SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“නිදහසින් වසර 77කට පසුව – ශ්‍රී ලංකාවේ අඳුරු අනාගතය අවසන් කරන්නට පවතින සැබෑ හැකියාව”

යන මාතෘකාවෙන් යුත් ලිපියක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආචාර්ය ලයනල් බෝපගේ විසින් නිකුත් කර ඇත.

 

1983 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ අවස්ථාව වන විට එහි ප්‍රධාන ලේකම්වරයාව සිටි ආචාර්ය ලයනල් බෝපගේ 1971 අප්‍රේල් 05 සිදුවූ මෙරට ජනතා නැඟිටීම සඳහා වගකිව යුත්තෙකු ලෙස නම් කරමින් එවක ස්ථාපිත කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව විසින් ඔහු වැරදිකරුවකු කරනු ලැබීය.

 

ෙබා්පෙග්

 

හඳුන්වා දීම

 

නිදහසින් වසර 77කට පසු ශ්‍රී ලංකාව විශාල දේශපාලන පරිවර්තනයකට ලක් වී තිබේ. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) 2024 මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ, කලින් පැවති දූෂිත සහ අධිකාරිවාදී පවුල් වංශාවලියෙන් විතැන් වීමක් සනිටුහන් කරමිනි.

 

 

"මෙම ප්‍රතිඵලය පිළිබිඹු කරන්නේ වෙනසක් සඳහා ජන සහයෝගය බලමුළු ගැන්වූ 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයේ අභිලාෂයනුයි. අස්ථාවරත්වය වෙත ආපසු යෑමක් වැළැක්වීම සඳහා දිගු කාලීන ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යන අතර ජීවන වියදම, සේවා නියුක්තිය, සෞඛ්‍ය සේවාව සහ අධ්‍යාපනය වැනි හදිසි සමාජ – ආර්ථික ගැටලු විසඳාලීමේ අභියෝගයට NPPය දැන් මුහුණ පා සිටියි."

 

 

බලය තහවුරු කර ගැනීමට අතීත නායකයින් යළි යළිත් උත්සාහ කළේ වුවද, ප්‍රජාතන්ත්‍රවාදී මාවත් තුළින් අධිකාරිවාදයට එරෙහි වීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව ඇත. 2022 අරගල ව්‍යාපාරය රාජ්‍ය මර්දනයට සාර්ථක ලෙස එරෙහි වූ අතර මෑත මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා ලබා දී තිබෙන ප්‍රබල ජනවරමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, දේශපාලන මෙහෙයුම්, බහුජන ප්‍රචාර කටයුතු සහ වේදිකාගත කරන ප්‍රචණ්ඩත්වය මඟින් පැරණි පාලන තන්ත්‍රයේ නටබුන් යළි නැඟී සිටින්නට උත්සාහ කළ හැකිය. එබැවින්, මහජන සම්බන්ධතාව දිගින් දිගටම පවත්වා ගැනීම තීරණාත්මක වේ.

 

නව ආණ්ඩුව හා අභියෝග

 

පළමු වරට පත් වූ මන්ත්‍රීවරු සැලකිය යුතු සංඛ්‍යාවකින් ද, කාන්තා නියෝජනයේ මඳ වැඩි වීමකින් ද සමන්විත නව පාර්ලිමේන්තුව සැලකිය යුතු ලෙස වෙනස් ය. දෙමළ බහුතරයක් වසන උතුරේ NPPය ලැබූ මැතිවරණ ජයග්‍රහණය ජාතික සමගිය සඳහා පවතින කැමැත්ත දක්වයි. කෙසේ වෙතත්, ප්‍රධාන ජනවාර්ගික ප්‍රශ්න සම්බන්ධයෙන් NPPය දරන ස්ථාවරය පැහැදිලි නැත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ සාධාරණ පාලනයක් කෙරෙහි NPPය කැපවී සිටියද, ෆෙඩරල් ක්‍රමයට සහ අතීත යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීමට එය විරුද්ධ වේ. නොකඩවා හමුදාව වෙත ප්‍රමුඛත්වය ලබා දීම සහ ආරක්ෂක අය වැය පිළිබඳව ආණ්ඩුව ගන්නා ප්‍රවේශය තවමත් ප්‍රකාශ කළ යුතුව තිබෙන අතර එම ප්‍රවේශය සංහිඳියා ක්‍රියාවලියට තීරණාත්මක වනවා ඇත.

 

"ගෝලීය වශයෙන් ගත් විට, බොහෝ විට මුල් ඇද තිබෙන බල නිර්මිතයන්ගේ විරෝධතාවන්ට ලක් වෙමින් ප්‍රගතිශීලී ආණ්ඩු අති විශාල අභියෝගවලට මුහුණ දී ඇත. කොංගෝවේ පැට්‍රිස් ලුමුම්බා, ඉන්දුනීසියාවේ සුකර්නෝ සහ චිලියේ සැල්වදෝර් අයියන්දේ වැනි ප්‍රගතිශීලී නායකයින් හා අදාළ ඓතිහාසික සිදුවීම් ඉස්මතු කර දක්වන්නේ බාහිර හා අභ්‍යන්තර විරෝධය පෑම් හමුවේ රැඩිකල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ඇති දුෂ්කරතාවයනය. එවැනි උගුල් මඟ හරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව නායකත්වය මෙම ඓතිහාසික පාඩම්වලින් අත්දැකීම් උකහා ගත යුතුය."

