පසුගිය වසර 25 තිස්සේ කුඩම්මාගේ සැලකිලි හා විවිධ දුශ්කරතා මැද ගොඩ නැගුණු
දේශීය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය විනාශ කරලීම සඳහා මේ වසරේ මුල සිට දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේ.
ඊට අනුරූපව පසුගිය දා දිවයින පුරා විදුලිය විසන්ධි වීමට හේතුව සෝලා විදුලිය ලෙස බොරුවට හුවා දක්වමින් ඊට මුවාවී පුනර්ජනනීය බලශක්තියට එරෙහිව දැවැන්ත මර්ධනයක් විදුලි බල මණ්ඩලය විසින් පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලදී.
පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීම නිසා පාඩු සිදු වන්නේ පොසිල ඉන්ධන මාෆියාවටයි. ඒ නිසා 2023 වසරේ දි රුපියල් බිලියන 227ක් උපයා ගත් පොසිල ඉන්ධන මාෆියාවට 2024 වසරේ දී උපයා ගැනීමට හැකි වූයේ රුපියල් බිලියන 145ක් පමණි. එනම් මාෆියාවේ ආදායම රුපියල් බිලියන 82 කින් අඩු විය.
ඉන් කුපිත වී ඇති පොසිල ඉන්ධන මාෆියාව වර්තමාන රජය හරහා ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු බේගල් දෙසා බාමින් පුනර්නනීය බලශක්ති කර්මාන්තය විනාශ කරලීම උදෙසා ක්‍රියාමාර්ග 5 ක් මේ වනවිට රැගෙන ඇත.
1. නිවාඩු දිනවල දහවල් කාලයේ පුනර්ජනනීය බලශක්ති බලාගාර වලින් නිපදවන විදුලිය මිළදී ගැනීම අත්හිටුවීම
සෝලා වහල, සෝලා උද්‍යාන, සුළං බලාගාර පමණක් නොව වසර 30 කට අධික කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වූ කුඩා ජලවිදුලි බලාගාර වල පවා විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය නිතිවිරෝධී ලෙස කටයුතු කර ඇත. ඊට රජය ඉදිරිපත් කළ හේතුව වූයේ රට පුරා විදුලිය විසන්ධි වූයේ සූර්ය විදුලිය නිසා බවය. එසේවුවද එය සම්පූර්ණ අසත්‍යයක් බවත් රට පුරා විදුලි ඇනහිටියේ සෝලා විදුලිය නිසා නොව විදුලිබල මණ්ඩලයේ නිසි කළමනාකාරිත්වයක් නොමැති වීම, රැහැන් පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම හා ගල් අඟුරු බලාගාර තුනේ ගැටලු නිසා බව මේ වනවිට තාක්ෂණිකව තහවුරු වී තිබේ.
2. පුනර්ජනනීය විදුලිය මිළදී ගැනීමේ ගාස්තු අසාධාරණ ලෙස අඩු කිරීම
පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය විනාශ කිරීම සඳහා කිසිදු සාධාරණ හේතුවකින් තොරව එම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වන අයුරින් එම බලාගාර වලින් ජනනය කරන විදුලිය මිලදී ගැනීමේ ගාස්තු, අසාධාරණ ලෙස පහත හෙලීම සඳහා කටයුතු කර ඇත. ඒ අනුව පාඩු පිට විදුලිය නිශ්පාදනය කර විදුලි බල මණ්ඩලයට විකිණීමට පුනර්ජනනීය කර්මාන්තකරුවන් හට සිදුවේ. රජයේ මෙම විනාශකාරී තීරණය නිසා ඉදිරියේ දී සෝලා වහල, සෝලා උද්‍යාන, සුළං හා දර විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය ආයෝජනයන් සිදු නොවෙනු ඇත.
අපේ යෝජනාව - නිවරදි ලෙස ගණනය කළ විට සත්‍ය වශයෙන්ම මේ අවස්ථාවේ දී සිදුවිය යුතු සංශෝධනය පහත දැක්වෙන පරිදි වේ.
