SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තා පොලිස්පතිවරියක් යටතේ කටයුතු කිරීමට ඉදිරියේදී පොලිසිය සූදානම් විය යුතු යැයි පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා කියා සිටියි.

පොලිස්පති ධුරය දක්වා කාන්තා පොලිස් නිලධාරිනියන්ට යාම සඳහා අවශ්‍ය පසුබිම දැනටමත් සකස් කර ඇති බවද හෙතෙම පැවසීය.(පුවතක්)

 

සුගලාගේ සටහන

ලංකාවේ ගැහැණු නායකත්වය ගනිපු ඉතිහාසයක් අපිට නැත්තේ නැත. ඒත් ඒ පරදේසක්කාරයො මේ රට අල්ලාගෙන උන්ගෙ ගති සිරිත් මේකෙ පැලපදියම් කරන්නට මත්තෙන් තිබුනු නායකත්ව සිරිත නම් නොවේ ය. තියෙන කතිකාවට යට වෙච්ච ගෑනු පිරිමි කව්රු ඔය තානාන්තර වලට පත් උනත් ඇතිවෙන වෙනසක් නැති බවට නම් ඔිනෑ තරම් උදාහරණ පහුගිය කාලෙ තිබුණේය. සුද්දාගෙන්  නිදහස් උනායැයි පාරම් බාපු නිදහසින් පස්සෙ ලංකාවේ ලෝක වාර්තා තියමින් නායකත්වෙට පත්වුනු ගැහැණුන් සිටියේය. ඒත් රට තුළ කිසිම වෙනසක් සිදු නොවුනේය. ලෝකෙ වෙනත් රටවල් වලට වඩා  ගැහැණිය සම්බන්ධව-ගැහැණු අයිතිවාසිකම් සම්බන්ධව ඇතිකරපු නීති බොහොමයක් තහවුරු කරපු රටක් වෙච්ච ලංකාවේ ඒ නීති රීතිවලින් සත පහකට වැඩක් ගන්නට බැරිවෙලාය. ඒකට හේතුව  අයිතිය හොයාගෙන හැමෝම දුවන්නෙ එකම උවමනාවක් පස්සේය. ඒ අතින් සිදුවෙලා තියෙන්නෙ ගැහැණියගේ ඇත්ත උවමනාවන්, ගැහැණියගේ ඇත්ත ජීවිතය සතු කුඩාම දේ පවා අහිමි කරගෙන තියෙන් කතිකාවේ බලය ඇල්ලීමට උත්සාහ කිරීමය.

අද අපේ රටේ ගැහැණු දරුවන් වදන්නට අකමැතිය. වැදුවත් හදන්නට යෑමේදී පංගු පේරුවය. කිරි ටික දී දරුවාව පෝෂනය කරන්නට  අකමැතිය. එහෙම කරන්නට රැකියාවට යෑම නිසා හැකියාවක් නැත. එහෙමත් නැතිනම් තම පයෝදර ‘ලස්සන’ යැයි සම්මත සමාජයට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යෑමට එය බාදාවක්ය. ඒ නිසා මාස කිහිපයකින් වැඩිම උනොත් අව්රුද්දකින් මව්කිරි නවතා දමා දරුවාට සත්ව කිරි පොවනවාය. සත්තු තවමත් උන්ගේ පැටවුන්ටත් මනුස්ස පැටියාටත් කිරි දෙනවාය. අපි උන්ටත් වඩා පහත් තැනකට ඇද වැටිලාය.

 

ගැහැණියගේ තරගය ඇති වෙලා ය. ඒ තරඟය ඇත්තේ පිරිමියා ඉලක්ක කරගෙනය. පිරිමියා කරන දේ ඌටත් වඩා හොදින් කරන්නට ගැහැණුන්ට උවමනාය. එවිට නායකයෝ බවට ගැහැණුන් පත්වූවා යැයි සමාජයට ඇති වන වෙනසක් නැත.

