SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අල්ලස් හෝ දුෂණ සිද්ධි සහ රජයේ මුදල් අවභාවිතා කිරීමේ අධිචෝදනා මත

හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙන්ම නීතිපතිවරයා ගොනු කළ නඩු කිහිපයක් මහාධිකරණ හමුවේ විභාග වෙමින් පවතී.

 

 

ඉදිරියේදී කැඳවීමට නියමිත එම නඩු පිළිබඳ බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

 

2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියාකරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි නිවසක පදිංචිව සිටීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා කොට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

 

 

අල්ලස් පනත යටතේ "දූෂණය" නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත. මෙම නඩුව ලබන සැප්තැම්බර් මස 22 වන දා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිත ය.

 

මේ අතර 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාර කිරීමට හෝ ඊට එකඟ වීම ඇතුළු චෝදනා මත පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (ජුනි 4 වැනිදා) ඉවත දමනු ලැබීය.

 

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

ඒ අනුව මන්ත්‍රී රවී කරුණානායක අදාළ නඩුවල විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබු තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත්, එම තීන්දුවට අදාළව රවී කරුණානායක විසින් අභියාචනාදීකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ තීන්දුවේ සඳහන් වේ.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන කියා සිටියේ 2015 වසරේ ජනවාරි මස පළමුවන දා සහ 2016 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතු වලදී අවිධිමත් සහ අක්‍රමිකතා සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් වූ අතර මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවට ප්‍රකාශ වී තිබෙන බවයි.

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා

 

 

සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ , යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා ට අද (ජුනි 6 වැනිද) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

 

 

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දෙනු ලැබීය.

 

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

 

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 11 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියමකර සිටියේ ය.

 

අල්ලස් කොමිසම විසින් විත්කිකාර මර්වින් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනාවල සඳහන් කර තිබෙන්නේ 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවයි.

 

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දහසක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වෙයි.

 

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75000 ක මුදලක් වැය කර ඇති බවත් තවත් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

 

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකකි.

 

ප්‍රසන්න රණවීර

 

 

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන එහි කඩකාමර ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සිදුකළ බව කියන මෙම නීති විරෝධී ක්‍රියාවට ආධාර අනුබල දුන්නේ යැයි ප්‍රසන්න රණවීරට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

 

ප්‍රසන්න රණවීර කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෙම නීති විරෝධී ඉදිකිරීම්වලට අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවටත් චෝදනා එල්ල වී ඇත.

 

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන

 

 

අත්තනගල්ල ,කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් මගින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35 ක සුභසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 

 

මෙම නඩු විභාගය ආරම්භ වී ඇති අතර වැඩිදුර නඩු විභාගය අගෝස්තු මස 07 වනදා දක්වා කල් තබා ඇත.

 

හිටපු අමාත්‍ය විමල් වීරවංශ

 

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කළ නඩුවක් මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.

 

මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 

 

රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි, සඳහන් කරමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

 

 

එම නඩුවට අදාළ අධි චෝදනා පත්‍ර විත්තිකාර නාමල් රාජපක්ෂට භාරදී තිබේ. මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

 

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් එහි නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනුකර තිබේ.

 

 

එම නඩුවලට අදාළ විභාගය මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වී ඇති අතර ඉන් එක් නඩුවක් (ජුනි 04) දින විභාගයට ගත්තේය.

 

එම නඩුව ජූලි 07 යළි කැඳවීමට නියමිතය.

 

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර

 

 

පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

 

 

එහිදී විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර ඇත. එම නඩුව ලබන 06 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න

 

2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 

 

එම නඩුව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන අතර අගෝස්තු මස 28 වනදා එය යළි කැඳවීමට නියමිතයි.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක

 

 

දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සංවර්ධනය කර විකිණීම සඳහා තිබූ ඉඩම් කොටස්වලට නීති විරෝධී ලෙස පිඹුරුපත් සකස් කර රජයට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ තුන්දාස් අටසිය හැටක මුදලක් පාඩු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

 

මෙම නඩුවට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර සිටියි.

 

කෙහෙළිය සහ රමිත් රඹුක්වැල්ල

 

 

කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15 දෙනෙකු නාමිකව ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදු කළ බවට සැකපිට ඉදිරිපත් වූ පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

 

 

එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (ජූනි 03) නියම කරන ලදී.

 

ඔවුන්ට එරෙහි පැමිණිලි තුන යළි විභාග කිරීම ඔක්තෝබර් මස 10 වන දා සිදු කිරීමට ද නියෝග කර ඇත.

 

@BBC

නවතම ලිපි