සංසන්දනය - වියදම සංසන්ධනාත්මකව බලන විට මේ වනවිට සෝලා, එහි තරඟකරුවන් වූ ස්වාභාවික වායුව හා ඩීසල් වලට එරෙහිව ඉතා පහසු ජයක් සොලා වලට හිමි කරගෙන ඇත.
සෝලා වලට ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ගබඩා කරන්න යන වියදමයි. පද්ධතිය ආශ්‍රිතව බැටරි ගබඩා කිරීමේ එම වියදම ද ඊට එකතු කළ ද ස්වාභාවික වායුවලට හෝ ඩීසල් වලට සෝලා සමඟ තරඟ කළ නොහැකිය.
3. නෙට්++ සූර්ය වහල විදුලිය මිළදී ගැනීමේ ක්‍රමවේදය නවතා ලීම
දැනට ලංකාවේ සෝලා වහල වලින් නිපදවන විදුලිය මිළ දී ගැනීමේ දී ක්‍රියාත්මක වූ ක්‍රමවේදයන් හතරෙන් එකක්, නිසි ක්‍රමවේදයකින් තොරවම නවතා ලීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත. එනම් දැනට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ නෙට් මීටරින්, නෙට් අකවුන්ටින්, නෙට්+ හා නෙට්++ යන ක්‍රමවේදයන් හතරින් නෙට් ++ යන ක්‍රමවේදය නවතා ලීමට විදුලිබල මණ්ඩලය නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇත. නෙට්++ ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ විශාල වහලක් හා අඩු පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන් සඳහාය. එමඟින් වැඩි ධාරිතාවයක් ප්ධතියට එකතු කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලැබිණි. රජයේ මේ ක්‍රියාමාර්ගය නිසා පද්ධතියට එකතු කළ හැකි විශාල සූර්යබල ධාරිතාවයක් අහිමි වනු ඇත.
4. අනාගතයේ දී පාරිභෝගිකයන් හට සුර්ය වහල වල සූර්ය පැනල ස්ථාපිත කර ඉන් විදුලිය නිපදවා විදුලිබල මණ්ඩලයට සැපයීමට ඇති ඉඩකඩ අහුරා ලීම.
දැනට රටපුරා විසිරී සිටින විදුලි පාරිභෝගිකයන් හට විදුලිය බෙදා හැරීම සඳහා ඇති ට්‍රාන්ස්ෆෝමර හරහා පෙරලා විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයීමට පාරිභෝගිකයන් හට ඇති අවස්ථාව ඇත. එය සීමා වූයේ ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාවය මතය. දැනට තිබෙන එම අවස්ථාව පුළුල් කිරීම සඳහා ට්‍රන්ස්ෆෝමර වල ධාරිතාවය වැඩි කිරීම වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේය. ඒ අනුව එම ට්‍රාන්ස්ෆෝමර සෝලා උද්‍යාන ඉදිකිරීම සඳහා යැයි කියා වෙන් කර තබා ගැනීමට විදුලිබල මණ්ඩලය මේ වනවිට කටයුතු කර ඇත. එමඟින් ඉදිරියේ දී පාරිභෝගිකයන් හට සොලා වහල ඉදිකිරීමට නොහැකි වේ. පාරිභෝගිකයන්ගේ එම අවස්ථාව ආණ්ඩුවේ හෙන්චයියන් හට ලබා දීමට හා තෙල් බලාගාර සමාගම් වලට එම ඉඩකඩ ලබා දී සූර්ය විදුලිය නිපදවීම වලක්වා තෙල් බලාගාර වලින් වැඩිවැඩියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමට රජයට සම්බන්ධ තෙල් මාෆියාවට අවස්ථාව ලැබේ.
