SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව පොදු පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්‍ෂ සහ පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර පසුගිය දා පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව බැසිල් රාජපක්‍ෂ අදහස් ප්‍රකාශ කර ඇත.

 

තම මතවලට එකඟව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු නොකරනවා නම් ඔහුට සහය දීමෙන් පලක් නොවන බව ද ඔවුන් පෙන්වා දී ඇත.

 

පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයන්ට මෙතෙක් ඇමති ධූර නොලැබීම සම්බන්ධයෙන් ද මෙහිදී පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් තම අදහස් ප්‍රකාශ කර ඇත. ඇමති ධූර නොලැබුණු පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීම පොදුජන පෙරමුණු පක්‍ෂයේ මතයට කරන හානියක් බව ද තම පක්‍ෂයට ලැබුණු 69 ලක්‍ෂයේ ජනවරමට අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගට ම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්‍ෂ මෙහි දී පෙන්වා දී තිබේ.

 

එහෙත් හැටනව ලක්‍ෂයේ ජනවරමට පිටුපා යන තත්ත්වයකට ජනාධිපතිවරයා පත්වුවහොත් ඒ පිළිබඳව අවධානය යොමුකර ගතයුතු ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බව ද බැසිල් රාජපක්‍ෂ මෙහිදී පවසා ඇත.

 

බලය බෙදීම පිළිබඳව අවංක වුවමනාවක් ඇත්නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව කළ යුත්තේ සර්ව පාක්‍ෂික සමුළුවලට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම බව බැසිල් රාජපක්‍ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හමුවේ පවසා තිබේ.

 

පසුගිය දා මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පවත්වා ඇති අතර ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්ව පාක්‍ෂික සමුළුව හා පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

එහිදී බැසිල් රාජපක්‍ෂ මෙම අදහස් ප්‍රකාශ කර ඇති බව දැන ගන්නට ඇත.

 

මේ කරුණු පුළුල් ලෙස ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු බවට ද පොදුජන පෙරමුණු ඉහළ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

බලය බෙදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ පවතින ප්‍රායෝගික තලයේ ගැටලුව වන්නේ, පළාත් සභා ව්‍යුහය බිඳවැටීම බව ද මේ නිසා ඒ ඒ පළාත් සභාවල දෛනික කටයුතු සිදුකිරීමේ දුෂ්කරතා මතුව ඇති බව ද පොදුජන පෙරමුණු නායකයන්ට බැසිල් රාජපක්‍ෂ මෙහිදී පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂද මේ පිළිබඳව තම එකඟතාව පළකර ඇති බව ද දැනගන්නට තිබේ.

 

@ Krishan Jayasuriya

 mawbima

නවතම ලිපි