SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • රනිල් සජබය සොරාගන්නා හැටි...
  • ලන්සාගේ සන්ධානය සහ චන්ද්‍රිකාගේ සන්දානය
  • ජනපති අපේක්ෂකයෙක් වෙයි කියලා සජිත් චම්පිකට පලි ගහලා..
  • රන්ජන් රතු සහෝදරයෙක් වෙයි.

 

 

රනිල් සජබය සොරාගන්නා හැටි...

 

දිනෙන් දින මැතිවරණ උණුහුම වැඩිවෙද්දි ඒවයෙ ඇතුලෙ විවිධාකාර ගේම් ක්‍රියාත්මක වෙන බව දැන් ඉතිං රහසක් නෙවෙයි.

පහුගිය කාලය පුරාවටම හැමෝම  යූඇන්පීය සහ සමගි ජන බලවේගය ගැන කතාකළේ සජිත් එක්ක ජනාධිපති  රනිල් ට තියෙන ආරෝව කෙළවර වෙන්නෙ සජිත්ගෙ පක්ෂය නායයාමකින්ය කියලයි.

 

ඒත් කියපු තරම් වැඩේ පහසු කාර්යයක් නෙවෙයි කියල යූඇන්පීයට වැටහෙන්නට  ඇත්තෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපති පට්ටමයි  ආණ්ඩුවයි බාරගත්තට මොකද හිතුව වගේ පිරිසක් ආණ්ඩුවට සජබෙන්  එකතු උනේ නැති හින්ඳ.

ඇත්තම කියනවා නම් හරීනුයි මනූෂයි දෙන්න ඇරෙන්න සජබයට බලපෑමක් කරන්න තරම් කෙනෙක් තවමත් ජනාධිපති රනිල් ට එකතු උනේ නැහැ.

 

ඒත් ඉතිං මේ අතරෙ,  විවිධාකාර සෙල්ලම් නම් ගැහුව කියල, අපිට  කනින් කොනින් අහන්න ලැබුන.

ඔන්න මෙදා පාරත්  ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන සාගර ආරක්ෂක සමුළුවට ජනාධිපති රනිල් එක්ක පහුගිය බ්‍රහස්පතින්දා අලුයම පිටත්ව ගිය නිල දූත පිරිසට  සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන්  ඇතුළත් උනාලු.

 

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වෙන්න  ජනපති සමග ගිය දූත පිරිසට ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේත් අයත් ය කියලයි කියන්නෙ..

 

මේවා ගැන එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර කියන්නෙ ජනපතිගේ විදෙස් ගමන්වලට සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා සහභාගි වෙමින් ඉන්නව කියලයි..

 

හයේ හතරෙ පහරවල් ගහන්න බලාගෙන හිටපු එජාපය දැන් ලකුණ ලකුණ ගන්න සෙල්ලම් කරනව කියලයි කට්ටිය නම් කියන්නෙ.

කොහොම උනත් යූඇන්පීය ආයෙ වල් අලියෙක් දැම්මත් නැගිට්ටන්න බැරි විදිහට කඩා වැටිලලු. කොයිතරම් බලය ලැබුනත් පක්ෂය සංවිධානය කරන්න කිසිදු උවමනාවක් නැති නායකයෙක් ඉඳීම මේකට හේතුව කියලයි  පක්ෂයේ ජ්‍යෙෂ්ටයින්ගෙ අවංකම අදහස වෙලා තියෙන්නෙ.

 

 

ලන්සාගේ සන්ධානය සහ චන්ද්‍රිකාගේ සන්දානය

 

කමිටුව 5

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්  පිහිටුවූ නව සන්ධානයේ දෙවැනි මහජන රැලිය ලබන 24 වැනිදා කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වෙනව කියලයි ඒ පැත්තෙන් ආරංචි වෙන්නෙ..

ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ගේ මූලිකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර ගේ සංවිධානත්වයෙන් කටයුතු සිදුවෙන බව රාජගිරියේ පක්ෂ කාර්යාලය කියනවා.

 

මෙවර මහජන රැලියේදී  අලුත් මුහුණු කිහිපයක් එකතුවෙනවලු.  ඉන් දෙදෙනකු නැගෙනහිර පළාත නියෝජනය කරන,  ජන ප්‍රසාදයක් දිනාගත් දේශපාලන නායකයන් වීම  විශේෂත්වයක් කියලයි පක්ෂ කාර්යාලයෙන් කියන්නෙ. මේ අතර නව සන්ධානයේ දේශපාලන කටයුතුවලට සහාය දීමට රාජ්‍ය ආයතන සභාපතිවරුන් සහ ආයතන ප්‍රධානීන් බොහෝ දෙනෙක්  මේ දවස්වල  පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා හමුවෙලා  සාකච්ඡා පවත්වනව කියලයි නව සන්දානයේ අභ්‍යන්ත ආරංචිමාර්ග කියන්නෙ.

