SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍යට අභියෝග කරන්න පැකිලෙන්නේ නෑ. හැකි සෑම අවස්ථාවකම ඔහු නීතිය සෙල්ලමකට ගන්නවා. මේ පූර්වාදර්ශය අප රට විධායක ජනාධිපතිවරණයේ නරකම පූර්වාදර්ශය” යැයි,

අද නාවල කොස්වත්ත "නිදහස" ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය ඇමතමින් එහි නායක, ඩලස් අලහප්පෙරුම කිවේය.

 

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා වැනි ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන ආයතනවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් හෝ බලය රැකගැනීමයි ආණ්ඩුවේ උවමනාව.

අපේ ඉතිහාසයේත් ලෝක ඉතිහාසයේත් මේ ආකාරයට හැසිරුණු කිසිවෙකුට ගෞරවයක් නැහැ. වැලිකඩ හිරගෙදර "H" වාට්ටුව අවසාන ලිපිනය කර ගන්න කැමතිනම් පමණක් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට සූදානම් වන්නැයි අපි ඒ සැමට මතක් කරන්න කැමතියි”.

 

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ අභිරහස් ඝාතනය ගැන කතා කළ මන්ත්‍රීවරයා පැවසුවේ, මෙවැනි නිර්භීත අවංක රාජ්‍ය සේවකයින් ඝාතන කිරීමෙන් පැහැදිලි වන්නේ ඝාතක වුවමනාව පුද්ගලයෙකු නොව රාජ්‍ය සේවය ඝාතන කිරීම බවයි. රාජ්‍ය සේවයට දැල්වුණු රතු සංඥාවක් ලෙස එය තේරුම් ගන්නැයි ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.

 

ලංකා රෝහල විකිණීමට යයි

 

පසුගිය වසරේ එනම්, 2023 හි රුපියල් බිලියන 1.9 ක ශුද්ධ ලාභයක් ලැබූ ලංකා රෝහල (Lanaka Hospital) ආයතනය අප්‍රේල් මාසයට පෙර විකුණා දැමීමට ආණ්ඩුව රහසේ සැරසෙනවා. සිංගප්පූරුවට, ඉන්දියාවට නොගොසින් අඩු මුදලකින් මහා පරිමාණ ශෛල්‍යකර්ම කරන ගැනීමට තිබූ එකම රෝහල මෙලෙස විකුණන් කෑමට හිතක් පපුවක් නැද්දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

 

"ශ්‍රී ලංකාවේ වසර පහකට (5) මැතිවරණ හතරක් (4) පවත්වනවා. මොන තරම් කාළයක් ධනයක් රාජ්‍ය සම්පත් විනාශ කරනවා ද? ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් එකම දවසේ පැවැත්විය හැකියි. පළාත් සභාවත් පළාත් පාලනයත් එක දවසකම පැවැත්විය හැකියි. නිදහස ජනතා සභාව ලෙස අපි මේ ගැන වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා. ඉන්දුනීසියාවේ එකම දිනයක දී මහජන ආයතන පහකට (5) නියෝජිතයින් තෝරා පත් කර ගන්නවා. පසුගිය පෙබරවාරි 17 එය පැවැත්වූවා. ජනාධිපති, උප ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ එකම දිනයකදීයි. ඉන්දුනීසියාවේ ඡන්ද දායකයින් මිලියන 204 යි. අපේ මිලියන 16 යි. එරට, ඡන්ද මධ්‍යස්ථාන අට ලක්ෂ විසිදාහයි (820,000) අපේ දහතුන්දාහයි (13,000) දූපත් 1700ක් තියෙන, කාල පාරාසයන් තුනක් (3) තියෙන මිලියන 240ක ජනගහනයක් වාසය කරන රටක එකම දිනක දී ව්‍යවස්ථාපිත ආයතන පහටම (5) මැතිවරණ පවත්වන්නේ නම් මේ පුංචි දූපතේ එය කළ නොහක්කේ මන්ද?  සල්ලි නැහැ කියලා ඡන්ද කල් දමන ලෝකයේ එකම රටට තියෙන හොඳම විසදුමත් ඒකයි.”

 

එක ආයතනයක බලය ගෙන රැල්ලක් මවා අනෙක් ආයතන ඩැහැ ගැනීමේ අශිෂ්ඨ ක්‍රමවේදය වලක්වා ගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවෙමින් කාළය නාස්ති නොකොට මේ වසරේ සැප්තැම්බර් 18 ඔක්තෝම්බර් 18 කාළය අතර තුර ජනාධිපතිවරණය සමඟ මහමැතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහ ජනාධිපතිවරයාට යෝජනා කළ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් නිදහස ජනතා සභාවේ පූර්ණ සහය ලබා දෙන බව ද අවධාරනය කළේය.

 

“ඊයේ අපිට ඉතා කණගාටුදායක පුවතක් වාර්තා උනා. හිටපු මුදල් අමාත්‍ය, රොනී ද මෙල් මැතිතුමාගේ අභාවය පිලිබඳව. එතුමා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලද නායකත්වය දරණ ලද, රුහුණු විශ්ව විද්‍යාල ප්‍රමුඛ බොහෝ සම්පත් ලබා දීමට කටයුතු කල අවුරුදු 11ක කාලයක් මුළුල්ලේ අයවැය ලේඛන 11ක් ඉදිරිපත් කල අමාත්‍යවරයෙක්.

මාගේ මතය අනුව, ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා සහ රොනී ද මෙල් මැතිතුමා පමණමයි, ඔවුන් විසින් ම අයවැය ලේඛනය හදා ගත් මුදල් ඇමතිවරු. අනිත් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් නිලධාරීන් විසින් සකස් කර දෙනු ලබන ලේඛන පාර්ලිමේන්තුට ගෙනල්ලා කියවන එක විතරයි කරේ. වර්තමාන මුදල් අමාත්‍යවරයා ද ඇතුළුව. ඒක තමයි ඉතිහාසය, ජනාධිපතිවරු කීපදෙනෙක් හිටියා මුදල් ඇමතිවරු විදියට, ඔවුන්ගෙන් කිසි කෙනෙක් ඔවුන්ගේ ස්වශක්තියෙන් ඔවුන්ගෙන් චින්තනය මත අයවැය ලේඛන හදපු අය නෙමෙයි. මං නැවත කියනවා කෘතවේදීව ආචාර්ය එන්. එම්. පෙරේරා රොනී ද මෙල් කියන මුදල් ඇමතිවරු  දෙන්නා ඔවුන්ගේ චින්තනය, ඔවුන්ගේ වෙහෙස, ඔවුන්ගේ දැනුම පාවිච්චි කර අයවැය සම්පාදනය කළ මුදල් ඇමතිවරු දෙදෙනෙක්. ඒ ජ්‍යෙෂ්ඨ හිටපු අමාත්‍යවරයාට නිදහස ජනතා සභාවේ ගෞරවය ප්‍රකාශ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා”.

 

 

@මාධ්‍ය ඒකකය

nalan mendis

නවතම ලිපි