SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දහස් ගණන් පලස්තීනුවන්ට වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම රැකවරණ සැලසූ ගාසා නගරයේ

අල් ෂිෆා රෝහලට කඩාවැදුණු ඊශ්‍රායල හමුදා එහි හමාස් සංවිධානයේ අවි ආයුධ සහ සලකුණු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව වාර්තා වේ.

 

රෝහල් ගොඩනැගිල්ල පත්ලේ භූගත උමං තුළ හමාස් සංවිධානය අවි ආයුධ ගබඩා කර ඇති බවත් එය මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස යොගන්නා බවත් ඊශ්‍රායල හමුදා චෝදනා කරයි.

එමෙන්ම රෝහල් සංකීර්ණයේ හෙළිදරව් නොකළ ගොඩනැගිල්ලක තිබී සොයාගත් බව කියන ස්වයංක්‍රීය ගිනි අවි, ග්‍රෙනේඩ්, උණ්ඩ සහ වෙඩි නොවදින කබා ඇතුළු යුදෝපකරණ තොගයක් ද ඊශ්‍රායල හමුදාව ප්‍රදර්ශනය කළේය.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි සඳහන් කළේ, බුද්ධි තොරතුරුවලට අනුව රෝහල තුළ නිශ්චිත පරීක්ෂාවන් තවදුරටත් සිදු කරන බවයි. 

කෙසේ නමුත් අල් ෂිෆා රෝහලේ සිට හමාස් උමං මාර්ග වෙත පිවිසුමක් පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර නැත.

 

 

අල් ෂිෆා රෝහලේ සිය අවි ගබඩාවක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවතින බවට ඊශ්‍රායලය කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන හමාස් සංවිධානය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල හමුදාව ඇතැම් යුද අවි රෙදිපිළි සහ උපකරණ රෝහල වෙත රැගෙන විත් සැකකටයුතු අන්දමින් සඟවා ඇති බවයි. 

 

ඊශ්‍රායල හමුදා එල්ල කරන චෝදනා පරීක්ෂා කොට තහවුරු කරගන්නා ලෙස තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බව ද ගමන් ප්‍රකාශකයකු සඳහන් කරයි.

 

 

ඊශ්‍රායල හමුදාව රෝහල වැටලීම සඳහා යුද ටැංකි, යුධ රථ මෙන්ම බුල්ඩොසර් ද රැගෙනවිත් තිබූ බව වාර්තා වේ. 

අල් ෂිෆා රෝහල යට හමාස් සංවිධානය අවි ගබඩාවක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද චෝදනා කළේය.

ඔහු කියා සිටියේ, එය යුද අපරාධයක් බවයි. 

කෙසේ නමුත් රෝහල තුළ මෙහෙයුම් පරීක්ෂාවෙන් සිදු කළ යුතු බව ඊශ්‍රායලයට දැනුම්දුන් බව ජනපති බයිඩ්න් කියා සිටියේය.

 

එමෙන්ම ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ප්‍රකාශ කළ පරිදි ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රැඳවීම දූරදර්ශී පියවරක් නොවන බව ජනපති බයිඩ්න් පවසා තිබේ.

ඊශ්‍රායල ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, යුද්ධයෙන් පසු හමාස් සංවිධානය නැවත නැගී සිටීම වැළැක්වීමට නම් ශක්තිමත් හමුදා බලයක් ගාසා තීරයේ රැඳවිය යුතු බවයි. 

 

 

එහෙත් එලෙස ගාසා තීරය ඊශ්‍රායල අණසක යටතේ තබාගැනීම, නැත්නම් අත්පත් කරගැනීම බරපතළ අත්වැරැද්දක් (Big Mistake) වනු ඇති බව ජනපති බයිඩන් සඳහන් කළේය.

එමෙන්ම ඊශ්‍රායල - පලස්තීන අර්බුදය විසඳීමට ඇති එකම මඟ රාජ්‍යයන් දෙකක් බිහිකිරීම බව අගමැති නෙතන්යාහු වෙත පැවසු බව ජනපති බයිඩන් කියා සිටියේය.

 

 

මේ අතර, හමාස් සංවිධානය වෙනුවෙන් තමන් සටනට එක්නොවන බව ඉරානය හමාස් සංවිධානයට දන්වා ඇතැයි ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන්දෙනෙකුගේ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කරයි.

හමාස් නායක ඉස්මයිල් හනියේ සමග මෙහෙරාත් නුවර පැවති සාකච්ඡාවක දී ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ල අල් කමේනි මේ බව පැවසුවේ යැයි එම නිලධාරීන් සඳහන් කරන තිබේ.

එමෙන්ම එය පැහැදිලි සහ ස්ථිර ප්‍රකාශයක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇත.

හමාස් සංවිධානය පසුගිය මස මුල දී දකුණු දිග ඊශ්‍රායලයට කඩාවැදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය දැනුවත් නොකළ නිසා, දැන් ඔවුන් වෙනුවෙන් සටනට පිවිසිය නොහැකි බව ඉරාන නායකයා අවධාරණය කර ඇත.

 

මේ අතර, ගාසා තීරය තුළ මානුෂීය විරාම තවදුරටත් අවශ්‍ය බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ ඊයේ සම්මත විය.

ඊට පක්ෂ ව ඡන්ද 12ක් හිමි ව තිබූ අතර අමෙරිකාව, රුසියාව සහ බ්‍රිතාන්‍යය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

කෙසේ නමුත් ඊශ්‍රායලය පවසන්නේ, මෙම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

 

 

@adaderana

නවතම ලිපි