SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තම අමාත්‍යාංශය දිගින් දිගටම අර්බූධ රැසක් මතුකරමින් අසමත් වෙද්දි, එම අර්බූධවලට සෘජුවම වගකිවයුතු පරිසරයක් තමාගේ ක්‍රියාකලාපය නිසා නිර්මාණය වී ඇත්නම්

බොහෝ රටවල දේශපාලකයින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සම්ප්‍රධායක් තිබුනද ලංකාවේ වර්තමාන දේශපාලනඥයින්ට එවන් ලැජ්ජාවක් හෝ නොමැති බව කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පෙන්නුම් කෙරේ. කෙහෙලිය අමාත්‍යවරයා පමණක් නොව රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද මේ සිදුවීම්දාමය දෙස නෑසූකන්වලා බලා සිටීමද ආශ්චර්යජනකය.

බාල බෙහෙත් රටට ගෙන ආ ආකාරය, ඒවා ගෙනඒම සඳහා ආයතන සංග්‍රහය සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කළ ආකාරය,නිසි තාක්ෂණික ඇගයීමකින් තොරව ඉදිරිපත් කළ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම, උසාවි තීන්දු ආදී වූ කාරණා පිළිබඳව හොඳින්ම දැනුවත් ජනාධිපතිවරයාගේ මෙම නිහඩබව පිළිබඳ බොහෝ චෝදනා සමාජ මාධ්‍ය මගින් එල්ලවන මොහොතක ජානිපෙ නායක විමල් වීරවංශ කියාසිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉල්ලා අස්විය යුතු බවය.

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ අවධාරණය කළේ අද(13) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, “අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්” මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

උත්තර ලංකා සභාගයේ ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද උත්තර ලංකා සභාගයේ අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මෙහිදී අදහස් දැක්වූහ.

 

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“වත්මන් පාලකයන් ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු බැරෑරුම් පියවර කිසිවක් නොගෙන, සාමාන්‍ය ජනතාව බිල්ලට දෙමින්, සුපුරුදු ගසාකෑම පමණක් සිදු කරගෙන යන බව දැකගත හැකියි. අද වන විට එක පැත්තකින් රෝහල්වල ඖෂධ හිඟයක් තිබෙනවා; අනෙක් පැත්තෙන් තිබෙන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු තිබෙනවා. මෙම තත්ත්වය මොන තරම් බරපතළ ද, සංවේදී ද, යන්නට හොඳම නිදසුන තමයි, උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ තරුණ දියණියක් ඇයට ලබා දුන් ඖෂධයක් හේතුකොටගෙන මරුමුවට පත් වීම.

 

‘පර්යේෂණාගාර මීයන්’

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමකින් තොරව ඖෂධ මිලදී ගැනීම් සිදු කොට ඇත්තේ ‘හදිසි මිලදී ගැනීම්’ හැටියටයි. හදිසි මිලදී ගැනීම් යටතේ බොහෝ ඖෂධ රැගෙනවිත් තිබෙන්නේ ඉන්දියාවෙනුයි. මේ තත්ත්වය හමුවේ අද අපේ රටේ රෝගීන් ‘පර්යේෂණාගාර මීයන්’ බවට පත්ව තිබෙනවා. අද රෝහලට යන එක මෝචරියට යෑමට සමාන වී තිබෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් ‘නිදහස් සෞඛ්‍ය සේවාව’ කියා එකක් නමට තිබුණාට එහි පිහිට පතා ගෙන එන ජනතාවට ඉන් කිසිදු සෙතක් සිදු වන්නේ නැහැ.

 

‘අතයට ගනුදෙණු’

ආර්ථික අර්බුදයක් තිබෙන රටක යා යුත්තේ හදිසි මිලදී ගැනීම්වලට නොවෙයි. පූර්ව වශයෙන් සැලසුම් කරලා, නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ, නිසි ටෙන්ඩර් පටිපාටියක් මත මිලදී ගැනීමයි සිදුවිය යුත්තේ. නමුත් මේ සෞඛ්‍ය බලධාරීන් සිදු කරන්නේ ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ හැරලා, අදාළ ඖෂධය ‘හදිසි මිලදී ගැනීම්’ යටතේ මිලදී ගැනීමට පියවර ගැනීම. විවෘත ටෙන්ඩර් පටිපාටියකින් තොර මෙම හදිසි මිලදී ගැනීම්වලදී අතයට ගනුදෙනු කිරීමට පහසුයි. මේ විදියට ඇතැමුන් ‘ගාණ කපනකොට’ අපේ රටේ රෝගී ජනතාව රෝහල් තුළ මියයන ඉරණමකට ඇද වැටී තිබෙනවා. ‘මේ තරම් පාපී, තුච්ඡ දේශපාලකයන් සහ නිලධාරීන් ලෝකයේ වෙනත් රටවල ඉන්නවා ද?’ කියා අපි නම් දන්නේ නැහැ.

 

කාලකන්නි ඇමතිවරුන් සහ නිලධාරීන් “කපන්නේ” කවදා ද?

මේ විදියට බඩේ අමාරුවකට ඉස්පිරිතාලෙකට ගියපු රෝගී දරුවකු ලබා දුන් එන්නතකින් මියයනවා නම්, බෙහෙත් ගෙන්වූ සහ මිලදී ගැනීම් සිදු කළ කිසිවකු ඒකට වගනොකියනවා නම්, සෞඛ්‍ය ඇමතිවරයාත් ‘බබා’ වගේ ඉන්නවා නම්, මේ රට රටක්ද? පඬු කරඳ ගහ කපන්න නම් කැබිනට් තීරණ ගන්නවා. නමුත් මේ වගේ කාලකන්නි ඇමැතිවරුන් සහ නිලධාරින් කපා දමන්න කැබිනට් තීරණ ගන්නේ කවදාද?

මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව හදිසි මිලදී ගැනීම් අවලංගු කරන්න ඕනේ. කල්තියා සැලසුම් කර ඖෂධ රැගෙන එන්න ඕනේ. අතිරික්තයක් තිබුණොත් ඊළඟ වසරේ පාවිච්චි කරන්න හැකි වෙන්න ඕනේ. එහෙම නැතුව ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට ගසාකන්න ඉඩ දීලා, මෙවැනි තරුණ දරුවන්ට මියයන්න ඉඩ දීලා, තවදුරටත් බලා සිටිය යුතු නැහැ. මේ පාපකර්මයට තවදුරටත් වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ.

 

‘සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්විය යුතුයි!’

මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි. නමුත් ඒ කිසිවකු ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඔවුන්ට මේ ගැන කිසිදු හැඟීමක් නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් කියා.

ආර්ථික අර්බුදයකින් බැට කන රටක, තුන්වේල කාපු ජනතාව දෙවේලකට බැහැලා ඇති රටක, ඒ අසරණ ජනතාව ලෙඩක් දුකක් හැදුණාම රෝහලකට ගියාම අද උරුම වන්නේ මරණය නම්, තවදුරටත් ඒ දෙස උපේක්ෂාසහගතව බලා සිටීම යුක්තිසහගත ද? ‘මේ කාලකන්නි තත්ත්වය වෙනස් කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමු. ඒ සඳහා පෙරට එන්න. ඊට නායකත්වය දීමට අපි සූදානම්.’ කියා උත්තර ලංකා සභාගය ලෙස අපි ජනතාවට කියනවා.”

 

@lankacnews

නවතම ලිපි