SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය සැලසුම් කර ඇත.

ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් සංචිතයට එක් කිරීමට නියමිත අතර ඒ ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය යටතේය.

 

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක් වීමෙන් පසුව මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය 20 වැනිදා ඉන්දියාවට කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කළේය.

 

ඒ අනුව අතිරේක ක්‍රීඩකයන් ලෙස පැමිණි මැතිව්ස් සහ චමීර දෙදෙනා අතරින් පතිරණගේ ආදේශක ක්‍රීඩකයා ලෙස මැතිව්ස් 15 දෙනාගේ සංචිතයට එකතු වෙන බව නිලධාරියෙක් 24දා ප්‍රකාශ කළේය.

 

“අපේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ඩිල්ශාන් මධුසංඛ සහ කසුන් රාජිත දෙදෙනා නෙදර්ලන්ත තරගයේදී හොඳින් පන්දු යැවුවා. ඒ නිසා තව වේග පන්දු යවන්නකුට වඩා පන්දු යැවිය හැකි පිතිකරුවෙකුගේ වටිනාකම කණ්ඩායමට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. දසුන් වෙනුවට කණ්ඩායමට එකතු වූ චාමික ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා ලැබුණේ නැහැ.”

 

අදාළ නිලධාරීයා එසේ පැවසූ අතර මැතිව්ස් එක් දින තරග 211 කදී කඩුලු 120 ක් සහ ලකුණු 5865 ක් ලබා ගෙන තිබේ.

 

එංගලන්තය සමග හෙට (26) පැවැත්වීමට නියමිත මීළඟ තරගයට ඒ අනුව මැතිව්ස් බොහෝ දුරට කණ්ඩායමට එක්වීමට නියමිත බව ද අදාළ නිලධාරියා පැවසීය.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක භූමිකාව ශක්තිමත් කිරීම මැතිව්ස් ගෙන් බලාපොරොත්තු වන බවද අදාළ නිලධාරියා ප්‍රකාශ කළ අතර ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් වූ දසුන් ශානක ද ඊයේ පැවැති පුහුණුවීම්වලදී පන්දු යැවීමට ද කටයුතු කළේය.

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 05 වැනි තරගය එංගලන්තයට එරෙහිව බැංගලෝර් හිදී හෙට (26දා) පැවැත්වීමට නියමිතය.

 

කුෂාන් සුබසිංහ බෙංගලූරු නුවර සිට

@Divaina

නවතම ලිපි