SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසූ පුවතක් පිළිබඳව aruna.lk වෙබ් අඩවිය අනාවරණය කර ඇත.

එම වෙබ් අඩිවිය පවසන ආකාරයට, සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2022 වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 28.6කි. මෙම වසරේ මුල් මාස දෙකේදී එම ආදායම රුපියල් බිලියන 25.1 දක්වා අඩුවී තිබේ.

එයට මූලික හේතු වශයෙන් දක්වා ඇත්තේ මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට මත්පැන් මත අය කරන බද්ද 20% කින් ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යෑමෙන් පරිභෝජනය අඩුවී ඇති බවයි.

මේ නිසා නීත්‍යනුකූල මත්පැන් අලෙවිය පහත වැටීමෙන් සුරාබදු ආදායම අඩුවී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අදහස වී ඇත.

සුරා බදු 4

 

එහෙත් මේ පිළිබඳව කර ඇති විශ්ලේෂනයන්ට අනුව නම් කියැවෙන්නේ රජයට ආදායම් ලැබෙන සුරාබදු ආදායම් පහත වැටී ඇත්තේ පරිභෝජනයේ අඩුවක් පමණක් නිසාම නොවන බවකි. ඒ අනුව කරුණු කිහිපයක් මේ සඳහා බලපා ඇති බවයි මේ පිළිබඳ කරුණු දක්වන්නන් ගේ අදහස වී ඇත්තේ.

1.මත්පැන් මත අය කරන බද්ද නිසා පරිභෝජනය අඩුවීම.

2.බියර් සඳහා අයකරන බද්ද අනෙකුත් සුරාබදු වලට සාපේක්ෂව අඩුවීම නිසා බියර් අලෙවිය වැඩි වීම.

3.කොවිඩ් සමය තුළ නිවෙස්ගතව තම අවශ්‍යතාවය සරිලන තරමේ නිෂ්පාදනයන් සිදුකර ගැනීමට පාර්භෝගිකයන් පෙළැඹීම.

4.ආදායම් බද්දට හසුනොවන ලෙස හොර අරක්කු මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම.

 

සුරා බදු 6

කළුතරින් ඇල්ලූ විශාලතම හොර අරක්කු තිප්පොළ - අයිතිකරු පොහොට්ටු හෙංචයියෙක්ද? (සිළුමිණ)

 

මෙම කරුණු වලින් වැඩිම ප්‍රවනතාවයක් සහ රජයට විශාල පාඩුවක් සිදුවී ඇත්තේ, හොර පාරෙන් ගෙනෙන එතනෝල් යොදා ගනිමින් හොර අරක්කු නිෂ්පාදන කිරීම වන අතර, ඒ තුළින් රජයට වසරකට අහිමි වන බදු ආධායම අති විශාල ප්‍රතිශතයක් බවට පත්ව තිබීමයි. හොරපාරෙන් එතනෝල් ගෙන්වන්නේ කව්රුන් ද යන්නත් ඊට සහාය දෙන දේශපාලනඥයෝ කව්ද යන්නත් මේ වනවිට විවිධ පාර්ශ්වයන් හරහා හෙළිදරව් කෙරෙමින් පවතී.

 

සුරා බදු 7

 

හොර අරක්කු නිෂ්පාදනයට මත්පැන් ලැයිසන් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් රජයට බදු ගෙවිය යුතු නැත. නිෂ්පාදන පිරිවැය එකසමාන වුවත් බදු ගෙවීමට හසු නොවන නිසා වැඩි ආදායමක් ඉපයිය හැකිය. ප්‍රමිතිය හෝ අන් සීමාවන් අදාළ වන්නේ ද නැත. පසුගිය කාලය තුළ මාධ්‍ය වාර්තා මගින් හෙළිදරව් කළ පරිදි මත්පැන් බෝතලය මත අලවන ස්ටිකරයද හොරට මුද්‍රණය කරගත හැක. නැතහොත් හොර පාරෙන් එය ලබාගත හැකිය. වයින් ස්ටෝර්ස් අල්ලාගෙන වෙළඳාම කරගෙන යා හැකිය.

 

සුරා බදු 5

 

මේ සියල්ලෙන්ම සිදුවන්නේ මත්පැන් පරිභෝජනය අඩුවීම නොව රජයට අයවිය යුතු බදු ආදායම අහිමි වීම බව සුරාබදු දෙපාර්තමේන්තුවට හසු වන්නේද නැත. නැතහොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම හොර මත්පැන් අලෙවියට ඉඩකඩ සලසා ඇත.

 

වඩා හැඟවුම්කරණීය කාරණය වන්නේ හොර එතනෝල් කාරයින්ට, කරුංකා තොග හොර පාරෙන් මැලේසියාවට යවන්නටත් පෙර කන්ටේනර්  දහයකට දොළහකට පෙර මුදල් ලබාගත් ජාවාරම්කරුවන්ට, රාජ්‍ය ආදායම පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනැගීමයි. ඔවුන්ගේ මේ ජාවාරම් ජාල උතුරු නැගෙනහිර දක්වා විහිදී යද්දි, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක්ගෙ ආරක්ෂාව, සහයෝගය ද ඊට ලැබෙන බව මාධ්‍ය ලෝකය හරහා  මේ වනවිට වරින්වර හෙළිදරව් කර ඇත. එය දැන් ප්‍රසිද්ධ රහසකි.

