SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසයි.

 

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

 

 

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දි ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

 

 

"මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා. අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා.

තනතීරු, උපකරණ මේ කුමක් සඳහා මුදල් වැය කළත් එය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ සඳහන් වෙනවා. ඉතින්, එයින් අදහස් වන්නේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාසල් ක්‍රිකට් දියුණු වන බවයි. ඉන් පසුව පළාත් මට්ටමින් ක්‍රිකට් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා.

අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි. අපි මේ මුදල් යොදවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයිනගේ සංචිතය හදන්න. පිරිමි ළමයි විතරක් නෙවෙයි, ගැහැණු ළමයිනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ අන්දමින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාව යම් ප්‍රමිතියකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා.

බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට, කොළඹ පාසල් කිහිපයක හැරුණුවිට පාදුක්ක, කිරිඳිවැල, අගලවත්ත මේ වගේ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු අයුරකින් දියුණු වී නැහැ. ඒ නිසා සියලුම පාසල් සහ සියලුම සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ඇති බව අප සහතික කළ යුතුයි.

ක්‍රිකට් කියන්නේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. අපිට හැම ක්‍රීඩාවකින්ම දිනන්න බැහැ. නමුත් ඇතැම් ඒවා අපට දිනන්න පුළුවන්. ඉතින් අපි මේ සදහා මුදල් යොදවන්න ලෑස්තියි.

ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා.

රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි අපේ ආර්ථිකයෙන් පමණක් නොවෙයි, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව වැනි අනෙකුත් ක්ෂේත්‍රවලින්ද දස්කම් දක්වන රටක් බවට පත්වන බවට සහතික වෙමු.

ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු”.

 

 

@PMD පුවත ඇසුරිනි.

නවතම ලිපි