ලෝකයේම පළවෙනි කාන්තා අගමැතිනිය බිහි උනේ ලංකාවෙනි. පළවෙනි ජනාධිපතිනියත් ලංකාවෙනි. ඒ අය ආණ්ඩු කරපු කාලය අද හුගක් දෙනාට මතකයට නගා ගත හැකිය. ඇතිවුනු වෙනසක් නැත. පළවෙනි විධායක ජනාධිපතිනියව මෙහෙයෙව්වේ වටේම සිටි පිරිමින් ටිකක් ය  යන්න  හැමෝම දන්න කියන කාරණයක්ය. සිරිමාවෝ රටේ වෙනසක් කරන්නට උත්සාහ කළායැයි බොහෝ දෙනා හිතනවාය. එහෙත් ඒ වටේට හිටිය වාමාංශික පිරිමි නිසා ඇතිවුනු තත්ත්වයක් කියා දන්නෝ දනිති. ඉන් පිට  නොදන්නා වෙනසක් ගැහැණු  කොහොම කරන්නද?

 

ඔින්න දැන් පොලිස්පති ගැහැණියක් කරන්න යන කතාවක් රැව් දෙනවාය. ඒකත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවටය. පහුගිය දිනවල හරිනි අමරසිංහ පොලීසියට චෝදනා කලේත් අව්රුදු 156ක් යනකල් පොලීසියේ ලොකු පුටුවකට කාන්තාවකට එන්න අවස්ථාවක් ලැබිලා නැති එකක් ගැනය. ඇය ඉන්නා පක්ෂයේම ගැහැණියට ලැබෙන පුටුව ගැන ඇය හොඳහැටි දන්නවාය. ඒ පුටුව ලැබුනත් කෙරෙන වැඩ ගැන ඇය ඊටත් වඩා හොඳින් දන්නවාය.

 

harini

 

ගැහැණු පත්වුනා නොවුනා තනතුරු ගැහැණියගේ අවශ්‍යතාවයක් නොවේය. ගැහැණියට අතිමහත් ජීවයක් පාලනය කළ හැකි බලය ලැබී ඇත්තේ මේ සියවසේදී නොවේය. එය මානවයාගේ ආරම්භයේ සිට ලැබුනු තානාන්තරයකි. ඒ තානාන්තරයට අනෙකුන්ට තිබුණේ මහත් ගිජුකමකි. බයකි. ගූඪ අදහසකි. එය හෙළිදරව් කරගන්නට උවමනාවෙන් අළුත් පන්නයේ විද්‍යා කතා බිහි වුනේය. ඒ කතා අස්සේ ඒ ගැහැණියව මරා ඔවුන්ට උවමනා ආකාරයෙන් පාලනය කළ හැකි ගැහැණු සත්වයෙක් උත්පාදනය කළේය. ඒ සත්වයා දැන් අයිතිවාසිකම් ඉල්ලමින් ඒ සඳහා රණ්ඩු කරමින් වඩා හොඳින් මේ ඇත්ත ගැහැණියව මරා උපන් ගැහැණියගේ පැවැත්ම ආරක්ෂා කරනවාය. ඒ වෙනුවෙන් සටන් කරන්නටත් විද්‍යා කතාකාර ගැහැණුන් පිරිසක් වෙර දරනවා ය.

 

මේ වගේ කතා කියනවාට මේ සමාජ කතාවේ නිර්මාණ කරුවන් තරහය. වැඩියෙන්ම බයය. යළිත් ගැහැණිය තම උරුමයට ලංවනවාට උන් අකමැතිය.

 

හෙටානිද්දාට ලංකාවේ පළවෙනි පොලිස්පතිනිය බිහිවෙනු ඇත. පළවෙනි අගමැතිනිය, පළවෙනි ජනාධිපතිනිය වගේම ඒකත්  මේ අයිතිවාසිකම් පොතට ඇතුලත් වෙනු ඇතිය. ඒත් සුගලා ටක්කෙටම කියනවාය, ඉන් ඇතිවෙන අල්ප වෙනසක් හෝ නැති ය. තියෙන තත්වය පෙරටත් වඩා හොඳින්, ඊටත් වඩා දූෂිතව කරකැවෙනු ඇති ය.

 

@sugalagae satahana

නවතම ලිපි