SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවාසීයො කොටසක් ඊයෙ  IMF ණය ලැබීමේ සන්තෝසෙ සැමරුවා.

 තවත් කොටසක්  පහුගිය වාරවල ලංකාව ජාත්‍යන්තරයෙන් ණය ගත්තට ඒව ඒ ඇත්තො කියපු විදිහට කොරපු නැති හින්ද ගනිපුණය කාල විනාස කොරල ණය බර වැඩි කොරගත්ත විතරයි කියල මුහුණු පොතේ ලිව්ව.

ඒක එහෙම උනේ ඒ කාලෙ ණය දෙද්දි අයිඑම්එෆ් ඇත්තො දීපු නිර්දේස, කොන්දේසි මග ඇරලා හිතූ මනාපෙට වියදම් කොල නිසයි කියලනේ කීවේ.

දැන් ඉතිං මේ ආණ්ඩුවට ඉහටත් උඩින් ආර්ථිකය ගැන කතාකොරන විද්‍යාඥයො, මහාචාර්යවරු ඉන්නව නොවැ?

මේ වතාවෙ නං ගොයියො වැරැද්දුවොත් අර චින්තන ළමය ගැලෙව්ව වගේ ජංගි පොඩිය ගලවොල තමයි දුවන්න වෙන්නෙ.

 

අපේ රටට මේ නස්පැත්තිය උනේ මොකද කියල වැඩියෙ ඔින නැහැ දශකයක් දෙකක් විතර එහාට දුවල ගියොත් තේරේවි මේ රටට පෑහෙන්නෙ නැති සංවර්ධනයක් කොරන්න ගිහින් ණය අරගෙන කොරපු විකාර නේද කියලා.

ඒ විතරැක්යැ... බිම අතුපතුගාන කොස්සෙ, ඉදලෙ ඉඳල පිටරටින්ම ගෙන්වන්න පටන් ගත්ත නොවැ. තණකොල තියෙන මේ රටේ පස්පිඩැල්ල හදාගන්නෙ නැතිව පොළොවට බරක් වෙච්චි ප්ලාස්ටික තණකොල පවා චීනෙන් එහෙන් මෙහෙන් ගෙන්නුවා නොවැ?

රටේ තේ පොල් රබර් කුරුඳු ටික පිටරට යවල හොයන ඩොලර් කාසියි, අපේ ගෑනු ටික රට රාජ්ජවල ගෙවල් දොරවල්වල දාසකම් කරල උපයල එවන ඩොලර් ටිකයි එක්කාසු කරල තේරුමක් නැති පරිභෝජන භාණ්ඩ වලටයි සංවර්ධනේට ගනිපු ණය වලටයි හිලව් කොරල නොවැ මේ මහමගට වැටුනේ.

 

දැන් ඉන්න උන්දැලවත් මේව දැනුම්වත් වෙලා වැඩකොරනව ඇතියි කියල තමයි රුහුණේ සුගල වෙච්ච මම හිතුවෙ. ඒ කාලෙ ලක්දිව හිටපු හතුරන්ට වගේම පරදේසක්කාරයොන්ටවත් ඔලුව නවන්නෙ නැතුව රුහුණ පාලනය කොරද්දි මට තිබුනු අත්දැකීම්වත් මේ රට රාජ්ජවලින් ඉගෙන ගෙන ආපු උන්දැලට නැති හැටි හැබෑටම ඉතිං.

 

ඔන්න මේ රුහුණෙන්ම කවුන්සිලේට ගියපු කන්චන කොලුවට ඔිනයැ කියල අද කියනවා ඉන්ධන මිළ ලොකු ගාණනකින් පහල දමන්න.  ලෝක වෙළඳපොලේ බොර තෙල් පහල ගියපු හින්ද මිල සූත්තරේට අනුව මෙහෙත් පහල දමන්න ඔිනෙය කියලනෙ කියන්නෙ. ඒක  සාධාරණයි කියමුකො. දැන් ඉන්ධන ගෙන්වන්න මාසෙකට ඩොලර් මිලියන 800ක් ඔිනය කියන එකේ, දැනටත් ඉන්ධන ගෙන්වන්නෙ පාඩු පිටයැ කිය කියා මේ අල්ල පනල්ලෙ ඔික අඩු කොරන්න මොකක්ද තියෙන හදිස්සිය කියල මොලේ කලඳක් පාවිච්චි කොරන ඔින කෙනෙක්ට තේරෙන්න එපායැ?

