SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හොඳටම අනාගත් මේ මොහොතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වේ.

ඖෂධ හිගයෙන් වගේම ශල්‍යාගාර පහසුකම් අවම වීම නිසා ශල්‍යකර්ම පවා අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙස වර්ගකළ සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගෙ අසමත්කම ඉදිරියේ වෛද්‍යවරුන්ද මේ ආකාරයට වර්ජනයන් වලට එළැඹීම නිසා පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට තරම් වත්කමක් නැති සාමාන්‍ය පුරවැසියන් තව තවත් ජීවිත අවදානමකට ලක්වනු ඇත.

 

මේ සම්බන්ධව ආණ්ඩුවට, සෞඛ්‍ය අමාත්‍යවරයාට හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ටත්, නිළධාරීන්ටත් වගේ වගක් නැති වන්නේ කුමක් නිසාද?

සඳුදා සිට ආරම්භ කරන අඛණ්ඩ වැජ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් එවා ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

ජන පීඩක බදු සංශෝධන වලට එරෙහි ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභාවේ තීරණ.

වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින් තිබෙන ජන පීඩක සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය  ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයක් ගොඩනැගීමේ මූලික අඩිතාලම බවට පත්ව ඇත.

අර්බුදයන් කළමනාකරණය කිරීම සඳහා වෘත්තීයවේදීන් සහ විද්වතුන් වඩාත් වැඩියෙන් දායක කරගත යුතු මොහොතක, මෙවන් ප්‍රතිපත්ති හේතුවෙන් සිදුව ඇත්තේ වෘත්තීයවේදීන් සහ සේවා නියුක්තිකයින් නොසන්සුන්තාවයට සහ ඉච්ඡාභංගත්වයට පත්වීම හරහා බුද්ධි ගලනය වේගවත් වීමයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙසත්, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙසත් පසුගිය මාස ගණනාවක් පුරා මෙම ගැටලුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම් සහ විරෝධතා සිදු කළ ද ආණ්ඩුව ඒ කෙරෙහි කිසිදු සවන්දීමක් හෝ නම්‍යශීලීතාවයක් නොදැක්වීම අවාසනාවන්ත කරුණකි. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හරහා වෘත්තීයවේදීන් සහ සේවා නියුක්තිකයින්  දැඩි වෘත්තිය සමිති සහ වර්ජන ක්‍රියාදාමයකට යොමු වීම වැළැක්විය නොහැකි වනු ඇති බව අප දිගින් දිගටම අවධාරණය කර ඇත.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ තවත් වෘත්තීය සමිති  ගණනාවක් මේ වනවිට අරඹා ඇති වැඩවර්ජන සහ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාව එළැඹෙන සතියේදී වඩා වේගවත් සහ තීව්‍ර වනු ඇත.

එම වෘත්තිය සමිති ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා 10 දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පහත තීරණ වලට එළඹෙන ලදී.

  • අසාධාරණ බදු සංශෝධන වලට එරෙහිව ඒකාබද්ධ වර්ජන ක්‍රියාමාර්ග සඳහා පූර්ණ සහයෝගය ලබා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද එළඹෙන මාර්තු මස 13 වන සදුදා දින සිට ආරම්භ වන පරිදි වෘත්තීය සමිති සහ වැඩවර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙනු ඇත.
  • 13 වන සදුදා දින උදෑසන 8.00 සිට බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු යන පලාත් 4 හි සියලුම රෝහල් වල වැඩවර්ජන ක්‍රියාමාර්ග ආරම්භ වේ.
  • 14 වන අඟහරුවාදා දින උදෑසන 8.00 සිට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පලාත් 5 හි සියලුම රෝහල් මෙම වැඩවර්ජන ක්‍රියාවලියට සම්බන්ධ වේ.
  • 15 වන බදාදා දින සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් රට පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි ආරම්භ වේ.
  • මෙම ගැටලුව සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි රජයේ ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 15 වන බදාදා දිනයේදි තීරණය කර ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මෙම වර්ජන කාල සීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා කිසිසේත් සීමා කිරීමක් සිදු නොවන අතර හදිසි සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ලබනු ඇත.

එමෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක දි සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව ළමා රෝහල්, මාතෘ රෝහල්, පිලිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකයන්හි මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.

වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදීන්ගේ සාධාරණ ඉල්ලීම් කෙරෙහි නම්‍යශිලී නොවිමේ රජයේ පිළිවෙත හේතුවෙන් දියත් කරන මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග හරහා ජනතාවට ඇතිවන සියලු පිඩාවන්ගේ වගකීම රජය සහ බලධාරීන් භාරගත යුතුය.

එබැවින් දැන්වත් ජනතාවගේ ජීවිත සහ රටේ අනාගතය ගැන සිතා නිවැරදි තීරණවලට එළඹීම පාලකයින්ගේ වගකීමයි.

වෛද්‍ය හරිත අලුත්ගේ
ලේකම්

නවතම ලිපි