SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • දැන් උදා වී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි
  • ඒ සඳහා හැකියාවක් ඇත්තේ ජනාධිපතිතුමාට පමණයි

මෙතක් බිහි වූ නායකයින් දිගින් දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි පවසන නමුත්  සත්‍ය වශයෙන්ම උදා වී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට  පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

 

මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසාවෙන් බවද හෙතෙම පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

 

මෙම වැඩසටහනේදී  විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහනද පැවැත්විණි.

මේ අතර ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සපයනු ලැබීය. 

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයින් එක් කරගනිමින් ජාතික ධජය එසවීමටද කටයුතු කළේය.

 

අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය,

 

WhatsApp Image 2024 01 31 at 14.44.08

 

“ජයගමු ශ්‍රී ලංකා කියන්නේ ජංගම සේවයක් නෙමෙයි, ප්‍රතිපදාවක්. අද මේ ජයගමු ශ්‍රී ලංකා කියලා ජන ගත කරන්නේ මේ රට ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තබන ප්‍රතිපදාව. මේක ආරම්භ කරන්න කලින් අපිට පෙරහුරුවක් වුනේ අපි කරපු මෙවැනිම වැඩසටහන්. මෙවැනිම වැඩසටහන් දෙකක් අපි ගාල්ලේ හා යාපනයේ කළා. ඒකේ ගාල්ලේදී මම කතාව පටන් ගත්තේ මට ප්‍රතිපත්තියක් නැහැ කියලයි. මම කිව්වේ මට තියෙන්නේ ප්‍රතිපදාවක් කියලයි.

 

ප්‍රතිපත්තිවලට ඡන්දේ දීලා තමයි අපේ රට මේ තියෙන තත්වයට පත්වුනේ. හැබැයි මට හැමදාම තිබුණ ප්‍රතිපදාව තමයි, මම නියෝජනය කළේ රටට ජයග්‍රහණය ගෙන එ්ම වෙනුවෙනුයි. ජනතාවට ජයග්‍රහණය ගෙන එන අවස්ථාවන වෙනුවෙන් තමයි මම පෙනී සිටියේ. මම අද පෙනී ඉන්නේත් මේ රටේ අනාගතය ජයගන්න පුළුවන් නායකත්වය වෙනුවෙන්.

ඔබට මතක ඇති මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්වය. මේ රට ආර්ථික බංකොලොත්භාවයට පත්වුන මුල් අවස්ථාවේදී තිබුණ තත්වය. ඒ වෙලාවේ ඔය හොදයි කියලා කියන ප්‍රතිපත්ති තියෙන හැමෝම මේ රට භාරගන්න බෑ කියලා කිව්වා.

 

|අද තියෙන තත්වයට හරි මේ රට ඇවිත් තියෙන එක ආශ්චර්යයක්. මේ රට මේ තත්වයට හරි අරගෙන එන්න පුලුවන් තත්වයක නෙමෙයි තිබුණේ. වර්තමාන ජනාධිපතිතුමා රට භාරගත්තේ ඒ වගේ වෙලාවක. එතුමා ප්‍රතිපත්තියක හිටියා නම් මම මෙහෙමයි කළේ, මම මෙහෙමයි රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කළේ, ඒ අය මට ඡන්දය දුන්නේ නෑ, මම ගම්පෙරලියට මෙච්චර මුදලක් වෙන් කළත් මට ඡන්දය දුන්නේ නෑ, 1990 ගිලන්රථ සේවය රට පුරාම ක්‍රියාත්මක කළත් මට ඡන්දය දුන්නේ නෑ, කියලා ප්‍රතිපත්තියක හිටියනම් රටට මේ තත්ත්වයට එන්නේ නැහැ.

 

එතුමා ප්‍රතිපදාවක ඉන්න නායකයෙක්. මම මේ ඓතිහාසික අනුරාධපුරයේ ඉදගෙන කියන්නේ ඒ කතාවයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රතිපත්තියක් නැති,  ඒත් ප්‍රතිපදාවක් ඇති නායකයෙක්.

ප්‍රතිපත්ති වෙනස් වෙනවා. හැබැයි ප්‍රතිපදාවන් වර්ධනය වෙනවා. ඒක ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් කාලයේ පටන් ඔහු ඉදිරිපත් කළ වැඩ පිළිවෙලවල්වල දකින්න පුලුවන්.

 

|එතුමා ජනමතයට ගරු කළ නායකයෙක්. ජනතා කැමැත්තට හැම වෙලාවකම හිස නමලා බැහැලා ගියපු නායකයෙක්.

හැමෝම කිව්වේ මේ තියෙන්නේ රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව කියලයි. ඒත් දැන් උදාවෙලා තියෙන්නේ ජනතාව බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව.ජනතාව බේරාගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ විතරයි කියලා මම කියනවා.

