SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගනු ලැබූ තීරණයට අදාළ ගැසට් නිවේදනය ‍

බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරි පත්කළ පෙත්සමට අදාළ විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීන්දු කළේය.

 

මෙම පෙත්සම අද නැවතත් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  විසින් අතුරුපාලක කමිටුවක් පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව දන්වා සිය සේවා දායකයා විසින්  ඉකුත් 12 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයේ තිබෙන තාක්ෂණික දෝෂ නිවැරදි කර තිබෙන බව සඳහන් කළේය.

 

එසේ නිවැරදි කළ ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කිරීමට කටයුතු කෙරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

 

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සෝභිත රාජකරුණා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම තත්ත්වය හමුවේ අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතුවන්නේදැයි විමසා සිටියේය.

 

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවශ්‍යතාවයක් මතුවුවහොත් මෙම පෙත්සම යළි කැදවීමේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට පෙත්සම්කරු එකඟවන බව සඳහන් කළේය.

 

ඒ අනුව නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැඳවීම සඳහා පෙත්සම්කරුගේ අයිතිය රඳවා ගනිමින් එහි විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය

කෙසේ වෙයිද ?

 

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ICC ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට යම් කාලයක් ගතවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසයි.

දෙරණ 'BIG FOCUS' වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න , ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මෙම සාකච්ඡාවට එක්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වුවත් එය සිම්බාබ්වේ ක්‍රිකට්වලට සිදුවූ තත්ත්වයට පත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව වාසනාවන්ත බව ද උපසභාපති රවීන් වික්‍රමරත්න පැවසීය.

 

එවැනි තත්ත්වයකට පත්වූයේ නම් අද ශ්‍රී ලංකාවට කිසිම ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සඳහා පූර්ණ ක්‍රිකට් තහනමක් පැනවූයේ නම් දේශීය තරගවල පළමු පෙළ තරගත් අහිමි වෙන බවද ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මේ වනවිට දේශපාලන අතපෙවීම් සිදුනොවන බවට ICCය දැනුවත් කිරීමට පියවර ගනිමින් ඇති බවද රවීන් වික්‍රමරත්න මහතා පැවසීය. නමුත් ඒ සඳහා යම් කාලයක් ගතවෙන බවද ඔහු සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා සඳහන් කළේ වර්තමානයේ සිසුන් සහ සිසුවියන් ද වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බවය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කුසලතා මධ්‍යස්ථානය හරහා මේ වනවිට ක්‍රීඩකයින් 80ක් 90ක් පමණ පුහුණු කරමින් ඇති බවත් ඔවුන් විවිධ මට්ටම්වල සිටින බවත් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පැවසීය.

"මම දැක්ක විදියට අන්තිම අවුරුදු 02 තමයි ක්‍රීඩකයින්ට වැඩිම ආබාධ තිබුණු කාලය. අපි ඔය කාලයේ පුහුණු ක්‍රමවේදය ටිකක් වෙනස් කළා. දැන් තේරෙනවා ඒක අපිට වැඩ කරලා නැහැ කියලා." යනුවෙන් ද අවිශ්ක ගුණවර්ධන  පවසයි.

 

@adaderana

නවතම ලිපි