SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන ක්‍රිකට් සම්බන්ධව පැන නැගී ඇති අර්බූධයට හේතුව වන්නේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ දේශපාලන ක්‍රමන්ත්‍රණයක් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර හෙළිදරව්වක් කර ඇත.

අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ මේ සියල්ලටම හේතුව ගැටළු නිරාකරණයට ඇමතිවරයාට තිබෙන  නොහැකියාවත්, හිතුවක්කාරී ලෙස පළි ගැනීමේ චේතනාවත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙක් වන සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් කියා ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා මේ අවස්ථාවේදී පවා සිදු කරන්නේ, ක්‍රිකට් ආයතනය සමග  පලිගැනීමේ චේතනාවෙන් සහ ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමට ක්‍රියාකරනවා විනා ක්‍රීඩාව දියුණු කිරීමේ චේතනාවකින් කටයුතු නොකරන බවය.

 

ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ කෙරේ.

 

මාධ්‍ය නිවේදනයයි

අද ලංකාවේ අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ක්‍රිකට්ද?

රට ආර්ථික අතින් බංකොලොත් වී තිබෙන අවස්ථාවකදී රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා විපක්ෂයට ආරාධනා කරනවා ක්‍රිකට් දියුණු කරන්නට එක්වන ලෙසට. විපක්ෂනායකවරයාද  රටේ ප්‍රධානම ප්‍රශ්ණය ක්‍රිකට් කියලා හිතාගෙන ක්‍රියා කරනවා.

 

ක්‍රීඩා අමාත්‍යවරයාට කඩා වැටුනු රට ගොඩනගන්නට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයට එක්වන්නට බැරි ඇයි?

අද මිනිස්සු ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්. සමහර අයට හරියට කෑමක් බීමක් නැහැ. තරුණයන්ට රැකියාවල් නැහැ. ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. තවත් පිරිසක් රට හැර යන්න උත්සාහ කරනවා.  රට ලෝකෙට ණය වෙලා. ණය බේරන්න, ඩොලර් ආදායම වැඩිකර ගන්න ක්‍රමයක් නැහැ. නිමක් නැති ප්‍රශ්ණ වලින් ජනතාව මානසිකව කඩා වැටිලා. ආර්ථිකය කඩාවැටිලා,  ජීවන ප්‍රශ්න වැඩිවෙලා. අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, කෘෂිකාර්මික ප්‍රශ්න,  ගොවියන්ගේ, ධීවරයින්ගේ, කම්කරුවන්ගේ ප්‍රශ්න, මේ කී නොකී දහසකුත් ප්‍රශ්ණවලට වඩා වැදගත්ම ප්‍රශ්නය ක්‍රිකට්ද?

 

 

රටේ ජාතික ප්‍රශ්ණයක දී, ගොවි ජනතාවගේ කාබනික පොහොර ප්‍රශ්ණයකදී විපක්ෂය සමග එක්ව ජනතා ගැටළු විසඳන්නට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට ජනතාවගෙ දුක් වේදනා ගැන හැගීමක් තිබුනෙම නැද්ද? පසුගිය වසර දෙකේදි ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් දින කීයක් පාර්ලිමේන්තුවෙ කථා කරලා තියෙනවාද? නමුත් දැන් රටේ ලොකුම ප්‍රශ්ණය ක්‍රිකට් කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ හැමදාම කථා කරනවා. මෙය දැන් ජනතාවට හිසරදයක්, කරදරයක්, පිළිකුලක් වෙලා.

 

 

ක්‍රිකට් දියුණු කරලා ජයග්‍රහණය කල විට ඉහත ප්‍රශ්ණවලට පිලිතුරු ලැබෙනවා නම් අපි සියළු දෙනාම ක්‍රීඩා ඇමතිවරයා සහ විපක්ෂය සමග එක්ව ක්‍රිකට් දියුණු කිරීමට පෙලගැසෙමු. අප සියඵම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ජයපරාජය දෙකම අප භාරගත යුතුයි. ගරු ක්‍රීඩා ඇමති තුමනි, ලෝක කුසලානයෙන් අවසන් තරගය තෙක් අපරාජිතව සිට අවසන් මහ තරගයේදී පරාජයට පත්වූ ඉන්දියාවෙත් ක්‍රිකට් පාලක මණ්ඩලය එසේ නම් වහාම විසුරුවා හැරිය යුතුද?

 

 

ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍ය වූයේ බොර දියේ මාලු බාන්නයි. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. ඉන්දියාව ඉදිරියේ ලංකාව පරාදවෙන තෙක් බලා සිට ජනතාව නොමග යවා වැරදි ජනමතයක් ඇති කර තවත් අරගලයක් නිර්මාණය කර රජය පෙරලගන්නයි උත්සාහ කලේ. තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදී හදිසියේ, කඩිමුඩියේ ගැසට් එකක් මගින් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් කලේ ඒකයි. ඒ හේතුව නිසා ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දමා ඉතිරි තරඟ දෙකක් පරාජය කරවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම බාරගත යුතුයි.