5. අනාගත ජනන සැලසුම් වලින් පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉවත් කිරීම සඳහා ආණ්ඩුවේ හෙන්චයියන්ගෙන් සමන්විත කමිටුවකට ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය පැවරීම.
ලංකාවේ ජනතාවට අඩු මිළට විදුලිය සැපයීමට ඇති ප්‍රධානතම බාධකය වන්නේ තෙල් විදුලි බලාගාරයි. තෙල් හා වෙනත් පොසිල ඉන්ධන බලාගාර වලින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ විදුලිය නිපදවීම සඳහා විදුලිබල මණ්ඩලය 1990 සිට සකසා තිබූ දිගුකාලීන ජනන සැලසුම් රටට ගැලපෙන අයුරින් වෙනස් කර වෙනස් කරගැනීම අවශ්‍ය විය. එහිදී එම පොසිල ඉන්ධන මාෆියාවෙන් රට මුදවා ගෙන දේශිය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට මහජන උපයෝගීතා කොමිසමට හැකිවූයේ ඊට දිගුකාලීන විදුලිබල ජනන සැලසුම් පිළිබඳ අවසන් තීරණ ගැනීඹට බලය පැවරී තිබීම නිසාය.
එසේවුවද වත්මන් රජය එම බලතල මහජන උපයෝගීතා කොමිසමෙන් ඉවත් කර තමන්ගේ දේශපාලන හෙන්චයියන්ගෙන් සමන්විත කමිටුවකට පැවරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී ඇත. එය ජුනි මාසයේ දී සම්මත කිරීමට රජය කටයුතු කරමින් සිටී. මෙය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය විනාශ කර අන්තිම ඇණය ගැසීම බවට පත්වනු ඇත. ඉන්පසු පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදනය, දිගුකාලීන ජනන සැලසුම් වලින් හිතුමතේ ඉවත් කිරීමට ආණ්ඩුවට අවස්ථාව ලැබේ. එමඟින් පසුගිය රජයන් විසින් ඉලක්ක කර තිබූ 2050 දී 100% පුනර්ජනනීය බලශක්තිය හා 2030 දී 80% පුනර්ජනනීය බලශක්තිය යන ඉලක්ක හකුළා දැමීමට මේ නිසා පොසිල ඉන්ධන මාෆියාවට හා ඒ සමඟ බැඳූණු දේශපාලකයන් හට අවස්ථාව ලැබේ.
පොසිල ඉන්ධන මාෆියාවේ කුමන්ත්‍රණය
වසර 2000 සිටම පොසිල ඉන්ධන මාෆියාව කළේ ගල් අඟුරු පෙන්වා, මිළ අධික ඛනිජතෙල් වලින් විදුලිය නිපදවා පාරිභෝගිකයා සූරා කෑමයි. මේ වනවිට සියළු පක්ෂ ගල් අඟුරු වලට විරුද්ධ බැවින් දැන් මේ මාෆියාව පදය මාරුකර ගල් අඟුරු මන්ත්‍රය වෙනුවට එල්.එන්.ජී මන්ත්‍රය ජප කරන්නට පටන් ගෙන ඇත. අපේ රටේ 2010 සිට එල්.එන්.ජී බලාගාර හැදුවත් ඒ සියල්ල දුවන්නේ වියදම් අධිකම වූ ඩීසල් වලිනි. මේ අවුරුද්දේ තවත් බලාගාරයක් සොබාදනවි නමින් පද්ධතියට එකතු කරනු ලැබීය.
කවුරු එල්.එන්.ජී ගැන කථා කරත් සියළු එල්.එන්.ජී. බලාගාර කෙළවර වන්නේ කෙරවළපිටියෙනි. සියළු කෙළවරපිටියේ එල්.එන්.ජී බලාගාර කෙළවර වන්නේ ඩීසල් වලිනි. මේ වනවිට පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය විනාශ කරමින් සිටින්නේ මේ පොසිල ඉන්ධන මාෆියාවයි.
