SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කණ්ඩායමේ කිසිවකුට කිසිදු ස්ථානයක් ලියාදී නැති බවත් දස්කම් නොදක්වන්නේ නම්

ඕනෑම අයකුට එළියට යන්නට සිදුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග කොළඹදී 04 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 

ඒ නිසා කණ්ඩායමේ සියලු දෙනා උපරිමයෙන් දස්කම් දක්වීමට කටයුතු කළ යුතු බවත් එම ස්ථානය ලබා ගැනීම සඳහා තවත් පිරිසක් එළියේ සිටින බව ඔවුන්ට මතක් කර සිටින බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ සවස පැවති එම මාධ්‍ය හමුව සඳහා ඉන්දික ද සේරම්, අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා යන තේරීම් කමිටු සාමාජිකයෝ ද සහභාගි වී සිටියහ.

 

එහිදී තව දුරටත් අදහස් දැක්වූ උපුල් තරංග මෙසේද සඳහන් කළේය.

 

“අපි කණ්ඩායම නම් කරන්නේ අපේ පස්දෙනාගේ පොදු මතය යටතේ. බෙදීමක් ආපු ගමන් වැඩි මතයට ඉඩ දෙනවා. තුන්දෙනෙක් මගෙ මතයට වෙනස් අදහසක හිටියොත් මගේ මතය යට ගිහින් වැඩි දෙනාගේ කැමැත්තට ඉඩ දෙනවා. ක්‍රීඩකයෝ දෙදෙනකු ගැන සමාන මත දෙකක් ආවොත් අපි පුහුණුකරු සහ නායකයා විමසා හොඳම කෙනා තෝරා ගන්නවා.

 

අපේ තෝරා ගැනීම්වලට කාගෙන්වත් බලපෑම් නැහැ. ඒ වගේම කාටවත් කියලා විශේෂ හැන්දකින් බෙදන්නෙත් නැහැ. ඕනෑම අයකුට කණ්ඩායමට පැමිණීමට සමාන අවස්ථා තිබෙනවා. අවශ්‍ය වෙන්නේ දස්කම් දැක්වීම පමණයි.

 

ඇන්ජලෝ මැතිව්ස් අපි පන්දු වාර 20-20 කණ්ඩායමට නම් කළ අවස්ථාවේ අපිට නොයෙක් දෝෂාරෝපණ එල්ල වුණා. ඒත් අපේ තීරණය කොතරම් හොඳ ද යන්න ඇන්ජලෝ ඔහුගේ දස්කම් වලින් පෙන්නුවා. අපේ තීරණය කොපමණ නිවැරදි දැයි ඉදිරියේ දී තව දැක බලාගන්න පුළුවන්.

 

කොහොම වුණත් තව ක්‍රීඩකයෝ විස්සක් විතර තරග ආකෘති තුන සඳහාම අපි සූදානම් පිට තියා ගන්න ඕනා. අපිට වේග පන්දු යවන්නන් සිටිනවා. මුල් පෙළ පිතිකරුවන්ගෙ හිඩැසක් තියෙනවා. විශේෂයෙන් මුල් පෙළ පිතිකරුවන් ආබාධයට ලක් වුවහොත් ආදේශන අඩුයි.

 

බංගලාදේශ සංචාරයේ වනිදුගේ ස්ථානය සඳහා දුනිත්ට වඩා ජෙෆ්රි වැන්ඩසේ පිළිබඳව විශ්වාසය තැබුවේ වැන්ඩසේට කඩුලු දවා ගැනීමට වැඩි අවස්ථාවක් තිබෙන නිසයි. ඒ වගේම දික්වැල්ල කණ්ඩායමට ගෙනාවේ ලසිත් කෲස්පුල්ලේ සහ ෂෙවෝන් ඩැනියෙල්ට වඩා අපි දික්වැල්ල කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා.

 

මෙවර 20-20 තරගාවලියේ දී මුල් පෙළ සඳහා කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරාවි. ඒ අතරින් කමිදු මෙන්ඩිස්ට අපි කියලා තියෙනවා ඔහුගේ පන්දු යැවීමේ දස්කම් ද තව දියුණු කර ගන්න කියලා. මොකද තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කමිදුගේ දස්කම් අපිට ගොඩක් ප්‍රයෝජනවත්.