 

 

මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් කියන්න හේතුවුනු දෙවෙනි කාරණය නම් ආසියානු සහ ඉන්දීය ක්‍රිකට් පාලක සභාවේ සභාපති දේ ෂා මහතාව නිර්දය ලෙස විවේචනය කිරීමයි. ඔහු දන්නවා ඉන්දියාවේ බලවත්ම අමාත්‍යවරයෙක් වන අම්රිත් ෂා යනු දේ ෂා ගේ පියා බව. ඉන්දීය අගමැති මෝදි මැතිතුමාගේ දකුණු අත දේ ෂා ගේ පියා කියලා කිව්වොත් නිවැරදියි. මේ දේ ෂා ට රොෂාන් ඇමතිතුමා  ඉතාම නිර්දය ලෙස විවේචනය කරන  හේතුව  අපේ අසල්වැසි මිතුරාව යම්කිසි ආකාරයකින් උසිගැන්වීම් කරලා, රාජතාන්ත්‍රික බැදිම් බිඳ දමලා, දේශපාලන වාසියක් ලබා ගැනිම තුලින් අනාගත දේශපාලන සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරන බොලඳ උත්සාහයක් බව පැහැදිලියි.

 

 

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ සියලු කුමන්ත්‍රණ සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හෝ රටට ඇති ආදරය නිසාම නොවේ. ඔහුගේ කේන්ද්‍රයේ බලවත් වී ඇතැයි කියන රාජ යෝගය නිසායි. ඔහුට ඇතැයි කියන රාජ යෝගය නිසා ඔහු සිහින මවනවා. විපක්ෂ නායකවරයා ද ක්‍රීඩා ඇමතිවරයාව බළල් අතක් ලෙස පාවිච්චි කරනවා. මේ දෙදෙනාටම තියෙන්නේ බොළඳ සිහිනයි.

 

 

ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගනුදෙනුවල ගැටලු සහගත තැන් තිබුණා නම් ක්‍රීඩා ඇමතිවරයා කළ යුතුව තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීමයි. නමුත් ඔහු කළේ ජනාධිපතිවරයාවත්, ඔහුගේ කාර්යය මණ්ඩලයත් චූදිතයෝ බවට පත් කර වීරයෙක් වීමයි. ජනාධිපතිවරයා ඔහුට උපදෙස් දී තිබුණේ විගණන වාර්තාවේ පැන නඟින ගැටළුකාරි විගණන නිරීක්ෂණ කර අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා කැබිනට් මණ්ඩලයට වාර්තා කොට ඉන්පසුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටින ලෙසයි.

 

ඒ අනුව මෙම විගණන වාර්තාවේ නඩු පැවරිය හැකි නඩු නිමිති තිබේ නම් නීතිපතිවරයා හරහා අදාල නඩු සඳහා දැනටමත් නීතිපතිවරයාට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදි, තම බොළඳ සිහිනය වෙනුවෙන්  ඇමතිවරයා කළේ ජනාධිපතිවරයා නොසලකා හැර තම පටු බොළඳ අරමුණු වෙනුවෙන් ගැලරියේ චන්ඩියෙකුගේ චරිතයට පන පෙවීමයි. ඒ සඳහා  ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට විපක්ෂ නායකවරයා සමඟ කුමන්ත්‍රණය කිරීමයි. විපක්ෂයේ අතකොළුවක් බවට රජයේ ඇමතිවරෙයකු පත්වීම කණගාටුවට කරුණකි.

 

අද එහි ප්‍රතිඵලය ‌ලෙස ආණ්ඩු පක්ෂය විසින් ක්‍රීඩා ඇමතිවරයාව නොසලකා හැර ඇත. ක්‍රීඩා ඇමතිවරයා බලහත්කාරයෙන් මන්ත්‍රීවරු සමඟ කතාබහ කරන්නට ගියත් මන්ත්‍රීවරු ඔහුව මඟහැර යමින් ඇත.

 

විගණන වාර්තාවට අනුව වරදක් සිදුකර ඇත්නම් අධිකරණ ක්‍රියා මාර්ගයට යොමුව වරදකරුවන්ට දඩුවම් කල යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදයයි. යම් අයෙකු හොරෙකු, දූෂිතයකු යයි නම් කල හැක්කේ අධිකරණයකින් එම චෝදනාවන්ට වැරදි කරුවකු බව තීන්දු කලහොත් පමණි. ජනතාව චෝදනා කරන්නේ මුන් 225ම හොරු කියලා බව අමතක නොකල යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා වන ඔබත් ඒ 225න් අයෙකු බව තේරුම් ගන්න.