මේ පොසිල ඉන්ධන මාෆියාව පළමු විදුලිබල මණ්ඩලයේ ලේ උරාබොන අතර දෙවනුව විදුලි පාරිභෝගිකයාගේ රුධිරය උරාබොන බහිරවකි. මේ බහිරවයා වර්තමාන ආණ්ඩුවට අරක්ගෙන ඇති බැවින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය වේගයෙන් විනාශ වෙමින් තිබේ.
පොසිල ඉන්ධන මාෆියාවේ බොරු තර්ක
පුනර්ජනනීය බලශක්තිය ඇතිතරම් නැතැයි කී කථාව දැන් බොරු වී ඇත. දැන් විදුලිබල මණ්ඩලය සෝලා විදුලිය වැඩියැයි කියමින් කෙඳිරිගායි. පුනර්ජනනීය බලශක්තිය වියදම් අධිකයැයි ගල්අඟුරු මාෆියාව කී තර්කය ද දැන් බොරු වී හමාරයි.
මේ වනවිට පුනර්ජනනීය බලශක්ති වැඩිපුර විදුලිබල පද්ධතියට ගන්නට බැරි යැයි තවත් මුසාවාදයක් ජප කරමින් තිබේ. ඊට හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ හිරු එළිය හා සුළං බලය ගබඩා කළ නොහැකි වීමයි. ඇත්ත වශයෙන්ම ඒවා ගබඩා කළ හැකිය. ඒ ජලපොම්ප ජලවිදුලි බලාගාර ලෙස හා බැටරි ගබඩා ලෙසය. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ගැන වැලැක්වීමට පසුගිය වසර 15 පුරා දැරූ සියළු ප්‍රයත්නයන් අසාර්ථක කිරීම පිටුපස පොසිල ඉන්ධන මාෆියාව සිටි බව ඉතා පැහැදිලිය.
පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ගැනීමට කිසිදු බාධාවක් නැත. ඒ සඳහා ඊට ගැලපෙන ලෙස සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ පද්ධතිය සකස් කළ යුතුය. පද්ධතිය ස්මාට් පද්ධතියක් ලෙස වැඩිදියුණු කළ යුතුය. අවාසනාවකට පොසිල ඉන්ධන මාෆියාවේ ග්‍රහණයට හසුවූ විදුලිබල මණ්ඩලය කළේ සල්ලි නාස්ති කර, ඉදි නොකෙරන මධ්‍යගත ගල් අඟුරු, ස්වාභාවික වායු හා ඛනිජතෙල් බලාගාර වල විදුලිය බෙදා හැරීම සඳහා පද්ධතිය සැකසීමයි. ඒ නාස්ති කළ මුදල් වලින් ලංකාවේ මෙගාවොට්පැය 1000 ක බැටරි ගබඩා ඇති කළහැකිව තිබුණි. එසේ කළානම් මේ වනවිට ලංකාවේ සෑම වහලක්ම සෝලා වහලක් බවට පත්ව තිබෙනු ඇත.
විදුලිබල මණ්ඩලයේ වැරදි සැලසුම් නිසා රට අවුරුදු 25කින් පස්සට ගියේය. එය තවත් අවුරුදු 25 කින් පස්සට ගෙනයාමට ඉඩ තැබිය නොහැකිය. ලොව පුරා විදුලි බල ක්ෂේත්‍රයේ අනාගත ශීර්ෂ පාඨය වන්නේ 3D ය. එනම් Decentralization- විමධ්‍යගතකරණය, Digitalization- ඩිජිටල්කරණය හා Direct Current-සරලධාරාකරණයයි. ලංකාවේ ද බලශක්ති සුරක්ෂිත අනාගතයක් බිහිකරලීම උදෙසා කළ යුත්තේ ද එයමය. ඒ නිසා සැවොම එක්ව වහ වහාම ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය ගිලගැනීමට පැමිණ සිටින බහිරවයා විනාශ කිරීම සඳහා රටේ සියළු විදුලි පාරිභෝගිකයන් ඒකරාශී විය යුතුවේ.
