SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නොසිතූ ලෙස දේශපාලන ස්වීප් ඇදුනේ විජේතුංගට ය. ඒ ප්‍රේමදාස ඝාතනයත් සමග ය.

රනිල්ට ඇදුනු සවීප් එක ඊටත් වඩා අභව්‍යය ය. එජාපය බින්දුවට වැටී ගෙදරටවී වසරක් සිටි නිකම්ම රනිල් ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද කොකා පෙන්වා මහ පුටුව ඩැහැගත්තේය.

 

විපක්ෂය දැන් මොන බයිලා කීවද අතට ලැබුණු දේ කටේ දමාගන්නට ඔවුන්ට රනිල් ට මෙන් කොන්දක් හෝ වාසනාවක් තිබුණේ නැත. එදා ප්‍රේමදාස බාරගත්තේ දෙකොන පත්තුවන විලක්කුවකි. රනිල් බාරගත්තේ දෙකොන නොව රටේ හතර මායිමම ගිණිගත් ලෝකය තුළ අනාථවූ රටකි. ඊට දැන් වසරකි.

 

නාකි මයිනා මොළ හතා ගෝතයා හිටං ලෙස කියවුණු ලෙසම සමාජ මාධ්‍යයේ රනිල් ටද නම් පටබැදින. රනිල් රාජපක්ෂ මෙන්ම නාකි රනිලා යයි කීවද එය ගණන්ගතයුතු නැත්තේ ඔහු දැන් වයසින් මුහුකුරා ගිය අයෙකු වන බැවිනි. ඔහු දැනුමෙන් හා බුද්ධියෙන්ද මුහුකුරා ගිය බව සමහරු කියන්නේ නැත. රනිල්ගේ අඩුපාඩුකම් ද කප්පරකි. ඒවා ඔහුට පෙන්වා දෙන අය අඩුය. පෙන්වා දුන්නද ඔහු කරන්නේ ඔහුට හිතෙන දේය. රනිල් වරද්දා ගන්නේ එතනදීය. තමා තරම් හැමදේම දන්නා අයෙකු තවත් නැති බව ඔහු සිතනවාදැයි දන්නේ ඔහුම පමණි.

 

රනිල් ජනපතිවී පංසල් ගියවිට කීවේ මම රට ගොඩගන්නවා කියාය. රාජපක්ෂලා දැන් ඉවර යයි ද ඔහු කීය. ඒවා දැන් ඔප්පුවී තිබේ.දැන් ඇමති මණ්ඩලය තුළ ද එම පවුලේ එකෙකු ගන්නට බෙහෙතකටවත් සොයා නැත. බැසිල් ගේ ඇමති ලැයිස්තු කුණු කූඩයේය. රාජපක්ෂලා ගෙන් කැඩුණු වීරවංශ හා ඩලස් පිළ් වෙනත් දේශපාලනයකය. ලන්සා පිළ හා එකතුවූ 40 කට වැඩි පිරිසක් මෙන්ම විපක්ෂයේ සෙසු පක්ෂ වලින් සැලකිය යුතු පිරිසක් ද රනිල් හා රහස් ඩීල් එකේය.

 

ගෑස් තෙල් කිරිපිටි පෝළිම් දැන් නැත. අහසේ ගෑවෙමන් තිබූ බඩුමිල ද සාපේක්ෂව අඩුවෙමින්ය. පෝර සුලභය. ඩොලරය ට සාපේක්ෂව රුපියල ශක්තිමත්ය. විදේශ ප්‍රේෂන වැඩිපුර රටට එයි. ණය ලනුවක් වුවද IMF වල 17 වැනි වතාවටත් එල්ලෙන්නට අවස්ථාව ලැබී තිබේ. ඒ තුළ සෙසු ලෝක මූල්‍ය ආයතන සහායෙන් ඩො බිලි 24 කට වඩා ලංකාවට ගලා ඒමේ පසුබිම නාකි රනිලා හැදුවේ තනියමය. ඩො මිලි 20 ක හිස් ලාච්චුවක් බාරගත් රනිල් අද එය ඩො මිලි 3000 කින් එනම් ඩො බිලි 03 කින් පුරවා තිබේ. ඇමතිකම් ගන්නට පොහොට්ටුවේ හා විපක්ෂයේ එවුන්ට තිබූ තදියම රට හදන්න තිබුණේ නැත.

 

ආනයන සීමා ලිහිල් කල ද වාහන ඇතුළු ඇතැම් සීමා තවමත් ක්‍රියාත්මකය. දැන් ණය ගෙවන්නේ ද නැත. එහෙයින් අපායේ ඉන්ටවල් විනා තවම රට ආර්ථික ලෙස ප්‍රකෘතිවී නැති බව රනිල් මෙන්ම රටේ අය ද තේරුම් ගැනීම වැදගත්ය. පාත්තරේ රැගෙන රනිල් ලොවපුරා යන්නේ ඒ ගිණියම් බව නිවීමට හිගමන් ඉල්ලා ගන්නටය. ගෙදර බඩු මුට්ටු විකුණා හෝ දරුවන්ට කන්න දෙන තැනට රනිල් වැටී තිබේ. රාජ්‍ය ආයතන කිහිපයකට අඹ සරණ වනුයේ එහෙයිනි.

