

 

 

පරිසරවේදීන් සහ සිවිල් සමාජ සංවිධාන අවධාරණය කරන්නේ මෙම ක්‍රියාව අධිකරණයට අපහාස කිරීමක් වන අතර, දෙපාර්තමේන්තුවට නරක පූර්වාදර්ශයක් නිර්මාණය කරන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ, සංවර්ධනයේ මුවාවෙන් සිදුවන මෙම ඉඩම් අත්පත් කර ගැනීම, දේශපාලන අනුග්‍රහය නිසාම වන රක්ෂිත තුළ ඉඩම් පවරා දීම අඛණ්ඩව සිදුවන බවට සාක්ෂියක් බවයි.

 

අලි ඇතුන්ගේ වාසභූමියට එල්ලවන තර්ජනය

වන 4

 

 

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වන වැන්ඩම-දෙමළිය වන රක්ෂිතය, අලි ඇතුන් ඇතුළු වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. ලුනුගම්වෙහෙර, යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන අතර පිහිටි මෙය, එම උද්‍යානවලට විහිදෙන අලි සංක්‍රමණික මාර්ග (Elephant Corridors) හරහා දිවෙයි. වන සංරක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ වැන්ඩම-දෙමළිය වන රක්ෂිතය අලි ඇතුන් 80කට අධික සංඛ්‍යාවකගේ නිවහන සහ අභිජනන භූමිය වන බවයි. රටේ වැඩිම ඇතින්නන් සිටින ප්‍රදේශයක් ලෙස ද මෙය සැලකේ.

 

 

මොණරාගල දිස්ත්‍රික්කයේ සෝබා පදනමේ නියෝජිතයෙකු වන අනුර වික්‍රමසිංහ කියා සිටියේ, පානම, කුමන, ලුනුගම්වෙහෙර, උඩවලව සහ යාල අභයභූමිවලින් අලි සංක්‍රමණික මාර්ග වැන්ඩම-දෙමළිය හරහා ගමන් කරන බැවින්, මෙම ප්‍රදේශය අවශේෂ වනයක් (Virgin Forest) ලෙස ආරක්ෂා කළ යුතුව තිබූ බවයි.

 

"වාර්ෂිකව අලි ඇතුන් 800-900 පමණ රංචු මෙම අලි සංක්‍රමණික මාර්ග හරහා ජාතික වනෝද්‍යානවලට ඇතුළු වෙනවා. මෙය අලි කළමනාකරණ වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට හේතුව මෙයයි. කෙසේ වෙතත්, යෝජිත අලි කළමනාකරණ වන රක්ෂිතය මෙවැනි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවීම කණගාටුදායකයි,"

ඔහු පැවසීය.

 

 

වසර දහයක නඩුවකින් පසු සමාගමටම ඉඩම පවරා දීම!

 

 

මෙම නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම 1998න් පසු උත්සන්න වී ඇත. බලයේ සිටි රජයේ ප්‍රමුඛ දේශපාලඥයන්ගේ සහාය ඇතිව ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් දෙකක් වන රක්ෂිතයේ විශාල ප්‍රදේශ අත්පත් කරගෙන තිබේ. ඉන් එක් සමාගමකට කෙසෙල් වගාව සඳහා සහ අනෙක් සමාගමකට අඹ වගාව සඳහා රජයෙන් ඉඩම් පවරා දී ඇත. මෙම ජාවාරමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලින් හෙළි විය.

 

 

වන 3

 

හිටපු වන සංරක්ෂණ ජනරාල්වරයෙකු වූ අනුර සතුරුසිංහ මුලින්ම හෙළි කළේ, බහුජාතික සමාගමක් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකුගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සමාගමක් කෙසෙල් සහ අඹ වගාවන් සඳහා වැන්ඩම-දෙමළිය රක්ෂිතයේ  හෙක්ටයාර් 2500කට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවයි.

 

මෙම නීති විරෝධී ව්‍යාපෘති 2008 දී ආරම්භ කර ඇති අතර, වන සංරක්ෂණ නිලධාරීන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් පසු උසාවිය දෙපාර්තමේන්තුවට පක්ෂව තීන්දු කර ඇත. ඉන්පසු සමාගම් දෙකට ඉඩම් වලින් ඉවත් වන ලෙස උසාවි නියෝගයක් ලැබී තිබුණි.

 

කෙසේ වෙතත්, හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ.එම්.එල්. බණ්ඩාර 2021 අගෝස්තු 16 වැනිදා ඉඩම් කොමසාරිස්වරයාට දැනුම් දී ඇත්තේ, උසාවි නියෝගයකට අනුකූලව සමාගමක් විසින් අක්කර 500ක ඉඩමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත පවරා දුන් බවත්, එම ඉඩම භාර ගන්නා ලෙසත්ය. එහෙත්, මෙම ඉඩම නැවතත් එම සමාගමටම පවරා දීමට වන සංරක්ෂණ ජනරාල්වරයා පියවර ගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

 

වන 5 

 

"අධිකරණයට අපහාස කිරීමක්!"

පරිසර නීතිඥයෙකු වන ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ, නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගත් පුද්ගලයාට නීතිමය පියවර ගෙන දඬුවම් කිරීම වෙනුවට එම ඉඩම පවරා දීම බරපතළ අසාධාරණයක් බවයි.

 

"වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත් මෙම පියවර නරක පූර්වාදර්ශයක් නිර්මාණය කර තිබෙනවා. මෙයට සම්බන්ධ පාර්ශවයන් බරපතළ අපරාධයකට වගකිව යුතුයි. උසාවිය ඉදිරියේ තම වරද පිළිගෙන, උසාවි නියෝගය පරිදි එය නැවත රාජ්‍යයට පවරා දුන් විත්තිකාර සමාගමට එම ඉඩම නොදිය යුතුව තිබුණා. මෙය අධිකරණයට අපහාස කිරීමක් වෙනවා,"

ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

වන සංරක්ෂණ ජනරාල්වරයාගේ පිළිතුර

image 8a12f8ab95

 

වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී. පලන්කුඹුර මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, දෙපාර්තමේන්තුව සමාගම් දෙකට එරෙහිව නීතිමය පියවර ගෙන ඉවත් කිරීමේ නියෝග ලබා ගත් බවයි.

 

"එක් සමාගමක් විසින් අත්පත් කරගත් ඉඩම නැවත ලබා දුන් අතර, අනෙක් සමාගම මහේස්ත්‍රාත්ගේ නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම නඩුව තවමත් පවතිනවා."

"රජයේ තීරණය සැලකිල්ලට ගනිමින් සහ නීතිපතිවරයාගේ උපදෙස් මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ඉඩම ඉඩම් කොමසාරිස්වරයාට පවරා දුන්නා. කෙසේ වෙතත්, ඉඩම් කොමසාරිස්වරයා ප්‍රාදේශීය ලේකම් හරහා එය එම සමාගමට පවරා දී තිබෙනවා,"

යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 වන 6වන 7

 

 

දේශපාලන අනුග්‍රහය මත සිදුවූ බවට චෝදනා එල්ලවන මෙම රහසිගත ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා, ඊට සම්බන්ධ දේශපාලඥයන් සහ දූෂිත නිලධාරීන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව ප්‍රදේශවාසීන් සහ පරිසර සංවිධාන දැඩිව අවධාරණය කරයි.

 

(නයනජීව බණ්ඩාර ඩේලි මිරර් පුවත්පතෙහි පල කළ ලිපිය ඇසුරිනි)

නවතම ලිපි