SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය (06) අද සිට ආරම්භ කෙරෙන අතර

තරගාවලියේ තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරග වශයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

|ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වංශ කතාවේ 25වන නායකයා වශයෙන් කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේ සිට  නිල වශයෙන් කටයුතු ආරම්භ කරනු ලබයි.

 

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය නිමා වූ ලෝක කුසලාන සංචිතයට සාපේක්ෂව වෙනස්කම් රාශියකින් යුක්ත වන අතර අවිශ්ක ප්‍රනාන්දු නැවතත් එක්දින කණ්ඩායමට එක් වීම, අකිල ධනංජය සහ ජෙෆ්‍රී වැන්ඩර්සේගේ නැවත පැමිණීම් මේ අතර විශේෂ වේ.

 

|අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් වශයෙන් ඇරැඹෙන පළමු එක්දින තරගය කණ්ඩායම් දෙකටම 'නැවත නැගීසිටීමක්' වෙනුවෙන් වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයින්ගේ මතයයි. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ 9 වන ස්ථානයට පත් වී පරාජිත මානසිකත්වයකින් නැවතත් මෙරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය නැවතත් දක්ෂතා අතරට පිවිසීමට මාර්ගයක් වනු ඇත.

 

එමෙන්ම 2023 එක්දින ලෝක කුසලානය සහ 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පැවැත්වූ සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙකම පරාජය වී සිටින සිම්බාබ්වේ කණ්ඩායමත් නැවතත් සිය ජයග්‍රාහී රිද්මය සොයා ගැනීමට මෙම තරගාවලිය අවස්ථාවක් කරගැනීමට උත්සුක වනු ඇත.

 

කාළගුණ අනාවැකියන්ට අනුව කොළඹට හෙට වර්ෂාව පතිත වීමේ වැඩි ඉඩක් පවතින අතර එසේ වුවහොත් තරගය අඩු පන්දුවාර සංඛ්‍යාවක් යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කළ හැක.

 

මේ හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේදී අමතර වේග පන්දු යවන්නෙකු හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් එක් කර ගැනීම සඳහා වැඩි ඉඩක් පවතියි.

 

|වර්තමානයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සතු දක්ෂතම ආරම්භක පිතිකරුවෙකු මෙන්ම අන්තර් සමාජ පිටියේ දක්ෂතා අතර සිටින අවිශ්ක ප්‍රනාන්දු සමගින් දිගින් දිගටම ලකුණු අතරේ සිටින පැතුම් නිස්සංක නිසැක ආරම්භක පිතිකරුවන් ලෙස සැළකිය හැකිව තිබුනද පැතුම් නිස්සංක උණ රෝගයට ගොදුරුවීම නිසා එම ස්ථානය වෙනත් අයෙකුට යනු ඇත.

 

කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක මැදපෙළ පිතිකරුවන් වනු ඇති අතර නොම්මර 6 ස්ථානය බොහෝ දුරට දසුන් ශානකට හිමි වනු ඇත. 

මහීෂ් තීක්ෂණ හෝ අකිල ධනංජය කණ්ඩායමේ ප්‍රධාන පිට දඟ පන්දු යවන්නා බවට පත්වීමට ඉඩ ඇත.

ජෙෆ්‍රි වැන්ඩසේ සහ දුනිත් වෙල්ලාලගේ සහායක දඟ පන්දු යවන්නන් වශයෙනුත්, දුශ්මන්ත චමීර සහ දිල්ශාන් මධුශංක වේග පන්දු යවන්නන් වශයෙනුත් හෙට කණ්ඩායමට එක් වනු ඇතැයි විශ්වාස කළ හැක.

කාළගුණ අනාවැකියන්ට අනුව මෙය පන්දුවාර 35ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක තරගයක් වුවහොත් මෙම තරගයේදී දසුන් ශානක, දුශ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ ප්‍රධානතම තුරුම්පු වනු ඇතැයි අනාවැකි පළ කළ හැක.

ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම -

අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, දිල්ශාන් මධුසංක, ජෙෆ්‍රි වැන්ඩර්සේ