සහල් ආනයනය කිරීම සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය
තීරණය කර ඇත. එම තීරණයට අනුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කළ හැකිය.
මෙම සීමා ලිහිල් කිරීම දෙසැම්බර් 20 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.
දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහ අනෙකුත් සහල් වර්ගවල හිඟය මෙන්ම අධික වර්ෂාවෙන් වී වගාවට සිදුව ඇති හානිය සලකා මේ පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
මේ ඒ පිළිබඳව BBCය විසින් පලකෙරුනු වාර්තාවකි.
සහල් අර්බුදය:
නත්තල් වෙද්දි හාල් මිල අහස උසට යයි ද?
එක හාල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවට දුන් මැතිවරණ පොරොන්දුව කඩ කිරීමට රජයට සිදුව තිබේ. ඒ සහල් හිඟය හේතුවෙනි.
එයට විසඳුමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවේ පසුගිය නොවැම්බර් මාසයේ දී ය.
කෙසේ වෙතත් මෙතෙක් වෙළඳපලේ සහල් හිඟය අවසන් වී නොමැති අතර සහල් මිල ද පාලනයකින් තොරව ඉහල යමින් තිබේ.
සහල් ආනයනය පාලන සීමා ඉවතට
සහල් ආනයනය පහසු කිරිමට මෙන්ම සහල් හිඟය ඉක්මනින් අවසන් කිරිමට එක් පියවරක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
එම තීරණයට අනුව 2024/12/20 දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනිමෙන් තොරව මෙරටට සහල් ගෙන්වීමට අවසර ලබා දී තිබේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරි උත්සවය සමය වන විට මෙරට සහල් හිඟයට විසඳුමක් ලැබුණු ඇති දැයි බීබීසි සිංහල විසින් සොයා බලන ලදි.
රජය මාසයක් ප්‍රමාදයි
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසන්නේ සහල් ආනයනය කිරිමට රජය ගත් තීරණය මීට පෙර ගත යුතුව තිබු බවයි.
“රජය මාසයක් ප්‍රමාද වෙලා තියෙන්නේ. මේ වෙද්දි වෙළඳපලේ සහල් තිබුණා නම් රටේ සහල් අර්බුදයක් එන්නේ නැහැ. දැන් විවෘත වෙළඳපලේ කඩවල සහල් නැහැ. දැන් මේ වෙද්දි අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. තවත් ප්‍රමාද වෙනවා කියන්නේ මේ අර්බුදය තව තවත් උච්ච වීමක් තමයි සිද්ධ වෙන්නේ.”
යැයි එම සංගමයේ සභාපති යු.කේ. සේමසිංහ කියා සිටියේය.
සහල් ගෙන්විම ප්‍රමාද වීමේ වාසිය වී තොග රැස් කරගෙන සිටින මහා පරිමාණ මෝල් හිමියන්ට සහ තොග රැස් කර ඇති අතරමැදියන්ට හිමි වන බව ඔහු සඳහන් කළේය.
මෙම අර්බුදය හමුවේ සහල් මිල තවදුරටත් වැඩි වනු ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
එක රැයින් අර්බුදය අවසන් කරන ක්‍රමය
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සහල් අර්බුදය සම්බන්ධයෙන් දක්වන් මීට වෙනස් අදහසකි.
එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ විසින් සහල් සඳහා නිකුත් කරන ලද රුපියල් 220ක පාලන මිල ඉවත් කලහොත් සහල් අර්බුදය නිමාවට පත් වන බවයි.
“හාල් ගෙන්වන්නේ නැතුව, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගැසට් නිවේදන ටික අවලංගු කරලා දාලා වර්තමාන ජනාධිපතිතුමා, ජනාධිපතිවරණයට කලින් කියපු වී මිලක් තියෙනවා, ඒ මිල මත පදනම් වෙලා හාල් මිල තීරණය කළා නම් මේ ගැටලුව එක රැයින් අවසන් වෙනවා.”
යි ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.
ජනාධිපතිවරණයේ දුන් පොරොන්දු අනුව වී මිල රුපියල් 130ක් ලෙස සලකා හාල් මිල තීරණය කරන ලෙස එම සංගමයෙන් රජයෙන් ඉල්ලා සිටියි.
'ඔය කියන තරම් හිඟයක් එන්න විදියක් නැහැ'
සහල් හිඟය නිර්මාණය කරන ලද අර්බුදයක් බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා චෝදනා කළේය.
“ඔය කියන තරම් හිඟයක් එන්න විදියක් නැහැ වෙළඳපලේ අදත් රුපියල් 145ට ඕන තරම් නාඩු වී තොග තියෙනවා ගන්න. ඒක සහල් ආනයනය සඳහා රජය යොමු කිරිමේ අරමුණින් එක්තරා කණ්ඩායමක් ආණ්ඩුව රවට්ටන්න, ජනාධිපතිතුමාව රවට්ටන්න, රට නොමඟ යවන්න ගොතන ලද කතාවක්. මේක පිටිපස්සේ ඉන්නේ හාල් ආනයනයෙන් වාසි ලබන කට්ටිය.”
සතොස සහ සුපිරි වෙළඳසල්වල පමණක් හාල් හිඟ වීමට හේතුව පාලන මිල ඉක්මවා සහල් විකිණිමට ඔවුන්ට නොහැකි වීම බවත් අනෙකුත් වෙළඳසල්වලින් වැඩි මිලට හාල් ලබා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.
අර්බුදයට සහල් මෝල් හිමියන්ගේ යෝජනා මොනවා ද?
