SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන්

සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පසුගිය දිනවලදී සිදු කර තිබිණි.

 

අද (26) සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාව සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පවත්වා ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වී නැති බව කියැ වේ.

 

ඒ අනුව එම  සාකච්ඡාවට සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන අය ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන නියෝජිතයින් ද එක්ව ඇත.

 

සාකච්ඡාවෙන් පසු මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ;

 

"අපි පසුගිය දාහතර වෙනිදා දේශය වෙනුවෙන් එක්වන වැඩපිළිවෙලක් නමින් වැඩසටහනක්, ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරි අවුරුදු තුනේදී, මේ රට ගොඩ ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක් යෝජනා කළා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ වලට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැර, අපි ආරාධනා කළා, ඒකට එදා සමගි ජන බලවේගයත් සහභාගී වුණා. අද,  සමගි ජන බලවේගයේ මහ ලේකම්තුමා ඇතුළු, ඒ නායකත්ව කණ්ඩායම් එක්ක සාකච්ඡාව පැමිණියා ඒ පිළිබඳ. අපේ අරමුණ ඉදිරි මහමැතිවරණය, ජනාධිපතිවරණ සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් බිහිකරගන්න. ඒ සඳහා අපි දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත්, එක්සත් ජාතික පක්ෂය එක්කත් දැන් අද සමගි ජන බලවේගත් එක්කත් කතා කළා. අපි අනිත් පක්ෂ එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා."

 

 

ප්‍රශ්නය:

ඔබතුමා පහුගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිවරයා සමඟත් සාකච්ඡා කරනවා. ඊට පස්සේ දැන් මෙතන, සමඟි ජන බලවේග එකේ. සාර්ථකත්වය වැඩි කොතනද? සාමාන්‍යයෙන්?

 

පිළිතුර:

අපි ජනාධිපතිතුමා හැටියට නෙමෙයි සාකච්ඡා කළේ එක්සත් ජාතික පක්ෂය හැටියට. මොකද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්තුමත් ඒ හමුවට පැමිණියා. ඉතින් ඒ පක්ෂ ඕන තීරණය කරන්න අපේ වැඩසටහන ප්‍රායෝගික ද? ඒකත් එක්ක අපි ගොඩනගන්න යෝජනා කරන සන්ධානය කොච්චර ප්‍රායෝගික ද කියලා. ඒ පක්ෂවලින් අපිට අනාගතයේ ප්‍රතිචාරයක් ලැබෙයි. අපි ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ අනිත් කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර.

 

ප්‍රශ්නය:

දැන් පහුගිය දවස්වල ඔබතුමා එක්ක ටිකක් තරහින් වගේ හිටියා. දරුණු ප්‍රකාශ කළා. හරියට අර මනමාලි නැති මගුල් ගෙදර ඇවිල්ලා වගේ? එහෙම කතාවක් කවුරුහරි කිව්වොතින් මොකක් වෙයිද?

 

පිළිතුර:

අපි පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච ඒ තත්ත්වය ගැනයි අපේ අදහස් පළ කළේ. ඒ අදහස නිවැරදි කිරීමේ වගකීම සමගි ජන බලවේගයට තියෙනවා. ඒක ඒගොල්ලෝ කරනවා නම් එහෙමයි. එසේ නොවෙනවා නම් ඒත් එහෙමයි. නමුත් අපි මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නවලදී කිසිම පුද්ගලික ආරවුලක් අපි ඒකට මැදිහත් කරගන්නෑ.

 

ප්‍රශ්නය:

ඔබතුමා මේ වැඩ වැඩපිළිවෙළ පෙන්වීම මොකක් හරි සන්ධානගත වීමක් ගැන?

 

පිළිතුර:

අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම සන්ධානයක් රටට අවශ්‍යයි. අපි මේ ඉදිරිපත් කළේම පුළුල් සන්ධානයක් රටට අවශ්‍යයි. රට මෙතනින් ගලවා ගන්න. දැන් උදාහරණයක් හැටියට ලබන මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනවා. ඒ අරමුදල මේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කරන්න යනවා. කවර ආණ්ඩුවක් බලයට ආවත් ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙනවා. ඉතින් ඒකට හැම පක්ෂෙකම එකඟතාවයක් අවශ්‍යයි. අපි ඒක ජනාධිපතිතුමාටත් කිව්වා. ඔබතුමා මේවා තනියෙන් කරන්න යන්න එපා. මේ රටේ සියලු දේශපාලන පක්ෂ හවුල් කරගෙන, ජනතාවගේ පැත්තෙන් එන අදහස් බලලා කරන්න කියලා. විදුලි බිල ඉතාම අයුක්ති සහගත විදිහට වැඩි කළා. ඒක අඩු කරන්න ඕන. ඒ අඩු කිරීම මේ රටේ සෑම ජනතාවගේම අපේක්ෂාව. මොකද ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය කාලයේ අසීමාන්තික ලාභ ලබලා තියෙනවා. තෙල් සංස්ථාව අසීමාන්තික ලාභ ලබලා තියෙනවා. ඒ සහන දෙන්න ඕනේ. තමයි අපේ මේ වැඩපිළිවෙලේ අරමුණ. අපිම ඇවිල්ලා අපිම කරනවා කියලා දෙයක් නෑ. ඒ කටයුත්ත කිරීම තමයි බලාපොරොත්තුව.