 

ඒ කතා මොනව උනත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ නායකත්වයෙන් සංවිධානය වන පොදු සන්දානයේ වැඩ කටයුතු මේ දවස්වල ජයටම කෙරෙනව කියලයි ආරංචිය.

 

පහුගිය දිනවල පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ යටතේ සංවිධානය වෙමින් තිබූ පොදු සන්දානය වෙනුවෙන් එහි ව්‍යවස්ථාව පවා වෙනස් කෙරුනු බවකුයි කියන්නෙ. මේ වෙද්දි පොදු සන්දානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ හා කණ්ඩායම් කිහිපයක්ම එක්වී ඇති බව වාර්තා වෙනවා.

 

ඒ වගේම නායකත්ව මණ්ඩලයකින් ක්‍රියාත්මක වෙන පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ  පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වනසේ නායකයින් පස් දෙනෙක් පත්කරල තියෙනවලු.

ආරංචියේ හැටියට චන්ද්‍රිකා කුමාරතුංග, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලන්සා ඒ නායකයින් පස්දෙනාලු. අපේක්ෂකයා නම් කිරීම සිද්දවෙන්නෙ මේ මණ්ඩලය හරහාලු.

 

 

පොදු සන්දාන රහස හෙළිවීම නිසා සජිත් චම්පිකට පලා බෙදලා..

 

පොදු සන්දානයක් ගැන මාධ්‍ය වාර්තා සහ ගොසිප් පලවීමත් එක්ක භීතියට පත්ව ඇත්තේ  සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාලු.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් වීමත් එක්ක අහෝසි වුනු පාර්ලිමේන්තු කාරක සභාවන්ට නැවත සාමාජිකයින් නම් කිරීමේදී සජිත් ප්‍රේමදාස හිතාමතාම පාඨලීව එම කමිටුවලට ඇතුලත් කිරීමෙන් වැලකිලාලු.

 

සජිත් හිතන්නේ පාඨලී එයාට දීපු පාර්මේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය දරමින් විශාල වශයෙන් බදු නොගෙවන ලද  මහා පරිමාණ ව්‍යාපාරිකයින් ගෙන් බදු අයකරගැනීම හරහා පාඨලී ඉහලට එසවුනු බවයැයි  සමහරු කියන්නේ ය.

 

එහෙත් පාඨලී රණවක නම් කියන්නේ වෙනත් කතාවකි.

 

ඔහු ඒ ගැන කියල තිබුණෙ මෙහෙම කතාවක්.

මට නම් මේ නම කැපිල්ල පේන්නේ දෙතුන් පැත්තකම වුවමනාවට වෙච්ච දෙයක් හැටියට. ඇයි? පසුගිය නොවැම්බර් මාසේ ඊටත් පෙර පසුගිය අගෝස්තු මාසෙදි මේ රටේ මත්පැන් බෝතල් වල තියෙන ව්‍යාජ ස්ටිකර පරිහරණය කරන ක්‍රමවේදය අපි හෙළි කරලා දුන්නා. බිලියන ගාණකින් රටේ ආදායම වැඩි වුණා. අවසානයේ මොකද වුණේ? ඒ සුරාබදු කොමසාරිස්ටත් ගෙදර යන්න වුණා. ඒ බලපත් නවත්තලා රටට බිලියන ගානක් බදු හොයලා දීපු මටත් කාරක සභාවේ සභාපතිකම නැතුව ගියා. ඉතින් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා හිතාගන්නකෝ. ඒ වගේම මේ රටේ දැවැන්ත සීනි වංචාවක් වුණා 2021. ආයේ එවැනිම වංචාවක් වුණා 2023. එකම සමාගම් කිහිපයක්. අපි නියෝගයක් දුන්නා කාරක සභාවෙන් විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මොවුන්ගෙන් ඒ අයුතු ලාභය අය කරගන්න කියලා. මම කියනවා ඔය සමහර විපක්ෂයේ දූෂණය ගැන කතා කරන අයගේ දේපල අද ඒ සීනි වංචාකාරයින්ගේ විශාල ගොඩනැගිලිවල තියෙන්නේ. ඒ වගේම ඒ වංචාකාරයින්ගේ හයියෙන් තමයි ඔය ගොඩක් පෝස්ටර්, බැනර්, කටවුට් ඇලවෙන්නේ. ඉතින් තරහයි. ඒක තමයි කාරණය. රුපියල් කෝටියට වඩා වැඩියෙන් බදු නොගෙවපු 1272 ක් ඉන්නවා. බැංකුවලට කෝටි ගණන් පොලු  තියපු ලැයිස්තුව එළි කරා. මේ රටේ ප්‍රබල ඇමති කෙනෙකුත් ඉන්නවා ඒ ලැයිස්තුවේ. හිටපු ඇමතිලත් ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම ඉතින් මේකෙන් ප්‍රකෝපයට පත් වුණා."

