SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙල අද (පෙබරවාරි 14) සවස 4.00ට කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී  ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් වනු ඇති බව ය. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීම ඉලක්කගතව මෙම අවස්ථාව උදා කර ඇත.

 

එම අවස්ථාව වෙනුවෙන් කදිරගාමර් සෙන්ටර් වෙත ඒමට නොහැකි අය වෙනුවෙන් පාඨලී චම්පික රණවක fb page එක හරහා සම්බන්ධ  විය හැකි බව  එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසයි. (https://web.facebook.com/PataliChampika)

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක,  වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරුණු බවත්, ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන වල මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාත්මක වන බව සිහිපත් කරයි. එසේම ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරන බව පවසන පාඨලී රණවක එසේ වුවත්  පවතින ගැටලුවෙන් රට මුදාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කිසිවෙකු  ඉදිරිපත් කර නැති බව කියයි. ඒ සඳහා  එක්සත් ජනරජ පෙරමුණ හෙට දිනයේ දී විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව දැනුම් දී ඇත.

 

මෙම වැඩපිළිවෙලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග  වැඩපිළිවෙලට ඇතුළත් වන අතර පාඨලී  කියා සිටින්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවයි.

එසේම ප්‍රතික්ෂේප කළ යුතු  කරුණු ද පැහැදිලිව දැක්වීමට තීරණය කර ඇති අතර සංශෝධන යෝජනා ද අද දිනයේ දී ඉදිරිපත් කරන බව ඔහු  පවසයි.

වෙනත් කිසිදු පාර්ශවයක් එවැනි ක්‍රියාවලියකට අවතීර්ණ වී නැති බව ද හෙතෙම පෙන්වා දෙයි.

 

කිසිදු පාර්ශවයකට ඊට සුදුසු විසඳුම් නෑ..

 

වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන්  සංකෝචනය වෙමින් තිබේ. එය ජනතාව මත දැඩි පීඩනයක් නිර්මාණය කරයි. කිසිදු පාර්ශවයකට ඊට සුදුසු විසඳුම් නැතැයි පාඨලී පවසයි. එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා මාලාවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපේක්‍ෂා කෙරේ.

 

බදු වැඩි කිරීම වෙනුවට රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි විකල්ප ක්‍රමවේද ගණනාවක් හෙට හඳුන්වාදීමට නියමිතයි. සෞඛ්‍ය තත්ත්ව වර්ධනය සහ ඖෂධ ගුණාත්මකභාවය සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ නව වැඩ පිළිවෙළක් ද සකසා තිබේ. පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් ඉලක්ක කරගත් ආහාර සම්බන්ධ වැඩසටහනක් ද සැලසුම් කර ඇත. අස්වනු හානි අවම කරමින් ඵලදායීතාව වර්ධනය ආහාර මිල අඩු කිරීම එහි අරමුණයි. ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ජනතාවට ගැටලු රැසක් මතු කර ඇත. පාලනය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිතව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව බව ඔහු පෙන්වා දෙයි.

 

කර්මාන්ත සඳහා විදුලි බිල අඩු කළ යුතුය. විදුලිය පරිභෝජනය අඩු, පාරිභෝගිකයන් වෙනුවෙන් සහන සැලසීමට ද අපේක්ෂා කෙරේ. එවැනි ක්‍රියාමාර්ග අතර විදුලි බල මණ්ඩලය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමට ද සැලසුම් සකසා ඇතැයි පවසන පාඨලී  රාජ්‍ය සේවයට ද ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව අවධාරණය කරයි. ඒ පිළිබඳ යෝජනා ද අද වැඩපිළිවෙල මගින් ඉදිරිපත් කෙරේ. දැනට ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති අසාර්ථක ය. සමෘද්ධි හා අස්වැසුම ආදිය ඊට උදාහරණයි. පාඨලී  කියා සිටින්නේ සමාජ සුභසාධන විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට පවතින බවයි.

 

ලක්ෂ්මන් කදිරගාමර් සෙන්ටර්හිදී අද ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙල යටතේ පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇතිවන බවත්, ඉදිරියේදී සියලු දේශපාලන පක්‍ෂ, සමාජ සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය ආයතන සමග ද වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කරන බවත්  ඔහු කියයි.

 

 

පොදු අවම වැඩපිළිවෙලක් අද ඉදිරිපත් කරනවා - කරූ පරණවිතාන

 

WhatsApp Image 2024 02 13 at 16.08.42

 

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයෙන්  මුදා ගැනීම සඳහා භාවිත කළ හැකි පොදු අවම වැඩපිළිවෙලක් අද  ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජනරජ පෙරමුණු දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන පවසයි.

 

ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර  මැතිවරණ කල් දැමීම,ව්‍යවස්ථා සංශෝධන, ජනමත විචාරණ ආදී විවිධ අදහස් මතු වෙමින් ඇත. වර්තමාන තත්ත්වය මත මහජන විරෝධයක් රට තුළ නිර්මාණය වී ඇත. මැතිවරණ කල් දැමීමෙන් හෝ වෙනත් විකල්ප භාවිතයෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය විය හැකිය. ඒ නිසා මහජනතාවගේ මතයට ඉඩ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්විය යුතු බව කරු පරණවිතාන අවධාරණය කරයි.

 

පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් අදහස් නොදක්වයි. එවැනි තත්ත්වයකදී ප්‍රතිපත්ති මූලික සන්ධානයක් නිර්මාණය කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් ඉදිරිපත් කෙරෙන බව ඔහු පෙන්වා දේ. එහි ප්‍රමුඛ අපේක්ෂාව වන්නේ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

 

පසුගිය කාල සමයේදී විශාල පිරිසක් සමග එක්සත් ජනරජ පෙරමුණ අදහස් හුවමාරු කරගත් බවත් බහුතරයකගේ අදහස වූයේ ප්‍රතිපත්ති මූලික වැඩසටහනක් රට සංවර්ධනය සඳහා අවශ්‍ය බවත්, ඒ සඳහා වූ ක්‍රියාමාර්ග වැඩපිළිවෙළ අද දින (14) ප්‍රකාශයට පත් කෙරෙන බවත්  මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරූ  පරණවිතාන කියයි.