SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුවරඑලිය තැපැල් කාර්යාලය හා එහි පරිශ්‍රය වහාම ක්‍රියාත්මකවන පරිදි

සංචාරක හෝටලයක් තැනීම සඳහා නියෝග කිරීම, අදුරදර්ශී හා අමනෝඥ ක්‍රියාවක් බව එක්සත් ජනරජ පෙරමුණ ප්‍රකාශකර සිටී.

 

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා ඇත.

 

නුවරඑලිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීමේ ප්‍රයත්නය වහාම අත්හිටුවන්න.

 

සාකච්ඡාවට බඳුන්වී ඇති තැපැල් කාර්යාලය 1894 වර්ෂයේදී ටියුඩර්-එඩ්වර්ඩ්  සම්ප්‍රදාය අනුව තනනු ලැබ, පුරාවිද්‍යා ආරක්ෂක පනත යටතේ 2007 වසරේදී ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද, සුවිශේෂී ගොඩනැගිල්ලකි. පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථාන පාලකයන්ගේ හෝ වෙනත් අයගේ හිතුමනාපයට , තම තමන්ට රිසි අරමුණු සඳහා අවභාවිතා කිරීම එක්සත් ජනරජ පෙරමුණ කිසිවිටකත් අනුමත නොකරයි. මෙම ස්ථානය පුද්ගලික අංශයට පවරා එය සංචාරක හෝටලයක් බවට පත්කොට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියැයි සිතීම සරල, බොළඳ සිතුවිල්ලකි. ලොව නවීනතම සංචාරක හා පුරාවිද්‍යා සංකල්ප අනුව මෙවන් ස්ථාන සංවර්ධනය කලයුත්තේ එය "ජීවමාන උරුමයක්' (Living Heritage) ලෙස සංරක්ෂණය කිරීමෙනි . මෙහිදී මෙම පරිශ්‍රය පෞරාණික තැපැල් කාර්යාලයක් ලෙසම ආරක්ෂා කිරීම තුලින් එයට හා එම නගරයට ලැබෙන සංචාරක ආකර්ශනය වැඩිවේ. මෙවන් නවීන සංකල්ප ගැන අබ ඇටයක පමණ දැනුමක් නැතිව, තමන්ගේ සිතිවිලි මත පමණක් පදනම්ව අවිද්‍යාත්මක තීරණ ගැනීම පාලකයන් විසින් නොකළ යුතුය.

 

 

එසේම මෙම සිද්ධිය පසුපස ශ්‍රී ලංකාවේ තැපැල් සේවය බිඳ දමා සෙමින් පුද්ගලීකරණය කිරීමේ අදහසක සේයාවක්ද පෙනෙයි. පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ ස්ථාවරය වන්නේ ශ්‍රී ලංකාවේ තැපැල් සේවය පුද්ගලීකරණය නොකළයුතු බවයි. ලංකාවේ ගම් දනව් සිසාරා විහිදෙමින් ජනතාව වෙතට පණිවිඩ රැගෙන යන සේවයක් ලෙස ශ්‍රී ලංකාවේ තැපල් සේවාව ඉටුකරන මෙහෙවර විශිෂ්ඨය.

 

 

එහි ආදායම වැඩි කිරීමට කලයුත්තේ නවීන ලෝකයට ගැලපෙන පරිදි එහි කළමනාකරණ විධික්‍රම නවීකරණය කොට, යල්පැනගිය සේවාවන් වෙනුවට එය නව සේවා සපයන ආයතනයක් බවට පත්කිරීමයි. මෙහිදී  අද සීග්‍රයෙන් වැඩෙමින් පවතින අන්තර්ජාල වෙළඳාමට එක්ව එහි භාන්ඩ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා බවට ශ්‍රී ලංකා තැපැල් සේවය පත්කිරීම අපගේ රජයක මුලිකම කර්තව්‍යය වනු ඇත. මෙයට සියවසකටත් ප්‍රථම 1907 වසරේදී ගෙන එනු ලැබූ යල්පැනගිය තැපැල් ආඥාපනත වෙනුවට අදට ගැලපෙන තැපැල් පනතක් ගෙන ඒම එයට ඉවහල් වනු ඇත. මෙවන් ඉදිරිගාමී ක්‍රියාවක් තුලින් වැඩිදුරටත් තැපැල් සේවය රජයට බරක් වීම වලකිනු ඇත. අනවබෝධයකින් යුතුව, සියලු දේ පුද්ගලීකරණය කිරීමට කැස කවන්නන් නොදන්නා කරුණක් වන්නේ ධනවාදයේ මුදුන් මල්කඩ ලෙස ඔවුන් සලකන එක්සත් ජනපදයේ පවා තැපැල් සේවය විධායකය යටතේ පාලනයවන රාජ්‍ය සේවයක් බවය.

 

 

කුමන හෝ යටි අරමුණක් මත පදනම්ව මෙවැනි ආයතන සහ ගොඩනැගිලි, හුදෙක් විකුණා දැමීමට පමණක් කැසකැවීම තුල පෙනෙන්නේ රජයට  සහ එය කරවන දේශපාලකයන්ට, ආයතනයක් දියුණු කිරීමට ඇවැසි කිසිදු කුසලතාවයක්, නිපුනතාවයක් හෝ නිර්මාණාත්මක හැකියාවක් නොමැති බවයි.

 

 

අපේ රට දියුණු කිරීම නවීන අදහස් මත පදනම්ව, සංස්කෘතික උරුමයන් සුරකිමින් සිදු කළයුතුයැයි තරයේ විශ්වාස කරන එක්සත් ජනරජ පෙරමුණ,  නුවරඑළියේ තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත්කිරීම වහා අත්හිටුවන ලෙස රජයට බලකර සිටී.

 

 

බන්දුල චන්ද්‍රසේකර

ප්‍රධාන ලේකම් - එක්සත් ජනරජ පෙරමුණ.

 

 

නවතම ලිපි