 

 

NPPයේ ජයග්‍රහණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ ශ්‍රී ලංකාවක් සඳහා පවතින බලාපොරොත්තු සලකුණු කරන නමුත් දිගු කාලීන ස්ථාවර බව සහතික කරන අතරතුර පොදු ජන අපේක්ෂාවන් ඉටු කරලීම දුෂ්කර කටයුත්තක්ව පවතී. වඩා සමානාත්මතාවාදී අනාගතයක් කරා රට මෙහෙයවීමේ දී පොදු ජනතාවගේ නොකඩ සහභාගීත්වය, කාර්ය සාධක පාලනය සහ පරීක්ෂාකාරී දේශපාලන මෙහෙයවීම අතිශයින් වැදගත් වනවා ඇත.

 

 

ජනවරම සහ අනාගත විකාශනයන්

 

කෙතරම් හොඳින් නව ආණ්ඩුව රටේ විවිධ ජාතීන්ට අයත් ජනයා සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නේ ද, පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් ලබා ගන්නේ ද සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුගත වන්නේද යන්න මත ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතියි. රට බංකොලොත්භාවයේ සිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින නමුත් තවමත් එය ජාත්‍යන්තර මූල්‍ය බලපෑම යටතේ පවතී. පෙර පාලනයන් මෙන් නොව NPPය අධික බලතල ඉල්ලා නොසිටින අතර ඒ වෙනුවට සමාජ – ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය ලබා දෙයි.

 

ආණ්ඩුවේ Clean Sri Lanka (පිරිසුදු ශ්‍රී ලංකා) ආරම්භක වැඩසටහන ඉතා ආදරයෙන් පිළිගත යුතු වර්ධනයක් වේ. පාරිසරික, සමාජයීය සහ පාලනය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉලක්ක කරගත් පුළුල් වැඩසටහනක් මඟින් ජාතිය පරිණාමනය කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ අපේක්ෂාසහගත ඉලක්ක එය සතු වේ. එය නිසි අන්දමට ක්‍රියාත්මක කළ හොත් ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීමේ, පාරිසරික පවිත්‍රතාව වැඩි දියුණු කිරීමේ, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමේ සහ යහපාලනය සහතික කිරීමේ හැකියාව එය සතුව තිබේ. පොදු අවකාශයන් නඩත්තු කිරීමේ දී, කසළ කළමනාකරණය වැඩිදියුණු කිරීමේ දී සහ සමාජය පුරා සදාචාරාත්මක මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ දී ප්‍රජා සහභාගීත්වයේ ඇති වැදගත්කම මෙම මුලපිරීම අවධාරණය කරයි. තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් දෙසට රටේ පරිණාමනීය වෙනසක් ප්‍රවර්ධනය කරවන Clean Sri Lanka වැඩසටහන, ඇත්තෙන්ම නව වටිනාකම් හා ප්‍රතිපත්ති පද්ධතියක් වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කප්පාදුව, විරෝධතා මර්දනය කිරීම සහ දේශපාලන අනුග්‍රහය විසින් ලකුණු කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය තුළ දී ඔහු ගමන් ගත් මාවත NPPය හුදෙක් අනුගමනය කරමින් සිටින බවට විපක්ෂය කියා සිටියි. ඔහු තෝරා පත් කර නොගත් ජනාධිපතිවරයෙකු වූ අතර, ඔහුගේ පාලනය රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අසමත් වූයේය; ආර්ථික දුෂ්කරතා උග්‍ර කරවාලීය; දූෂණය ආවරණය කළේය. ඔහුගේ ප්‍රතිපත්ති පාලක ප්‍රභූ පෙළැන්තිය සඳහා සුඛෝපභෝගී වරප්‍රසාද පවත්වා ගෙන ගිය අතර, රැකියා අහිමි කිරීම්වලට, පොදු ජන බර වැඩි කරලන්නට සහ පුද්ගලීකරණය කිරීමේ අසාර්ථක වූ උත්සාහයන්ට මඟ පෑදීය. ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වය බෙහෙවින් විවාදාත්මක එකක් බවට පත් කරමින් ඔහුගේ පරිපාලනය මානව හිමිකම් යටපත් කළ සහ දූෂණයට විසඳුම් සෙවීමට අසමත් වූ ප්‍රතිපත්ති ද ක්‍රියාවට නැංවීය.

 

ඊට වෙනස් අයුරින්, සමාජවාදී විප්ලවයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් තුළින් NPP ආණ්ඩුව බලයට පත් වූයේය.

