SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් පසුපසත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂන සිදු කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ පුවත්පතක් වන මව්බිම පුවත්පත හෙළිකර ඇත.

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන්ගේ නිර්දේශ මත ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ රජයේ රෝහල්වලට මීට පෙරත් ගෙන්වා ඇත්දැයි දැන ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එහි වැඩිදුරටත් දක්වයි.

 

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා දැනගැනීමට ඖෂධ සංස්ථාවේ ඉහළ පෙළේ නිලධාරියෙකුගෙන් රහස් පොලිසිය දීර්ඝ ප්‍රකාශයක් ද ලබාගෙන තිබේ. පැය හතරහමාරක කාලයක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර ඉදිරියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කාලවල සිටි හිටපු ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් ද ප්‍රශ්නකොට ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේ ය.

 

එම නිලධාරීන්ගේ ප්‍රකාශ මත අවශ්‍ය වුවහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත ය. එමෙන් ම පසුගිය කාල සීමාවලදී මෙරටට එන්නත් සහ ඖෂධ ගෙන්වූ ලිපිලේඛන පරීක්ෂා කිරීමට ද රහස් පොලිසිය අදහස් කර සිටී.

 

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කිරීම සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මෙම විමර්ශනය අරඹා තිබිණි.

 

එමෙන් ම හිටපු අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ කාලයේදී ආනයනය කළ බව කියන එන්නත් සහ ඖෂධ සම්බන්ධ ලිපිගොනු නිරීක්ෂණය කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

 

එමෙන් ම ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් එන්නතට අදාළව ඇසුරුම සහ ස්ටිකරය මුද්‍රණය කළ ස්ථානය ඇතුළු තවත් කරුණු සොයා ගැනීමට ද මෙම විමර්ශනය අරඹා තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම විමර්ශනය අරඹා ඇත.

 

@Mawbima