 

මේ කතා මොනව උනත් ඔන්න පෙබරවාරි 14 වෙනිද කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් සෙන්ටර් එකේදී පාඨලී තවත් වැඩක් කරනවලු. වැඩේ තමයි කව්රු කොහොම සන්දාන හැදුවත් රටට මේ මොහොතේ අවශ්‍ය වැඩපිළිවෙලක් නැතිව වැඩක් නෑලු. ඒ හින්ඳ එයා 14 වෙනිදට පොදු  සන්දානයකට අවශ්‍ය වැඩපිළිවෙල රටට හෙළිකරනවලු.

 

කොහොම උනත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය නිවේදනය කලෝතින් මාර්තු අග වෙද්දි පොදු සන්දානයේ ජනාධිපති අපේක්ෂකයා කව්ද කියල නිවේදනය කරනවලු.

 

ඒ කව්ද කියල දැන්නම් හුග දෙනෙක් දන්නව වගෙයි. කැපිලි කෙටිලි අනුව තමයි ඒක තේරුම්ගන්න වෙන්නෙ.

 

 

රන්ජන් රතු සහෝදරයෙක් වෙයි.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ මුන් ඔක්කොම යාලුවෝ මල්ලී ගීතයක් ලෙසින් එළිදක්වා ඇත.

 

රන්ජන් මෙම ගීතය එළිදක්වන කාලය, එහි ඇති පද, රන්ජන් සංගීත වීඩියෝව වෙනුවෙන්  හැඳ සිටින කමිසය වැනි දේවල් සමග රන්ජන්‌ මේ යන්නේ කොයිබටද යන්න බොහෝ දෙනාගේ විමසුමට ලක්වී ඇත.

 

මාලිමාවේ රැල්ලට රන්ජන්වත් හසුවී ඇතැයි පවසන බොහෝ දෙනාගේ අදහස මෙම ගීතයට අලුතින් එක් කර ඇති පදවැල් තුළින් රනිල් සහ මහබැංකු කොල්ලය, රාජපක්ෂලා,  පොහොට්ටුව, මෙන්ම වර්තමානයේ සිදුවුනු බාල බෙහෙත් ගනුදෙනුව,බැසිල්ගේ ගල් වැලි පස් ආර්ථිකය, රත්තරන්ලාගේ අතීතය යනාදී සිදුවීම්ද ඇතුලත් බව පෙනේ.

 

උනුත් එකයි මුනුත් එකයි හොරු කවදත් හොරුම තමයි... යන්නෙන් රන්ජන් කියන්නේ යළිත් මේ බලය ගත් සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඡන්දය නොදිය යුතු බවලු.

ඒ වගේම,

වැලි, හොර කුඩු, හොර කප්පම් ගහන මාටියෝ..

බාල බෙහෙත්, ගෙනත් ලෙඩ්ඩු මරණ වදකයෝ..

කෝච්චිවල මාල කඩපු හොර තක්කඩියෝ...

මෙච්චරකල් නීති හැදුවෙ මෙවැනි අපතයෝ..

 

යනුවෙන් රන්ජන් මේ නොකියා කියන්නේ යළිත් වතාවක් මහබැංකු හොරුන්ට, බාල බෙහෙත් ගෙනාපු අයට, ගල් වැලි පස් ආර්ථික හදපු අයට, කෝච්චිවල මාල කඩපු අතීතය හිමි  රත්තරන්ලා වැන්නන්ව නීති හදන පාර්ලිමේන්තුවට නොයැවිය යුතු බව ලු. කට්ටිය නම් කියන්නේ මහ බැංකු කේස් එකත් ඇදලා රන්ජන් රනිල්ටත් ෂොට් එක දුන්න කියලයි.

 

කොහොම උනත් දැන් දැන් රන්ජනුත් මාලිමාවේ වේදිකාවට ගොඩවෙන දවස වැඩි දුරක් නැතැයි රන්ජන්ගේ පැරණි යූඇන්පී මිතුරන්ගේ අදහස වෙලාලු.

 

#Gossip

nalan mendis

නවතම ලිපි