 

අපි ජයගමු කියලා කියන්නේ අපි පැරදිලා තියෙන නිසා. කොහොමද අපි පැරදුනේ? හදෙන් හාල් ගෙනත් දෙන්නම් කියලා කිව්වම පෝලිම්වල ගිහින් ඡන්දේ දෙන තැන ඉදලම අපි පැරදුනා.

රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකොට, එකතුවෙලා රට ගොඩ නගන්න උදව්වෙන එක වෙනුවට රට දාලා දුවන තරමට පැරදිලා. පෞරෂයක් නැති තැනටම පැරදිලා. ඇයි මෙහෙම පැරදුනේ. ජනතාව දේශපාලඥයාගෙන් බලාපොරොත්තු වුනේ තමන් වෙනුවෙන් තීන්දු තීරණ, ප්‍රතිපත්ති ගැනීම නෙමෙයි. පාරට තාර දාගන්න, කොල්ලට රස්සාවක් අරගන්න එක. පොලීසියට කෝල් කරවාගන්න එක. මේවා තමයි ජනතාව බලාපොරොත්තු වුනේ.

 

දේශපාලඥයා බලාපොරොත්තු වුනෙත් ඕකේ අනික් පැත්ත. ඒගොල්ලෝ ජනතාව සතුටු කරන්න තීන්දු තීරණ ගත්තා. දැන් පාර්ශව දෙකම සමබරයි. කාටවත් කිසිම අයෙක්ට චෝදනා කරන්න බෑ. මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකම්ම  සිස්ටම් චේන්ජ් එකක් කරන්න මේ රටේ කවුරුවත් හිටියේ නෑ. කඩාගෙන වැටුනට පස්සේ තමයි මේ අය සිස්ටම් චේන්ජ් කරන්න බැස්සේ. අන්න ඒ වෙලාවේ තමයි සිස්ටම් චේන්ජ් වෙනුවෙන් වැඩ කරපු රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකත්වයට අවස්ථාවක් ලැබෙන්නේ. තෙල් පෝලිම් නැති වුනා. ගෑස් පෝලිම් නැති වුනා. බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන එක නැතිවුනා. මූල්‍ය විනයක් ඇතිවුනා. අවනීතිය රජ කරන්න ගියපු එක නැවතුනා. එතුමා මේ ආර්ථික ව්‍යවසනයෙන් රට ගොඩගන්න අපිට දර්ශනයක් පෙන්නුවා. මොකක්ද ඒ දර්ශනය. ඒ දර්ශනයට මමයි නම දුන්නේ. ඒ නම තමයි මගෙන් පටන් ගමු කියලා ඔබ දකින්නේ.

 

තමන් පිරිහුනොත් සමාජයත් පිරිහෙනවා. සමාජයක් පිරිහුනොත් රටත් පිරිහෙනවා. රටක සමබරතාවය ඇතිකරන්නේ, රටක් සාමකාමීව පවත්වාගෙන යන්නේ රටේ ආර්ථිකය. ඒකට උදාහරණ හොයන්න ඈතට යන්න ඕන නෑ. පහුගිය කාලයේ දී සිදුවන දේවල් දිහා බලන්න. එයින් ඕනෑ තරම් උදාහරණ ගන්න පුලුවන්.

 

|මට ජනප්‍රියම කථිකයෙක් විදියට බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ගේ මිනී කරේ තියාගෙන, ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ගහ මරාගන්න මිනිස්සුන්ගේ මිනී කර ගහගෙන, දැන් මට බනින හැමෝගෙම ආදරය දිනාගෙන තරුවක් වෙලා ඉන්න තිබුණා. මම එහෙම හිටියේ නෑ. මමත් මගෙන් පටන් ගත්තා. මොකද අපි අහසින් දේශපාලනයට පහත් වුනේ නෑ. අපි පොලොවෙන් දේශපාලන කරගෙන ආපු මිනිස්සු. අපිට අවශ්‍ය වෙන්නේ මහ පොලොවේ දේශපාලනය කරන්නයි.

 

අපි මුලින්ම විදේශ ගත ශ්‍රමිකයා බැංකු පද්ධතිය හරහා, නීත්‍යානුකූලව මුදල් ටික රටට ගෙන්වාගන්න ක්‍රමය හැදුවා. මේක හැදුවේ කොහොමද? මේ ඇත්ත කතාව අපි විදේශ ගත ශ්‍රමිකයාට කිව්වා. බොහෝ අයගේ ඔලුවේ හදලා තිබුණ, රටට එන ඩොලර් දේශපාලඥයාට මංකොල්ල කන්න පුලුවන්ය කියන මිත්‍යාව බොරුවක් කියලා පෙන්නලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ අයට ගෟරවය ලබාදුන්නා. අපි හෝප් ගේට් කියලා ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින්ට වෙනම දොරටුවක් විවෘත කළා. රටට ඩොලර් එවන විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාදුන්නා. මනුසවි නිවාස යෝජනා කමය ක්‍රියාත්මක කළා. විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වලා දුන්නා. මුල් වරට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන කාන්තා ශ්‍රමිකයින්ගේ පවුල්වලට වවුචර ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මේ අවුරුද්ද ව්‍යවසායකත්වය නගා සිටුවීමේ වසර විදියට නම් කරලා විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රමිකයා ව්‍යවසායකයෙක් විදියට නගා සිටුවීමේ වැඩපිළිවෙල ආරම්භ කළා.

