SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාව පීඩා විඳින්නේ දේශපාලකයින් ගැසූ දේශපාලන බිම් බෝම්බ නිසයි

රට බංකොලොත් වී ජනතාව අතිශය පීඩාවට පත්ව සිටින්නේ කිසිදු දැක්මක්, වැඩ පිළිවෙළක් සහ දක්ෂතාවයක් නොමැති අවස්ථාවාදී, පටු සහ බල ලෝභී දේශපාලකයින් මේ රටේ පුපුරුවා හැරිය දේශපාලන බිම් බෝම්බ නිසා යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

 

ඔවුන් සියලු දෙනා අදවත් මේ යථාර්ථය තේරුම් ගෙන රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහා අවංකව ඉදිරියට පැමිණ රට-ජනතාව වෙනුවෙන් කැප විය යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පෙන්වා දේ.

ජනතාවගේ පිහිටෙන්-දෙවියන්ගේ රැකවරණයෙන් එජාපයේ විශාල පිබිදීමක් ඇති වෙලා

එක්සත් ජාතික පක්ෂය කඩා විනාශ කිරීමට දේශපාලන වශයෙන් දුෂ්ඨ බලවේග උත්සහ කළත් ජනතාගේ පිහිටෙන් සහ දෙවියන්ගේ රැකවරණයෙන් මේ වන විට පක්ෂය විශාල දේශපාලන පිබිදීමක් ලබා ඇතැයි ද, ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියෙන් මනාව ඔප්පු වූයේ යැයි ද රවී කරුණානායක කියයි.

 

බංකොලොත් භාවයෙන් රට  මුදවා ගෙන, රට ගොඩනගා ජනතාවට ප්‍රතිලාභ ලබා දිය හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට පමණක්  යැයි  කියන රවී කරුණානායක  ඒ බව ඔහු මේ වන විට ඔප්පු කර ඇතැයි ද, එම නිසා එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්   නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ යැයි ද අවධාරණය කරයි.

ජනපති වටා සියලු දේශපාලන-නායකයින් එකට එකතු වෙලා

 

මේ යථාර්ථය තේරුම් ගෙන සිටින දේශපාලන පක්ෂ සහ නායකයින් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකට ඒකරාශී වෙමින් සිටින්නේ යැයි ද, ඒ අනුව ඒ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින්ගෙන් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ඔස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ද හෙතෙම පවසයි.

උද්ධමනය පාලනය කිරීම සඳහා ජන ජීවිතය විනාශ කරන්න ඉඩ දෙනු බැහැ 

 

ආනයනය රටට තවමත් ඔරොත්තු නොදෙන තත්ත්වය මත රට අභ්‍යන්තරයේ තිබෙන ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම රටේ අභිවෘද්ධියට යහපත් වන නිසා 2024 අග භාගය වන තුරු ආනයන සීමා ළිහිල් නොකළ යුතු යැයි ද රවී කරුණානායක පෙන්වා දෙයි.

 

බැංකු ණය පොළී අඩු කළ බව චක්‍ර ලේඛනවලින් කියා සිටියත් බැංකු පද්ධතිය හරහා එම සහනය ජනතාවට තවමත් ලැබී නොමැති බව කියා සිටින රවී මේ රටේ ප්‍රශ්න ඇති කරන්නේ කතාව විතරක් තිබෙන වැඩ නොමැති ශ්‍රී ලංකා මහා බැංකුව යැයි ද චෝදනා කර සිටියි.

 

උද්ධමනය පාලනය කළ යුතු යැයි කියා දැඩි නීරීති මගින් ජනතාවගේ ජන ජීවිතය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි යැයි ද, රට-ජනතාව වෙනුවෙන් මේ වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යා යුතු යැයි ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩි දුරටත් අවධාරණය කරයි.  

 

නවතම ලිපි