SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටි නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන

තරිඳු උඩුවරගෙදර අද (ජුලි මස 28 වෙනිදා) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බොරැල්ල ප්‍රදේශයේදීයි.

 

ත්‍රිරෝද රථයක් තුළ සිටිය දී නිදහස් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කැරලි මර්ධන පොලිසිය ද ඇතුළුව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් ඇති වීඩියෝ පටවල දැක්වුණි.

 

"ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගැනීමක්" පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය ම්ලේච්ඡ බවත් මෙවැනි දේ තුළින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට ආණ්ඩුව සිතා සිටිනම් එය කිසිසේත් සිදුනොවන බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට පැවසුවේය.

 

අනීතික ලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු උඩුවරගෙදර වහා නිදහස් කළ යුතු බවද ඔහු මෙහිදී පැවසිය. "තරිඳු උදුවරගෙදර දිගින් දිගටම විවිධ විදිහේ මාධ්‍ය ආවරණ කිරීම්වල යෙදුණා. ඒ වගේම ඔහු සිවිල් ක්‍රියාකාරිකයෙක් ලෙසත් සමාජයේ විවිධ කරුණු සඳහා මැදිහත් වෙලා කටයුතු කළා."

 

"අපි දකින්නේ ඔහු ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඔහුට තිබිය යුතුයි." "අද දවසේදී උද්ඝෝෂණයක් වාර්තා කිරීමේදී සහ උද්ඝෝෂණයක් අසල සිටියේ යැයි කියා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා බොරැල්ල පොලිසියෙන්. ඒ අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ ඉතාම නින්දිත, ම්ලේච්ඡ විදිහටයි. ඔහුට පහර දීලා, කොන්ඩෙන් ඇදලා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හැටියට අපි මේක හෙලා දකිනවා මේ සිදුවීම. ආණ්ඩුව කල්පනා කරනවා නම් මේ වගේ ක්‍රියාවලින් ජනමාධ්‍ය නිහඬ කරන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. මේ වගේ සිද්ධි වෙන්න වෙන්න ජනමාධ්‍යවේදීන් සංවිධාන වෙනවා." "අපි ආණ්ඩුවට කියනවා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ජනමාධ්‍යවේදීන්ට භාරදීලා ආණ්ඩුව ආණ්ඩුවේ කාර්යභාරය කළා නම් මේ වෙලාවේ හැටියට ඒක වටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම තරිදුව නිදහස් කරන්න කියලා." ඔහු සඳහන් කළේය.

 

තරුණ ජනමාධ්ය ලිපිය

 

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය

 

"අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී"

 

මේ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පවසා ඇත්තේ මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී බවයි.

 

පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර දෙමින්, හිසකෙස්වලින් අදිමින් කෘර,අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකමින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එය 1994 අංක 22 දරණ වධදීමට සහ අනිකුත් කෘර අමානුෂික නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් බව එම සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

 

ඊට අමතරව පහරකෑමට ලක්වූ තරිඳු උඩුවරගෙදර කඩිනමින් රෝහල් ගත කරන ලෙසත්, කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ද එම සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. එමෙන්ම එම අත්අඩංගුවට ගැනීමට දායක වූ සියලු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වධහිංසා පනත යටතේත්, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම , පහරදීම ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා සිටි බව තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

 

තරිඳු උඩුවරගෙදර යනු කවුද?

 

තරිඳු උඩුවරගෙදර ස්වාධීන මාධ්‍යවේදියෙක් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙකු ද වේ. ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී 'වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට' පිරිනැමෙන 'ඩෙන්සිල් පිරිස්' සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ 'මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා' ලෙස ද සම්මානයට පාත්‍ර විය.

ඔහු ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLYJA) හිටපු සභාපති සහ ක්‍රියාකාරී සාමාජිකයෙකු ද වන අතර ශ්‍රී ලංකා ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ සංගමයේ (SLWJA) විධායක කමිටු සාමාජිකයෙක් ද වේ. ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේ දී තරිඳු උඩුවරගෙදර රාවය පුවත්පත සදහා කළ වාර්තාකරණය සදහා 2016 දී 'වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට' පිරිනැමෙන 'ඩෙන්සිල් පිරිස්' සම්මානය හිමිකර ගත් අතර, අනිද්දා පුවත්පතේ සේවය කරමින් සිටිය දී 2020 වසරේ 'මර්වින් ද සිල්වා වසරේ මාධ්‍යවේදියා' ලෙස ද සම්මානයට පාත්‍ර විය. ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ රජය පිළිබඳ විවෘත විවේචන සඳහා ප්‍රසිද්ධ "රාවය" සහ "අනිද්දා" ඇතුළු සිංහල භාෂා පුවත්පත් කිහිපයකම ඔහු සේවය කර තිබේ. ඔහු විසින් “සටහන් රේඩියෝ" නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලබන අතර එහිදී සමාජයීය ගැටලු සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විවේචනාත්මක හා ආන්දෝලනාත්මක අන්තර්ගතයන් නිකුත් කොට තිබේ.

මේ අතර ප්‍රහසන ශිල්පිනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ අදහස් දැක්වීමක් හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉකුත් ජූනි 29 වෙනිදා දැනුම් දීමක් සිදු කරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබුනේ ජුලි මස 04 වෙනිදා පෙරවරු 10.30 ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙසයි.

 

අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසිය කියන්නේ කුමක් ද ?

 

නිදහස් මාධ්‍යවේදීයකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර ගෙන් කරුණු විමසීය. එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු බවයි.