 

(මේ ජාවාරම්කරුවන් ලංකාවේ හොරු අල්ලන්නට ඉදිරිපත්ව ඇති දේශපාලන පක්ෂවල ආරම්භක නායකයින් පිළිබඳ චිත්‍රපටි නිෂ්පාදනයට පවා ඉදිරිපත්ව මුදල් යොදවා ඇත්තේ සෑම පැත්තකින්ම තම හොර ජාවාරම්කාර ව්‍යාපාරය සුරක්ෂිත කරගන්නට බවද මේ වනවිට මාධ්‍ය ලෝකයට රහසක් නොවේ. ඉදිරියේදී අප ඒවා ඉතා සාක්ෂි සහගතව හෙළිකරන්නට බලාපොරොත්තු වන්නෙමු.)

 

සුරා බදු 2

 

ලංකාවේ බදු ආදායමෙන් විශාල කොටසක් ආවරණය කෙරෙන සුරාබදු ආදායම අඩුවන්නට බලපෑ තවත් හේතුවක් ලෙස රජයට බදු පැහැර හැරි චූදිතයෙක් බවට පත් මෙන්ඩිස් සමාගම හරහාද සිදුව ඇති බව අප පහුගිය කාලය පුරාම මාධ්‍ය මගින් හෙළිදරව් කර ඇත. එහෙත් දිගින් දිගටම සිදුව ඇත්තේ බිලියන 25කටත් අධිකව ණය ගෙවීමට සිදුව ඇති එම සමාගමට ලංකා ඉතිහාසයේ කිසිම සමාගමකට නොදෙන තරම් සහනයන් තවමත් ලැබෙමින් පැවතීමයි.

 

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගැනීම් වැනි සොච්චම් මුදලක් වෙනුවෙන් වියලි කලාපයේ කාන්තාවන්ට සියදිවි නසා ගැනීමට පෙළඹීම දක්වා කිසිදු සහනයක් ලබානොදෙන රජය, මේ ආකාරයෙන් අසීමිත ණය ප්‍රමාණයක් රාජ්‍ය බැංකු කිහිපයකින් ම ලබාගනිමින් ඒවා නොගෙවන පසුබිමකත් එවන් සමාගම්වලට විශාල සහනයක් ලබාදෙමින් ක්‍රියාකිරීම පසුපස ඇත්තේ කුමන බලවේගයන් ද? ඒ අනුව මෙවැනි බදුනොගෙවා හොර ජාවාරම් කරන්නන්ට ලැබෙන අනුග්‍රහයන් කවර පාර්ශ්වයන්ගෙන් ලැබෙන්නේ ද යන්න ගැනත් සැකයක් ඇතිවන්නේ නැත. ඒ නිසා රාජ්‍ය බදුවලට පොල්ල තබමින් ආදායම් උපයන මෙන්ඩිස්ලා සහ එතනෝල් ජාවාරම්කරුවන්ගේ සටකපට ක්‍රියාදාමයේ වෙනසක් ද නැත.

 

සුරා බදු 3

සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කියැවෙන සුරංගනා කතාව රගදක්වන්නේ වෙනමම ජවනිකාවකි. මෙම වසරේදී රුපියල් බිලියන 217ක සුරාබදු ආදායම් ඉලක්කයක් රජය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත්, එම ඉලක්කය සපුරාලීම ගැටලුවක් බව සුරාබදු නිලධාරීහු පවසයි. එසේම, අදාළ ඉල්ලක්කය සපුරාගැනීමට උත්සාහා ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළ ද මෙම හොර අරක්කු ජාවාරම් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙන්වන්නේද නැත. එක්කෝ ඒවාට ඔවුන්ගේ යම් යම් සම්බන්ධතා ඇතිවා වන්නට පිළිවන. නැතහොත් ඔවුන්ට ඒවා අදාළ නොවනවා වන්නට හැක.

මේ අතර සුපුරුදු ගායනාව කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වාර්තා වලට අනුව ලංකාවේ නීති විරෝධී මත්පැන් 300% කින් වැඩිවී ඇති බවයි. එසේ ඔහු ප්‍රකාශ කළ ද  නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය නැවතීමේ ක්‍රියාමාර්ග ගැන ඔහු ද සැලසුමක් ඉදිරිපත් කරන්නේ නැත.

කෙසේ වෙතත්, සුරා බද්ද රුපියල් දෙදහසකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව හා මත්පැන් නිෂ්පාදකයින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. එවිට සුරාබදු ආදායම තවත් පහත බසිනු ඇත.

නවතම ලිපි