SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැලකිය යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු

පුද්ගලයින් හත් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නීතිමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

 

ඒ රේගුව විසින් නිෂ්කාශනය නොකළ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ හේතුවෙනි.

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය සහ බුද්ධි විමර්ශන ඒකකය විසින්  රේගු නිෂ්කාශනයකින් තොරව ශ්‍රී ලංකාවට ගෙන්වන ලද KE-3845 වාහනය පිළිබඳව දීර්ඝ ලෙස  පරීක්ෂණ පවත්වා ඇත. ඒ අනුව එකී වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට ඇතුළත් කර රුපියල් 2,587,500 ක අලාභයක් රජයට සිදු කර ඇතැයි වාර්තා වේ.

 

98412/01/2023 නඩුව යටතේ ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත ඉහත වාහනය අල්ලස් කොමිසම භාරයට ගෙන ඔවුන් විසින් පවත්වනු ලබන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලදී. වංචාවට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට  හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී.

 

මන්නාරම ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ආනයනය කර ලියාපදිංචි කළ තවත් වාහන 400ක පමණ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතී. මෙය ඉතා සංවිධානාත්මකව ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව සිදුවී ඇති අතර බිලියන 05ක අධික අලාභයක් රජයට එමගින් සිදුව ඇති බව වාර්තා වේ.

 

පසුගිය දිනවල ආන්දෝලනයට ලත් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ජීප් රථය පිළිබඳ සිදුවීම ද මෙම හෙළිදරව්ව සමග යළිත් කතාබහට ලක්ව ඇත.

 

පසුගිය වසරේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යුරෝ නිපොන් පෞද්ගලික වාහන අංගනය වැටලීමකදී අත්අඩංගුවට ගෙන දඹුල්ල පොලිසියට භාරදීමෙන් පසුවය.

වලාන – පානදුර දුෂණ මර්දන ඒකකය දඹුල්ල පොලිසියට වාර්තා කර ඇත්තේ මෙම රථයේ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වන බව වූ අතර රුපියල් මිලියන 20ක් රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ව්‍යාජ ලේඛන සකස්කර භාවිත කර ඇති බවට එදින මාධ්‍ය වාර්තා පළවිය.

 

කෙසේ වුවද විවාදයට ලත් ඔහුගේ ජීප් රථය මෙරටට ගෙන්වා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇතැයි සඳහන් වන්නේ 2004 වර්ෂයේය.

නමුත්  ජපානයේ නිෂ්පාදිත මෙම වර්ගයේ මෝටර් රථවල  නිෂ්පාදිත වර්ෂය වන්නේ 2014 වර්ෂය බව සඳහන් වේ.

ඒ අනුව 2004 වර්ෂයේ ව්‍යාජ කාලයක් ඇතුලත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාගේ ජීප්  රථයට අදාළව පසුකාලීනව නිකුත් කර ඇති ලියාපදිංචි පොත ව්‍යාජ එකක් විය යුතු ය.

 

ප්‍රශ්නය වන්නේ මේ පිළිබඳව රටේ වගකිවයුතු, මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනතා නියෝජිතයෙකුට  මෙම චෝදනා සම්බන්ධයෙන් මුණිවත රකිමින් තවදුරටත් සිටිය හැකි ද යන්නය.

බදු බර ජනතා උරහිස මත පටවා සාගින්දරේ ජීවත්වීමට ජනතාව පිලිවෙතින් පෙළගැස්වූ පාලකයින් දැන්වත් මෙවැනි දූෂන ක්‍රියා සම්බන්ධව  ක්‍රියාමාර්ග තග යුතු ය.