 

"බොරැල්ල පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උද්ඝෝෂණයක් අතරතුරදි කලහකාරී ලෙස හැසිරීම කියන එකට තමයි ඇරස්ට් කරලා තියෙන්නේ. එයාව හෙට අංක 02 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි."

 

තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ද බීබීසි සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කරුණු විමසීමක් කරන ලදී. එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට අදාළව චෝදනාවක් තිබේනම් ඒ ගැන ද අවදානයට ලක් කළ හැකි බව යි.

 

අධිකරණ නියෝග

 

මේ අතර කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වී උද්ඝෝෂණ සහ පෙළපාලි සිදුකිරීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කම්කරු අරගල සංවිධානයේ ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 11 දෙනෙකුට එරෙහිව තහනම් නියෝගයක් ද අද ( ජුලි 28) නිකුත් කළේ ය. ඒ අනුව අද (ජුලි මස 28) සිට හෙට (ජුලි මස 29) පෙරවරු 10.00 දක්වා මෙම නියෝගය බලපැවැත් වේ.

 

 

තරිඳු 3

 

 

මේ අතර මාධ්‍යවේදී කේ.සංජීව මේ පිළිබඳව සිය මුහුණු පොතේ ලිපියක් මගින් තුවාල ලබා සිටින තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදියාව රෝහල්ගත කිරීමට ඉඩ නොදී ම පිටුපස සිටින්නේ කව්රුන්ද යන්න පිළිබඳව චෝදනාවක් කර ඇත.

 

තරිඳු රෝහල් ගතකරන්න ඉඩ නොදෙන්නේ කවුද? - කේ.සංජීව

 

එල්ටීටීඊ ත්‍රස්තවාදයට උදව් කළ, කාලයක් ත්‍රස්තවාදියෙක් විදිහට වැඩ කරපු ටිරාන් අලස් දැන් අම්මටසිරි ලංකාවේ පොලිස් ඇමති. දේශබන්දු තෙන්නකෝන් කියන කුප්‍රකට පොලිස්කාරයා වෙන්ඩ පොලිස්පති. තාම ට්‍රයි එක අතඇරලා නෑ. දැන් මේ දෙන්නා එකතුවෙලා අලුත් සෙල්ලමක් පටන් අරං ඒ තමයි තමන්ට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම. මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර තමයි ඒකේ පළවෙනි බිල්ල. මම කාලෙකට ෆේස්බුක් එකෙන් සමුගත්තත් අද සිරස නිව්ස් බැලුවාම තමයි තරිඳු අත්අඩංගුවට ගන්නවා දැක්කේ.

 

ත්‍රීවීලර් එකක් අස්සේ ඉඳලා කඩාගෙන පැනලා බල්ලෝ වගේ මෙහෙම මාධ්යවේදීන් අත්අඩංගුවට ගන්නේ කොහොමද ?

තරිඳු නීතිවිරෝධී රැස්වීම සාමාජිකයෙක් වුණේ කොහොමද කියලා බොරැල්ලේ පොලීසියේ ඕයිසී කොහොමද කියන්නේ?

 

තරිඳුට හොඳටම ගහලා තියෙන බව ආරංචියි. නීතීඥයෝ තරිඳුව රෝහලට යවන්න කියලා බොරැල්ලේ පොලීසියෙන් ඉල්ලුවත් තවමත් ඒකට අවස්ථාව ලැබිලා නෑ. තරිඳුගේ හිස ප්‍රදේශයට හොඳටම පහරදීලා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. මම මේ ගැන බලන්න ප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට කතාකළාම මනුස්සයා කිව්වේ අයිජී තරිඳුව රෝහල්ගත කරන එකට විරුද්ධ නෑ කියන කාරණය. එහෙත් ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් ඊට විරුද්ධයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. තමන්ව විවේචනය කරන මාධ්‍යවේදීන්ගෙන් සමාජ ක්‍රියාකාරීන්ගෙන් මේ විදිහට තමන් සතු බලය පාවිච්චි කරලා පළිගැනීම් කරන්න ඉඩ දෙන්න පුලුවන් ද?

 

මමත් කාලයක් තිස්සේ මේ පුද්ගලයන් දෙන්නා විවේචනය කරනවා. ඒ හරහා මට පුද්ගලිකව මේවෙනකොට ඇවිත් තිබෙන ප්‍රශ්න ගැන මම දන්නවා. සමහර මගේ මිත්‍රයනුත් දන්නවා. ඒ විදිහට බලනකොට තරිඳුට මේ වෙලා තියෙන දේ ගැන හිතාගන්න අමාරු නෑ. ත්රස්තවදීන් එක්ක ප්‍රජාතන්ත්‍රවාදීව සෙල්ලම් කරනවා කියන්නේ ලේසි නෑ. නීතිය ත්‍රස්තයන් එක්කද ප්‍රජාතන්ත්‍රවාදය එක්කද ඉන්නේ කියලා හෙට බලාගන්න පුලුවන් වෙයි.

ඒ කොහොම වුණත් පොලිස්පතිට කියන්න තියෙන්නේ කොන්ද කෙළින් තියාගෙන තමන්ගේ බලය භාවිතා කරලා තරිඳු රෝහල්ගත කරන්න කටයුතු කරන්න. මාස හයක සේවාදිගුව තවත් මාස හයකින් දිගු කරගන්න කියලා ඔය කොන්ද තවත් නමන්න එපා ඕක ආයේ නිදාගන්නවත් කෙළින් කරගන්න බැරිවෙයි..

 

@BBC පුවත සහ

@ කේ.සංජීව මුහුණුපොත ඇසුරිනි.

නවතම ලිපි