 

ප්‍රශ්නය:

සමගි ජන බලවේගය වගේම ඔබතුමා යූ. එන්. පී. එකත් එක්කත් කතා කළා. ඔබතුමාගේ ප්‍රමුඛත්වයෙන් යම්කිසි සන්ධානයක් ගත වෙනවා නම්, අපි එක තැනකට එමු කියන කතාවක් තියෙනවද? කොහොමද තත්ත්වේ?

 

පිළිතුර:

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්කත් කතා කළා. අපි අපේ ප්‍රමුඛත්වයෙන් සන්ධාන හදන්න යන්නෑ. අපි මේ පුළුල් සන්ධානයක්,  පොදු නායකත්ව මණ්ඩලයක් එක්ක, සාමූහික ප්‍රයත්නයක් දරන්නයි උත්සාහ කරන්නේ.

 

ප්‍රශ්නය:

සමගි ජන බලවේගය විදියට ඔබතුමාට ආරාධනා කළේ නැද්ද අපි, ආයෙමත් එකතු වෙලා එකට වැඩ කරමු කියලා.

 

පිළිතුර:

ඒ පිළිබඳ අපි ඉදිරියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් ඒ සඳහා වෙන වැඩපිළිවෙල ඉදිරිපත් කළා. මෙතන තියෙන්නේ පුද්ගලයෝ එකතු වෙන එක නෙමෙයි. එහෙම නැත්නම් සංවිධාන එකතු වෙන එක නෙමෙයි. රට ගොඩ ගැනීම සඳහා පොදු වැඩපිළිවෙලකට එකඟතාවය හදාගන්න. ඒ අවශ්‍ය මූලික එකඟතාව තමයි අද ඉදිරිපත් කළේ.

 

ප්‍රශ්නය:

සමගි ජන බලවේගයේ ආරාධනයක් අනුවද ඔබතුමා මෙතනට එන්නේ?

 

පිළිතුර:

අපි තමයි ආරාධනා කළේ. අපිට හමුවෙන්න අවශ්‍යතාව, අපි එතුමන්ලාට ලිපියක් මගින් දැනුම් දුන්නා. ඒකට අපිට ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව අපි ආවා.

 

ප්‍රශ්නය:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එහෙම ආරාධනා කළේ නෑ?

 

පිළිතුර:

නෑ ඒගොල්ලන්ට ආරාධනා කරන්න බෑ. මොකද, ඒ අය මේ රට බංකොලොත් කිරීමට වගකිවයුතු බව අපේ කටකතාවක් නෙමෙයි. අපි නම් ඒක හැමදාම කිව්වා. මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකාරයෝ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයාට අමතරවත් තව ඉන්නවා පිරිසක් මේ රට බංකොලොත් කිරීමට වගකිව යුතුයි. අපේ මේ ප්‍රතිපත්ති මාලාවේ අපි දාලා තියෙනවා ආර්ථික යුක්තිය සඳහා වූ කොමිෂන් සභාවක් පත් කරලා මේ රටේ තෙල් අර්බුද හදපු, මූල්‍ය අර්බුද හදපු, වැඩි පොළියට ණය අරගෙන රට බංකොලොත් කරන තැනට ගිය, ඒ වගේම විදේශ ණය හිමියන් එක්ක කොමිෂන් වලට කතා කරොත්, තව ගොඩක් පිරිස් ඉන්නවා. ඒ පිරිස් සම්බන්ධයෙනුත් වැඩපිළිවෙලක් කරන්න ඕනෙයි කියලා අපි කියනවා. ඒ පදනම මත අපට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා කරන්න අමාරුයි.

 

ප්‍රශ්නය:

සමගි ජන බලවේගයේ නායකතුමා, සජිත් ප්‍රේමදාස මහත්තයා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා, ජනාධිපතිවරයා රට බංකොලොත් කරපු කට්ටියගේ ආරක්ෂකයා වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන්. එතකොට කොහොමද ඔබතුමාට ගිහිල්ලා අතන කතා කරන ඒ තර්කයත් එක්ක බැලුවම ගැටුමක් තියෙනවා නේද? ඒ කියන්නේ එහෙම ආරක්ෂා කරන නායකයෙක් ඔබතුමා ගිහිල්ලා කතා කරනකොට?

 

පිළිතුර:

අපේ මතය බොහොම පැහැදිලිව රට බංකොලොත් කරපු රාජපක්ෂවරු සමග දේශපාලන ගනුදෙනුවක් කරන්න බෑ කියන එක. ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් එතුමන්ලාට ආරාධනා කළෙත් නෑ. ඉතින් ඒක ඉතාම පැහැදිලි ස්ථාවරය. නමුත් අපි ආරාධනාව කළේ ජනාධිපතිතුමාට නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයටත් මේ පිළිබඳ අලුතෙන් හිතලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ආරාධනාව අනුව තමයි ආවේ. ඉතින් ඒක ජනාධිපතිතුමාගේ තීරණයක්. එතුමාට ඕන නම් ඒකට සහභාගි නොවී ඉන්නත් තිබුණා. නමුත් එතුමා ඒකට සහභාගි වුණා. ඒ ගැන අපි සතුටුයි. නමුත් අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කළා එතුමාට. ඒ එක්සත් ජාතික පක්ෂය එක්කයි කතා කළේ. ආණ්ඩුව එක්ක නෙවෙයි.

@පුවත - මාධ්‍ය ඒකකය

 WhatsApp Image 2024 02 26 at 13.33.06WhatsApp Image 2024 02 26 at 13.33.07WhatsApp Image 2024 02 26 at 13.33.071