SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව කියුබාවේ දී සිදු ව ඇත.

 

කියුබාවේ “විප්ලවයේ මාලිගාව” යේදී කියුබානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඔහු වෙනුවෙන් හමුදා ‍ උත්තමාචාර ද පිරිනමා ඇත.

නායක දෙපල ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් ව ඇත්තේ ඉන් අනතුරුවය.. 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා  දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කර ඇත.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය  මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත්  කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කර ඇතැයි පැවසේ.

එමෙන්ම ඉදිරියේ දී  සෞඛ්‍ය, කෘෂිකර්ම  සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

 

ගෝලීය වශයෙන් උතුරු - දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික වූ බව වාර්තා වේ.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් මහතා විසින් පිළිගෙන තිබේ. 

'G77+China' යනු කුමක්ද?

 

G77 china

2014 වසරේ දී බොලිවියාවේ සැන්ටා කෲස්හි ක්‍රීඩාංගනයක දී පැවැත්වූ G77+චීනය සමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාව

 

සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවක් වන G77 කණ්ඩායමේ සමුළුව අද සහ හෙට (සැප්තැම්බර් 15 සිට 16 දින) කියුබාවේ හවානාහි පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර සමුළුවට සහභාගී වේ.

 

ඒ, ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවේ වත්මන් සභාපති, කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනේල්ගේ නිල ආරාධනයක් අනුව ය.

 

මෙම රැස්වීම මෙතෙක් ශ්‍රී ලංකාවේ දී පවත්වා නොමැති අතර; ශ්‍රී ලංකාව එහි සභාපතිත්වය ද මෙතෙක් දරා නැත.

නවතම ලිපි