පාරිභෝගිකයාට නොමිළයේ විදුලි ලබාදිය හැකි පුනර්ජනනීය බලශක්තිය
මුළු ලෝකයම 2050 වනවිට පොසිල ඉන්ධන භාවිතය අතහැර දමා පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමට කටයුතු කරමින් සිටී. එය තිරසර සංවර්ධන ඉලක්ක වල ප්‍රධාන හා තීරණාත්මක ඉලක්කයකි. මේ පරිවර්තනය සඳහා මුළු මහත් ලෝකයම වසර 2000 දී පමණ සිට සූදානම් වුවද ලංකා විදුලිබල මණ්ඩලයේ අතලොස්සක් වූ ඉංජිනේරුවන් හා පොසිල ඉන්ධන මාෆියාව සමඟ අත්වැල්බැඳගත් පරණ ඉස්කෝලේ ගල්අඟුරු, ඛනිජතෙල් හා ස්වාභාවික වායු වලට ඇබ්බැහි වූ ආචාරීන් නිසා මේ රට ඉතාම අවාසනාවන්ත ලෙස වසර 25 කින් පස්සට විසි විය.
අප රටේ ගල් අඟුරු නැත; ඛනිජතෙල් නැත; ස්වාභාවික වායු නැත; නමුත් නිවර්තන කලාපීය දුපතක් ලෙස, ඇති පදමට පුනර්ජනනීය බලශක්තිය ඇත. ශ්‍රී ලංකාව වසර පුරාම හිරු එළිය වැටෙන, මෝසම් වැසි දෙකකින් ආශිර්වාද ලත්, හරිතවර්ණ වූ දේශයකි. මේ වනවිට ලාබම බලශක්ති ප්‍රභවය වන්නේ ජල විදුලියයි. ඉන්පසු සෝලා විදුලියයි. ඊළඟට සුළං බලයයි. අනතුරුව දර විදුලියයි.
සෑම නිවසක්ම සෝලා වහලක් සහිත නිවසක් බවට පත් කිරීමෙන් රටේ සෑම විදුලි පාරිභෝගිකයෙක්ම විදුලි නිශ්පාදකයෙක් බවට පත් වේ. එහිදී පාරිභෝගිකයා (Consumer) - මිලියන 22 ක් ජනතාව, 1 කෝටි 70 ලක්ෂයක් ඡන්දදායකින් එනම් ලක්ෂ 60 ක වහල හිමිකරුවන්, නිශ්පාදකයෙක් (Producer) එනම් නිශ්භෝගිකයෙක් (Prosumer) බවට පත්වේ. ඒ නිසා සෑම විදුලි පාරිභෝගිකයෙකුගේම විදුලි බිල අඩුවේ. බොහෝ දෙනෙකු හට නොමිලයේ විදුලිය ලබාගත හැකිවේ. එපමණක් නොව වැඩි පුර විදුලිය නිපදවන අයට, සිය අතිරික්තය, විදුලිය මදිවන තොග පාරිභෝගිකයන් හට විකුණා ආදායමක් ද ලබාගත හැකිය.
එමෙන්ම රටක් ලෙස ගත්විට දේශිය පුනර්ජනනීය බලශක්තිය නිසා ඛනිජතෙල්, ගල්අඟුරු හා ස්වාභාවික වායු ආනයනය කිරීමට අවශ්‍ය නොවන හෙයින් විදේශ විනිමය ඉතිරිවේ. නිපදවන වැඩි විදුලිය හයිඩ්‍රජන් බැටරි ලෙස ගබඩා කර නැව් වලට හා ඍජුවම ඉන්දියාවට අපනයනය කර අනාගතයේ දී රටට ඩොලර් ඉපයීමට ද හැකිය.
@ඉංජිනේරු අශෝක අභයගුණවර්ධන
(උපායමාර්ග සංවර්ධන විශේෂඥ සහ දේශපාලන විශ්ලේෂක)