 

රාපක්ෂලා කවදත් සිටියේ නැව ගිලුනත් බෑන් චූන් තියරියේය. ජනපතිවී වසරක් පිරුණ දා රාජපක්ෂ තියරිය අනුව රට දෙවනත් කරමින් උත්සව කරන්නට තිබුණ ද රනිල් ඒ යෝජනාවට පා පහර දුන්නේය. ඒත් වසරක් පිරුණ දා ඇමතිකම් නැතැයි හොටු පෙරාගෙන අඬන පොහොට්ටුවේ අය හා ගෙවල් වල අයට ඉස්මුරුත්තෙ දාන තරමේ රෑ කෑමක් දෙන්නට රනිල් ගේමක් ගැසුවේය.ඊට රජයේ මුදල් වෙනුවට අනුගුහ ලබා ගන්නට ක්‍රියා කලහ. එහෙත් ඊට සතියකට පෙර ඇමතිකම් නැති අයගේ පවුල් වල 60 කට පත්වීමි හා වාහන සහිත පැකේජයක් දුන් බවට ද පුවතක් වයිරල් විය. ඒ ගැන රනිල් ගේ හරි ප්‍රතිචාරය ලැබීමට මේ සතියේ නොහැකි වූයේ ඉන්දියා ගමනට බෑග් හදන නිසා ගොසිප් කොළමට වෙලාව මදවීම තුළය.

 

තවද රටේ අසරණ රෝගීන් බාල බෙහෙත් හා එන්නත් වලින් මියයන බවට රට ගිණි පත්තුවී හමාරය. හදිසි මිලදී ගැනීම් හරහා කෝටි ගණන් මාටියාපාර ගැහීමට පින පහල වුවද ඉහළ නිලධාරීන් සිව් දෙනෙකුගේ නොමග යැවීම් තුළ ක්ෂ්‍රේත්‍රය නොදත් ඇමති අනාථවී ඇති බවට ද මතවාද පවතී. ගැටලු විසඳීම පසෙක තබා ඔහු රෝගීන්ට මල්ශාලා වල පිහිට ලබාදීමට ක්‍රියා කරන තරම්ය.

 

විපක්ෂය ඇමතිට විශ්වාසභංග ගෙන ඒමට අර අදී. සෞඛ්‍ය ගැටලු ලෙස එළිදකින්නේ දේශපාලන කුමන්ත්‍රණ බව ඇමති කියනුයේ තම තනතුර රට නොමග යවා හෝ බේරා ගැනීමටය.

කැලණි නයාට රැවටුණු මිනිසුන් මෙම නොමග යැවීම් වලට අසුවිය හැකිමුත් කපටි නරියා එවැනි මෝඩයෙකු නොවන බව ඇමති තේරුම්ගත යුතුය. තවද මෙතෙක් සෞඛ්‍ය ඇමතිට හා නිලධාරීන්ට එල්ලවූ ප්‍රහාර දැන් තමා වෙත ඒම ඇරඹී ඇති බව රනිල් ද වහාම තේරුම්ගත යුතුය.

 

ඇමති හා සෞඛ්‍ය නිළධාරීන් කැඳවා පුස් ගෝරනාඩුවක් දමා මීඩියා ගේමක් ප්ලේ කල පමණින් දැඩි සත්කාරයට වැටී ඇති සෞඛ්‍ය ගොඩගත නොහැකි බවත් සවිමත් විකල්ප වැඩ පිළිවෙලක් වහාම අවශ්‍ය බවත් රනිල් තේරුම්ගත යුත්තේ සෞඛ්‍ය යනු ගේම්ගසා අඹරා හෝ කල්මරා විසඳිය හැක්කක් නොව ජීවිත ලක්ෂ ගණනක් සමඟ බැදී තිබෙන අතිශය මානුෂික බැරෑරුම් හා හදිසි ක්‍රියාවලියක් වන බැවිනි. හෝටල්කාරයෙකුට සෞඛ්‍ය බාරදී දොස්තර කෙනෙකුට වැවිලි බාරදී ඇති විද්‍යාත්මක ඇමතිකම් බෙදීමක් ද දැන් ක්‍රියාත්මකය.

 

ජනපති ඉන්දියාවෙන් නෑගම් රැගෙන වහා පැමිණ සෞඛ්‍යට හදිසිි ඔපරේෂන් එකක් සිදු නොකලහොත් ගෝටා කෙළවගත්තේ පෝර වලින් සේම රනිල් කෙලවගත්තේ සෞඛ්‍යයෙන් බව ඉතිහාසයේ ද සටහන් වනු ඒකාන්තය. මන්ද එය පටු දේශපාලනයෙන් බොහෝ එහා ගිය හදවතේ ගැඹුරුම තැනින් එළියට එන ජීවත්වීම හා නොවීම ගැන ගැටලුවක් වන බැවිනි.

@ අශෝක ජයතුංග විසිනි

නවතම ලිපි