SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව විදේශ ණය ගෙවා දැමීමට නොමැකි රටක් තත්වයට පත්ව ඇති අවස්ථාවේ බංකොලොත් බව ප්‍රකාශ කිරීම සිදු කළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් යැයි

මෙරට මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් පසුගිය දිනවල ප්‍රකාශ කරමින් මහ බැංකු අධිපති ලෙස තමන්ටත් මුදල් අමාත්‍යාංශ ලේකම්ටත් සෘජුව ඇඟිලි දිගු කළ බවත් එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් සෘජුවම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපති දැක්වූ අදහස් පහතින් පල කෙරේ.

“2022 අප්‍රේල් 12 වෙනිදා අපිට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බව ප්‍රකාශ කරනකොට රජය මගින්, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මේවා කළා කියලා මම දැක්කා පසුගිය දවස්වලත් යම් යම් මත පල වෙලා තියෙනවා.

මතයක් පල වුනා අර රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලකයන්ගේ ගෙවල් ගිනි තැබීමට හේතු වුනේ මෙන්න මේක කියලා. ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුනා, ඒක නිසා අපේ ගෙවල් ගිනි තියන්නේ නැතුව අන්න අහවල් නිලධාරීන්ගේ, මහ බැංකු අධිපතිගේ හෝ භාණ්ඩාගාර ලේකම්ගේ හෝ ඒ අයගේ ගෙවල් ගිනි තියන්න කියලා.

මොනම ආකරයක හෝ ප්‍රචණ්ඩත්වය අපි වෘත්තීමය නිලධාරීන් ලෙස ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. නමුත් අවාසනාවකට එහෙම ප්‍රකාශය කරන මහජන නියෝජිතයන් මේ රටේ ඉන්නවා.

විශේෂයෙන්ම මේ ණය ගෙවීමේ නොහැකියාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්නම් වහාම ඒ ගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න කියන එකට මම හිතන්නේ ඒක විවෘතව ඉතාම කැමැත්තෙන් ප්‍රකාශ කරන්න ඕනා. ඒ සඳහා දෙන්න ඕන උපරිම සහයෝගය අපි මහ බැංකුව වශයෙන්, මුදල් අමාත්‍යාංශය වශයෙන් ඒ සහයෝගය ලබා දෙනවා.”

 

පසුගිය 15 වනදා පාර්ලිමේන්තුවේ පැවති “රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කමිටුව” හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර විදේශ ණය ගෙවීම අත්හිටවීම සම්බන්ධයෙන් බුද්ධ අංශ යොදවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් විස්තර කරමින් ඔහු එහිදී පැවසුවේ,

“12 වෙනිදාට ගෙවන්න තිබෙන්නේ චීනයට ඩොලර් මිලියන 70ක්. දැන් දෙසැම්බර් වනතුරු වර්ෂයක් තිබෙනවා. මුළු මුදල ගෙවන්න තිබෙන්නේ 2022 වර්ෂයේ ඩොලර් බිලියන බිලියන තව 3.9යි. රජය අප්‍රේල් මාසෙ වෙනකොට ඩොලර් 3.2ක් ගෙවල තිබෙනවා. මේ ක්‍රියාවලිය අතරේ කඩිමුඩියේ එක පැත්තකින් මුදල් ඇමතිවරයා ඉල්ලා අස් වෙනවා. මහ බැංකු අධිපති ඉල්ලලා අස් වෙනවා. ඒ අතරේ අධිපතිවරෙක් ශ්‍රී ලංකාවට ආපහු විදේශ රටක ඉඳලා සැපත් වෙනවා. ඔහු නිවේදනය කරනවා රට බංකොලොත් කියලා. එතකොට ඔහුට අයිති නැති රාජකාරියක් සිදු වෙලා තිබෙනවා. මෙම කමිටුව ඇත්ත වශයෙන්ම සෙයා බැලිය යුතුව තිබෙනවා, මේ රට බංකොලොත් කියලා ඒ නිවේදනය කරන අවස්ථාවේදී එය භාරව හිටපු ප්‍රධානීන් කොයිවගේ පුද්ගලයන්ද? ඔවුන්ගේ හැසිරිම කෙසේද කියලා බැලිය යුතුව තිබෙනවා. ඔවුන්ගේ දූ දරුවන් සුවිශේෂ ස්ථානවල ප්‍රතිලාභ ලබනවද කියලා සොයා බැලිය යුතුව තිබෙනවා. ඔවුන්ගේ ඕනෑඑපාකම්වලට අපි හසු වෙලා ඩොලර් මිලියන 70කට රට බංකොලොත් කිරීම මම හිතන්නේ නැහැ සාධාරණ ක්‍රියාවලියක් කියලා. එතකොට මහ බැංකුවේ ඉන්න පුද්ගලයන් රජය බොහොම පරිස්සමින් සිවුම් ලෙස අධ්‍යනය කළ යුතුව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ වැදගත් ස්ථානවල සිටින පුද්ගලයන් ඉතාම කල්පනාවෙන් අධ්‍යනය කළ යුතුව තිබෙනවා. ඇත්තවශයෙන් රාජ්‍ය බුද්ධි අංශය ඒ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.”

 

කමිටුවේ සාමාජික මන්ත්‍රීවරයෙකු නැගූ “මහ බැංකුව මේ තීන්දුව ගත්තයි කියන තාක්ෂණික වරදද? නැත්නම් බන්කොලොත්භාවය ඒ මොහොතේ ප්‍රකාශ නොකළ යුතුව තිබුණා කියන එකද?” යන ප්‍රශ්නයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ “ඇත්ත වශයෙන්ම ඒ කරුණු දෙකම අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්” යනුවෙනි.

 

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු අවස්ථා කිහිපයකදීම මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ඉලක්ක කර විවිධ චෝදනා එල්ල කරනු දක්නට ලැබුණු අතර පසුගිය වසරේ ජූලි මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පොහොට්ටු පක්ෂය ප්‍රමුඛ මන්ත්‍රීවරු විසින් තෝරා පත්කරගත් ආසන්නයේම ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ ස්වාධීන රූපවාහිනී දේශපාලන සංවාදයකට එක් වෙමින් මහ බැංකු අධිපති ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන්නේ යැයි චෝදනා කරනු ලැබීය.

 

මේ සියලු චෝදනා හමුවේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අභියෝගය බාරගෙන ඔහුට එරෙහිව නීතිය හමුවට යාමේ හැකියාව දැන් වජිර අබේවර්ධනට තිබේ.

@lankatruth

නවතම ලිපි