ඒ වගේම සුහුරු පන්තිකාමර ඇති කරන්න මිලියන 22ක් ලබා දීලා විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් වගේම ස්මාට් රටක් හදන්න අවශ්‍ය වැඩ පිලිවෙල අපි හදනවා.

 

අපි ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට අවශ්‍ය තීන්දු ගත්තා. ඒත් සමහර ගතානුගතික රාජ්‍ය ආයතනවල ඉන්න, වෙනස් වෙන්න බැරි ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා.

හැබැයි ඒ සේරම අතහැරගෙන බාධක ජයගෙන අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් වගේ දක්ෂ නිලධාරීන් එකතු කරගෙන දවස් 10න් දැවැන්ත වැඩසටහනක් කරන්න අපි කටයුතු කළා. දැන් ආකල්පමය වෙනස ඇති කළ යුතුයි කියලා අපි තීරණය කළා. ආකල්ප අතින් අපි කොතරම් පිරිහිලාද කියලා කියනවා නම් හතුරෙකුට විපතක් වුනත් අනේ අපොයි කියපු සංස්කෘතිය වෙනුවට මිනිසුන්ගේ මරණයකදී පවා සතුටු වෙන මිලේච්ඡ වෛරී සහගත රැළි රට තුළ නිර්මාණය කරමින් රටේ මිනිස්සු ඒ සංස්කෘතියට ගොරදුර කරගනිමින් තිබෙනවා.  එහෙනම් මුලින්ම මේ රටේ ඇතිකළ යුතු වන්නේ ආකල්පමය වෙනසක්.

 

මගෙන් පහුගිය දවසක විදේශීය මිත්‍රයෙක් මෙහෙම දෙයක් ඇහුවා. ඇත්තටම උඹලාගේ රටේ මිනිස්සු ගොඩක් දුප්පත් කියලා කියන්නේ බොරු නේද කියලා. එහෙම අහන්නේ ඇයි කියලා මම ඇහුවා. එතකොට එයා මට කිව්වා, උඹලාගේ මිනිස්සු පුදුම විදියට විනෝද වෙනවානේ. ට්‍රිප් යනවානේ කියලා. නත්තලේ ඉදලා මම මේ දිහා බලාගෙ හිටියා කිව්වා. මිනිස්සුන්ට මෙහෙම විනෝද වෙන්න පුලුවන් නම් ඒ මිනිස්සු දුප්පත් වෙන්නේ කාහොමද කියලා මගෙන් ඇහුවා. ඇත්තමට අපි දුප්පත් කියලා කියන්නේ අපේ ඔලු ඇතුලේ හදපු වැරදි ආකල්පයක් නිසයි. මේ ආකල්පය අයින් කළොත් මේ රටේ තියෙන සම්පත් ටිකෙනුයි, තමන්ගේ ශ්‍රම දායකත්වය හරියට කළමනාකරණය කළොත් මේ රට පොහොසත් රටක් කරගන්න පුලුවන් වෙනවා. ඒ ගැන හිතන්න ඔබට භාරකරමින් මගෙන් පටන් ගන්න. ඒ කියන්නේ තමන්ගෙන් පටන් ගන්න. තමන්ගේ ජීවිතය ඉහළට ඔසවා ගන්න තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න. ඒකට අවශ්‍ය කරන වැඩපිලිවෙල, ආකල්ප වෙනස් කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙල අපි පටන්ගෙන ඉවරයි. ඒ තමයි ජයගමු ශ්‍රී ලංකා. ලංකාව ජය ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ හැමෝම ජයගන්නවා. ඔයගොල්ලෝ හැමෝම තමයි ලංකාව.

 

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක, එස්. එම් චන්ද්‍රසේන, ඉශාක් රහුමාන් යන මන්ත්‍රීවරුද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්, හිටපු පළාත් අමාත්‍ය පී.එච්. සේමසිංහ, හිටපු පලාත් විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක යන මැති ඇමතිවරු ද එක්ව සිටියහ.

 

WhatsApp Image 2024 01 31 at 14.44.07WhatsApp Image 2024 01 31 at 14.44.08 1WhatsApp Image 2024 01 31 at 14.44.08WhatsApp Image 2024 01 31 at 14.44.09 1WhatsApp Image 2024 01 31 at 14.44.09WhatsApp Image 2024 01 31 at 14.44.10 1WhatsApp Image 2024 01 31 at 14.44.10WhatsApp Image 2024 01 31 at 14.44.11WhatsApp Image 2024 01 31 at 14.44.12 1WhatsApp Image 2024 01 31 at 14.44.12

@මාධ්‍ය ඒකකය