 

"අත්‍යවශ්‍ය සේවාවල පොදු අයිතිය පවත්වා ගෙන යන අතර NPP ආණ්ඩුව නියාමනය කළ පුද්ගලික අංශයේ වර්ධනයට, විදේශ ආයෝජනවලට සහ නිදහස් වෙළඳාමට සහයෝගය දෙයි. කෙසේ වෙතත්, NPPය විසින් දෙන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කර දැමීම සහ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි පොරොන්දු ඉටු කරනු ඇත්දැයි යන්න පිළිබඳ කනස්සල්ලන් ශේෂව පවතී."

 

කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති ප්‍රතිසංස්කරණය කිරීම් පිළිබඳ සාකච්ඡාවන් පැවැත්වේ.

 

 

අභියෝග සහ ප්‍රතිසංස්කරණ

 

එහි ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රය නොසලකා NPP ආණ්ඩුව සැලකිය යුතු බාධාවන්ට මුහුණ දෙමින් සිටියි. යුද හමුදාව දෙමළ සහ මුස්ලිම් ජන ප‍්‍රජාවන්ට අයත් ඉඩම් තවදුරටත් අත්පත් කරගෙන සිටියි. එසේ වුවත්, අලුතෙන් පිහිටුවන ලද ජාතික සමගිය හා සංහිඳියා කොමිසම සාධනීය වර්ධනයක් වේ.

 

NPPය දුප්පතුන් මත පනවා තිබෙන බදු බර අඩු කිරීමට, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් හි පොදු අයිතිය පවත්වා ගැනීමට සහ ආණ්ඩුවේ වියදම් පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙයි. මූල්‍ය ස්ථාවරත්වය අත් කර ගැනීම සඳහා අපනයන වැඩි කිරීමට, ආනයන අඩු කිරීමට සහ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට එය උත්සාහ දරයි. කෙසේ වෙතත්, වගවීම භාර ගැනීමටත්, විවේචකයින් නිහඬ කිරීමටත් තීරණ ගැනීම විනිවිදභාවයෙන් යුක්තව සිදු කළ යුතුව ඇත. වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්ති සහ ඇතැම් නිලධාරිවාදී භාවිතාවන් දිගටම පවත්වා ගෙන යෑම විසින් ක්‍රම වෙනසක් සඳහා ආණ්ඩුවේ ඇති කැපවීම පිළිබඳව සැකයක් ද ඇති කරවාලිය හැකිය.

 

 

නිගමනය

 

NPP ඡන්දදායකයෝ දූෂණය තුරන් කරන, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන සහ වගවීම සහතික කරන පාලන ආකෘතියක් අපේක්ෂා කරති. නිදහසින් පසු ඉතාමත් සාමකාමී මැතිවරණයක් පවත්වමින් නව පරිපාලනය සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පෙළැන්තියෙන් බිඳී වෙන් වී ඇත. කෙසේ වෙතත්, විශේෂයෙන්ම මානව හිමිකම් සහ සුළුතරයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් NPPය දෙන ලද ප්‍රතිඥා සපුරා ක්‍රියාත්මක කිරීමට ඊට ඇති හැකියාව මඟින් එහි කාර්ය සාධනය විනිශ්චය කරනු ඇත.

 

 

"NPPය විසින්ම නව ලිබරල්වාදයෙන් දුරස් වීමට උත්සාහ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිටුබලය ලද කප්පාදු කිරීමේ පියවරවලට එය මුළුමනින් විරුද්ධ නොවේ."

 

 

ආර්ථික කළමනාකරණය වැඩිදියුණු කරන අතරම මෙම කප්පාදු කිරීමේ පියවරවල බලපෑම අවම කිරීම කෙරෙහි එහි උපායමාර්ගය අවධානය යොමු කරයි. ආණ්ඩුව රාජ්‍ය මූල්‍ය සීමාවන්ට අනුගත වීමත් සමාජ සුබසාධනය සහතික කිරීමත් අතර සමතුලිතතාවක් ඇති කළ යුතුය. බදු ආදායම වැඩි කිරීම, වෙළෙඳ හිඟයන් කළමනාකරණය කිරීම සහ දූෂණය මැඬලීම, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමේ දී තීරණාත්මක වනු ඇත.

 

ශ්‍රී ලංකාව සිය 77 වැනි නිදහස් සංවත්සරය සනිටුහන් කරන මේ අවස්ථාවේ, NPP ආණ්ඩුවේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවී සිටීමට ඊට ඇති හැකියාව මතය. NPP ආණ්ඩුව දෙන ලද පොරොන්දු ඉටු කර ජනතාවට සැබෑ ලෙසම සේවය කරන නව පාලන යුගයක් ඔවුන්ට උදා කර දිය හැකිද යන්න කාලය විසින් පමණක් තීරණය කරනවා ඇත.

 

@ලයනල් බෝපගේ