මිනිස්සුන්ට දැන් ඔින වෙලා තියෙන්නෙ තෙල් පුච්ච පුච්ච ගමන් බිමන් යන්නම නෙවෙයි තුන් වේල කාල බීල හම්බ කොරන දෙයින් ජීවත්වෙන්න කියලනෙ සමහර ඇත්තො කියන්නෙ. තෙල් වල ගනං අඩුකරපු ගමන් කට්ටියොම පාරට වාහන ටික හලල තෙල් පුච්ච පුච්ච ගමන් කොරන්න ගත්තම පාඩු පිට දෙන ඉන්ධනේටම ඔය ගනිපු ණය තුරහ ගෙවිලම යයි කියල හිතෙන්නෙ නැද්ද හැබෑට?

අනෙක් කාරණේ මේ රටට හෙන පතය බෑවිච්ච අනික් කාරණේ තමයි කොමිස් ගහන්නම බලාගෙන කොරපු සංවර්ධන වැඩ.

ඔන්න ණය සල්ලි ටික ලැබුන විතරයි ජනාධිපති ගොබිල කියල තියෙනවා කුඩා පරිමාණෙ  කොන්තරාත්කරුවොන්ට  රජයෙන් ගෙවන්න තියෙන හිග සල්ලි සිංහල අළුත් අව්රුද්දට කලින් ගෙවා දමන්න කියල.

ඒ ගමන ඔන්න ඇමෙරිකන් ඩොලර් මිලියන පන්දහස් පන්සීයක විතර නවත්වපු සංවර්ධන වැඩ පටන් ගන්නලු යන්නෙ.

ඔය ඉදිකිරීම් සමාගමේ සුසන්ත ලියනආරච්චි ලොකු උන්නැහේනම් කියනව කියන්නෙ ඒකෙන් හුගක් මිනිස්සුන්ට අත මිට සාර වෙනව කියල. ඒක ඉතිං අපි නොදන්න කාරණයක්යැ?

ඔය වගේ පොඩි කොන්තරාත්කාරයො පාලනය උනේ ප්‍රාදේසීය සභාවල සභාපතිවරු යටතේ නොවැ. ඒ ඇත්තො නොවැ පාලකයින්ට ඔින කරන ඡන්ද හදල දෙන එකයි කොමිස් ගහන එකයි දෙකම කොලේ. බැසිල් ලොකු උන්නැහේ ගේ ලොකුම හයිය නොවැ ඔය ප්‍රාදේසීය සභාවල හිටපු නඩේ.

ඉතිං ජනාධිපති ගොබිල මුලින්ම ණයක් තුරහක් වෙලා හරි කළගුණ සලකල ගන්න හදන්නෙ ඡන්දෙ ගොඩදාගන්න හයිය අරන් දෙන්න කියල කව්දෑ අනේ නොදන්නෙ?

දැන් ඉතිං රටම රතුපාට වෙච්චි සිතියමත් පාට අඩුවෙලා යයි කියලයි ලොකු ලොකු ඇත්තන්ගේ තියෙන විදිහෙ දැනුමක් නැති, ඒත් අත්දැකීමෙන් ඒ ඇත්තන්ට වඩා යමක් තේරෙන සුගලට තේරෙන්නෙ. ඒක කරන්න තමයි මහ ගොබිල කිසිම උසාවියක නඩුකරන උන්නැහෙල කියන කිසිම දෙයක් තඹේකට මායිම් නොකර ඔන්නොය ජාතියන්තරේ ණය ලැබෙනකල්ම බලාගෙන උන්නෙ.

එහෙනං ඉතිං අප්‍රියෙල් සිංහල අව්රුද්දෙන් පස්සෙන් පහුවෙලා ඡන්දෙයකටත් යන්න පටන් ගනීවි. අර වැසියොන්ගෙ ඡන්ද රැල්ල කන බොන එක ඇතුලෙමයි තීරණය වෙන්නෙ කියල බලාගන්නත් පුළුවන් නොවැ එදාට.

ඔන්න ලක්දිවේ මෝඩ වැසියොන්ට තමුන්ගෙ මෝඩකම් ආයෙත් පෙන්නන්න කදිම මොහොතක් ආයෙත් එන්නයි යන්නෙ.

 

@රුහුණේ සුගලා    

නවතම ලිපි