SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයට කැපී පෙනෙන නායකත්වයක් ලබාදුන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිට ඝාතනයට ලක්කළ කීර්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි හෙවත් නිෂ්මිගේ,

පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

1934 අගෝස්තු 24 වෙනිදා උපන් රත්නපුර පදිංචිව සිටි මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ ඒ මහතා මියයන විට වයස අවුරුදු 90ක් වුණා. ඒ මහතා 1964 නොවැම්බර් 14 වැනිදා පානදුරේ දී උපන් සිය පුතුට ‘නිෂ්මි’ යන නම තබා තිබුණේ අරාබි බසින් ‘සනීපදායක මඳ පවන’ යන අරුතින් බවයි පසු කලෙක පවසා තිබුණේ.

 

පානදුර සාන්ත ජෝන් විදුහල, රක්වාන සාන්ත ඇන්තනීස් විදුහල, ඇහැළියගොඩ කණිෂ්ඨ විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර අල් නකියා විද්‍යාලය සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ආදී විදුහල් ගණනාවක අධ්‍යාපනය ලැබූ නිෂ්මි පැහැර ගෙන ගොස් ඝාතනය කරන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක්.

 

1990 ජනවාරි 18 වැනිදා ගල්කිස්සේ දී අත්අඩංගුවට පත් වූ නිෂ්මි දරුණු වධ බන්ධනයන්ට ලක්ව ඝාතනය කර ඇත්තේ 1990 පෙබරවාරි 10 -15 අතර දිනක බවයි වාර්තා වන්නේ.

නිෂ්මිගේ පියාට නිෂ්මිව අවසන් වරට හමුව තිබුණේ 1989 දෙසැම්බර් 31 වැනිදා පානදුරේ දී යි.

 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වූ නිෂ්මි පසුව එහි මූලස්ථාන කමිටුව විසින් අනුරාධපුරය, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන් හී සම්බන්ධීකරණ සඳහා පත්කර තිබුණා.

 

නිදහස් අධ්‍යාපනයත් සමාජ අසාධාරණයටත් එරෙහිවත් සිය සගයින් සමඟ නොතිත් මෙහෙයක නිරත වූ මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි පිළිබඳව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ඒ.සී.එස්. හමීඩ් මෙන්ම පේරාදෙණිය සරසවියේ එකල උපකුලපතිවරයා වූ මහාචාර්ය අලුවිහාරේ පවා දක්වා තිබුණේ ඉමහත් ගෞරවයක් බවයි කියන්නේ.

 

මොහොමඩ් සයිම් සිරායුඩීන් නම් වූ නිෂ්මිගේ පියා මියයන තුරුම, ඝාතනය කළ සිය පුතු වූ නිෂ්මි පිළිබඳව ඉමහත් ගෞරවයක් මෙන්ම ආදරයක් දැක්වූ අයෙක්.

 

මොහොමඩ් සයිම් සිරායුඩීන් මහතාගේ අවසන් කටයුතු අද (18) සවස 3.00ට රත්නපුර ඉස්ලාම් මහ පල්ලියේ දී සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ සමීපතමයන් පවසනවා.

 

@ උපුටාගැනීම - A5 News Sri Lanka

nalan mendis

නවතම ලිපි