 

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා මටත්, සාගල රත්නායක මහතාටත් සහ ෂම්මි සිල්වා මහතාටත් විරුද්ධව, අපගෙන්  ඔහුට ජීවිත තර්ජන එල්ල වී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා. අප කිසිවකු එතුමට තර්ජනය කරලා නැහැ. එය අපි ඔප්පු කරලා පෙන්වන්නම්.

 

ක්‍රීඩාවේ දී තිබිය යුතු මූලික ගුණාංග වන්නේ  ඉවසීම, කණ්ඩායම් හැඟීම සහ නායකත්වයට ගරු කිරීමයි. නමුත් තමාගේ නායකයා රටේ නායකයා පමණක් නොව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ තවත් බොහෝ අමාත්‍යවරුන් මෙම ක්‍රිකට් අර්බුධය සම්බන්ධයෙන් එතුමාගෙන්  කළ ඉල්ලීම්, එතුමා නොසලකා හැර හිතුවක්කාර ආකාරයෙන් ක්‍රියා කිරීම රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීමකි.

 

පසුගිය වසරේ ඩුබායිවල පැවති ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසුව ක්‍රිකට් ආයතනයට, පාපන්දු සහ රගර් වැනි මුදල් ගැවසෙන ක්‍රීඩා ආයතන සඳහා තමන්ගේ හිතවතුන් දමා ගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කලා. හොරු බලවත් කියමින් මෙම ප්‍රධාන ආයතනවලට එරෙහිව ජනමතයක් ඇතිකලා. පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතාට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඔහු දූෂිතයෙක් බව හඟවමින් ඡන්දයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඔහුට අහිමිකරමින් තමාට හිතවත් ශ්‍රී රංගා යන අයව කෙසේ හෝ සභාපති කරගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙසට ජාත්‍යන්තර තහනමකට පාපන්දු ක්‍රීඩාව ලක්වුනා.

 

ඉන් වසරකට පසුව නැවතවරක් හොරු බලවත් යයි අපහාසකල ජස්වර් උමාර් මහතාව නිර්දෝෂි පුද්ගලෙයක් බව පිලිගෙන ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති කලා. එම වර්ෂයේ ක්‍රීඩකයින්ට අහිමි වූ තරගාවලි සහ රටට අහිමි වූ ඩොලර් වලට වගකියන්නේ  කවුද?

 

 

ඔහු එදා සිටම සැලසුම් කළේ කෙසේ හෝ අර්ජුන රණතුංග මහතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති කරවන්නයි. සියලුම ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න අවස්ථාව තිබුණ නමුත් ගැටලු නිරාකරණය කිරීමට හෝ සාකච්ඡා මාර්ගයට පිවිසීමට අමාත්‍යවරයාට කිසිදු වුවමනාවක් තිබුනේ නැහැ. අද ලංකාවේ ‍ප්‍රධාන ක්‍රිඩා සංගම් විශේෂයෙන් ඔලිම්පික් සංගමය, පාපන්දු, ක්‍රිකට්, රගර්, මලල ක්‍රිඩා, මෝටර් රේස් ඇතුඵ අනෙකුක් සම්ගම් වලින් උසාවියේ නඩු 285 ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශයට විරුද්ධව විභාග වෙමින් පවතිනවා.

 

මේ සියල්ලටම හේතුව ගැටළු නිරාකරණයට ඇති නොහැකියාව සහ  හිතුවක්කාරී ලෙස පළි ගැනීමේ චේතනාවෙන්  ක්‍රියා කිරීමයි. මේ අවස්ථාවේදී පවා ක්‍රිකට් ආයතනයෙන් පලිගැනීමේ චේතනාවෙන් සහ දේශපාලන වාසියක් ලබා ගැනිමේ චේතනාවෙන් ක්‍රියා කරනවා විනා, ක්‍රිඩාව දියුණු කිරීමේ චේතනාවක් අමාත්‍යවරයාට ඇත්තෙම නැත.

 

 

රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා 1973 අංක 25 දරණ ක්‍රීඩා පණතේ 4(3) වගන්තිය උල්ලංඝනය කරමින්, නීති විරෝධී ලෙසට තම බලය අයථා ලෙසට භාවිතා කරමින් අර්ජුන රණතුංග මහතාව ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත් කර ගත්තා. ක්‍රීඩා පණතට අනුව ක්‍රියා කරන්න කියා ක්‍රීඩා සංගම් වලට නීති පනවනවා. මෙය හරියට මහ කකුළුවා පොඩි එවුන්ට කෙලින් යන්න කියනවා වගේ දෙයක්.

 

 

තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාවත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ ප්‍රතිඵලය අද ඇමතිවරයා භුක්ති විඳිමින් ඇත. ඔහුට ගොඩ ගත හැකි ක්‍රීඩාවක් නොමැත. අද ඔහු රාජ්‍ය ද්‍රෝහියෙක් බවට පත්ව ඇත. ඒ ගැන මම අතිශයින්ම කණගාටු වෙමි.

 

 

සුදත් චන්ද්‍රසේකර

ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක

නවතම ලිපි