සහල් පාලන මිල රුපියල් 240ක් දක්වා වැඩි කිරිමෙන් සහල් අර්බුදය අවසන් කළ හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය යෝජනා කරයි.
“මේ ගැසට් එක 240ට වැඩි කළා නම් රටින් හාල් ගේන්න ඕනේ නෑ. හෙට උදේ කඩවල් ඉස්සරහා හාල් තියෙනවා ඕන තරම්.”
“ගැසට් නිවේදනය අයින් කළා නම්, 235 වගේ මිලකට හාල් තොග නිකුත් කරන්න පුළුවන්. 240 මිලට සිල්ලර ක්‍රියාවලිය ඉවර කරන්න පුළුවන්. ඒකට මම හිතන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ ඇතුළු සියලු දෙනා කැමැත්තෙන් ඉන්නවා. ආණ්ඩුව තවදුරටත් 220 මිලේ ඉන්න හින්දා තමයි මේ වෙද්දි මේ ප්‍රශ්නය.”
යැයි මුදිත් පෙරේරා පැවසීය.
සහල් සම්බන්ධව රජයේ නියාමන ගැටලුව විසඳා ගැනීම මෙන්ම බියර් සහ සත්ව ආහාර සඳහා ලබා දෙන සහල් සීමා කිරීම හරහා අර්බුදයට විසඳුම් ලබා ගත හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු.කේ. සේමසිංහ සඳහන් කළේය.
“හාල් සහ වී ප්‍රශ්නය රජයේ නියාමනයෙන් තොර වීම නිසා මිනිස් පාරිභෝජනයට එහා ගිහිල්ලා මේකෙන් ලොකු ප්‍රමාණයක් බියර් නිෂ්පාදනය සඳහා යනවා. අනිත් එක තමයි සත්ව ආහාර විදියට ලොකු කොටසක් යනවා. අපේ රටේ පසු අස්වනු ක්‍රියාවලිය තුළ නිෂ්පාදිත වී සහ සහල්වලින් වැඩි ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඔය කාරණා තුන නිසා ප්‍රධාන වශයෙන් අපේ රටේ සහල් අපි නිෂ්පාදනය කරගෙන, අපි මදී කියලා පිටරටිනුත් ගෙන්න ගෙන අපි හැමදාම ලෝකයට ණය වෙන ජාතියක් බවට පත් වෙලා ඉන්නවා.”
හාල් ගේන්න කොච්චර කාලයක් යනවා ද?
දෙසැම්බර් 20 වැනිදා වන විට හැකි තරම් සහල් තොග ඉන්දියාවෙන් මෙරට ට ගෙන්වීමට කටයුතු කරන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.
"දිනයක් දාලා තියෙනවානේ 20 කියලා, 20 වෙද්දි එහෙම ලොකු තොගයක් ගෙන්වන්න බැහැ පුළුවන් තරම ගෙන්වනවා අපි."
රජය විසින් ලබා දී ඇති කාල සිමාව තුළ සහල් ගෙන ඒමේ අපහසුතා සම්බන්ධයෙන් ද ඔහු විස්තර කළේය.
"අද අරගෙන හෙට පටවන්න බෑනේ. කන්ටේනර් සීයයක් පටවනවා නම් සෙල්ලමක් නෙමෙයිනේ ඒක ඔපරේශන් එකක් තියෙනවානේ. නැවක් අල්ල ගන්නත් ඕනානේ. 20 වෙනිදා කියන දිනේ දැම්ම ඒකම වැරදී. අපි ඉල්ලුවේ අඩු ගානේ 31 වෙනිදා වෙනකම්. අනිත් එක තීරු බද්දකුත් තියෙනවා."
ඉන්දියාවෙන් ඉතා ඉක්මනින් ලබා ගත හැකි සහල් තොග මේ වන විට ලබා ගනිමින් පවතින බව කී මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න දෙසැම්බර් 20 වැනිදා වන විට මෙරටට ගෙන්විය හැකි නිශ්චිත සහල් තොග ප්‍රමාණය ගැන මෙතෙක් කිව නොහැකි බව ද පැවසීය.
රජයේ ප්‍රතිචාරය කුමක් ද?
ආනයනික සහල් තොග දෙසැම්බර් 20 වැනිදා පමණ වන විට ලංකාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බව වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඒ විමලේන්තිරාජා බීබීසි සිංහල සේවය කළ විමසීමක දී කියා සිටියේය.
පෞද්ගලික අංශයට ද සහල් ආනයනය කිරිමට අවසර ලබා දී ඇති බැවින් ඉදිරි උත්සවය සමය වන විට සහල් අර්බුදය නිමා වනු ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.
රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළ අතර මෙරට සහල් මෝල් හිමියන්ට සහල් නිදහස් කිරිමට තිබු බාධා ඉවත් කළ බවද පැවසීය.
“මෝල්වල තියෙනවා සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒකට උත්තරයක් හොයලා දුන්නොත් අපි දෙන්නම් කියලා. අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා. ඒ නිසා අද සිට ඔවුන් අපට එකඟ වෙලා තියෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220 වෙළඳපල මිලට ලබා දීම සඳහා සතොස හරහා අපි ක්‍රියාත්මක කරනවා.”
දෙසැම්බර් 20 වැනිදා පමණ වන විට රජය සහ පෞද්ගලික අංශය විසින් ආනයනික සහල් තොග රට තුළට ලැබීම හරහා සහල් අර්බුදය සමනය වනු ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
@BBC sinhala