SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලුත් ලෝකයක් ගොඩනැගීම සඳහා පෙරට එන්නැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධාන රටේ සියලුම කාන්තාවන්ට ආරාධණා කරති.

බත්තරමුල්ල පැලවත්ත හි පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානය මේ බව පැවසූ අතර එම මාධ්‍ය හමුව සඳහා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ විධායක සභික රිෂානා ෂිමා, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික දමයන්ති බාසූරිය යන අය සහභාගී වී සිටි අතර ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

 

කුස්සියේ සටන මහපාරේ සටනක් කර ගනිමු
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ

 

“2023 මාර්තු 08 කාන්තා දිනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් අපි, මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කළා. මේ අවස්ථාවේ අපේ රටේ කාන්තාවන්ට මොන වගේ තත්වයක්ද උදාවෙලා තිබෙන්නේ, අපේ කාන්තාවන් මොකක්ද කළ යුත්තේ, වගේම කාන්තාවන්ගේ වගකීම කුමක්ද පිළිබඳව කතා කළ යුතුව තිබෙනවා. අපි සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරනවා ජන අයිතිය වෙනුවෙන් නැගිටින්න; සංවිධානය වෙන්න; සටන් කරන්න. රටේ සමස්ත ජනතාවම බදු බරින් පීඩාවට පත්වෙලා, තමන්ගේ දරු පැටවු එක්ක අම්මට තාත්තට වහ බොන්න සිදුවෙලා, ගඟේ පනින්න සිදුවෙලා තිබෙනවා. මේ නායකයෝ අපේ ආර්ථිකය ගෙනැවිත් තිබෙන්නේ මෙවැනි තැනකට. මේ බදු බර උසුලන්නේ කවුද? මේ බදු බර ඇවිත් තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කර පිටට. වක්‍ර බදු ලෙස 80%ක් ආණ්ඩුව සොයා ගන්නෙ අපට බදු ගහලා. කුස්සියට, පවුල් ඒකකවලට බදු ගහලා. අපේ කන බොන දේවල්වලට බදු ගහලා. අපේ අම්මට ඒ බදු බර දරාගන්න බැහැ. ටීචර්ට, සාමාන්‍ය කන්තාවන්ට, වතුකරයේ ඉන්න කාන්තාවන්ට ඒ බදු බර දරාගන්න බැහැ. ආණ්ඩුවේ බබා පාට් දාන නායකයන්ට මේ දේ තේරෙන්නේ නැහැ. වසර තුනක් තුළ රටේ ජනතාවගේ ආදායම වැඩි වුණේ නැහැ. ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ, ජනතාවගේ අයිතිවාසිකම්, වරප්‍රසාද, පඩිවැඩි කිරීම්, දීමනා මේ සියල්ල කප්පාදු කර තිබෙන බව. අද වන විට වැටුපටත් බදු ගහන තත්වයක් උදාවෙලා. සමාජ ආරක්ෂණ බද්ද 2.5% දක්වා වැඩි කළා. වැට් එක 8% 12% කළා. 12%, 15% කළා. භාණ්ඩ ආනයනය කරද්දිත් බද්දක් ගැහුවා. නිෂ්පාදනය කරද්දිත්, බෙදාහැරීමේදීත්, වෙළඳාමේදීත් බද්දක් ගැහුවා. අන්තිමට මොකද වුණේ. රුපියල් 1000/-ට තිබුණු පාසල් බෑග් එක රු.4000/-, රු.5000/-, රු.6000/-වුණා. මේ බර අවසානයේදී අම්මගෙත්, දරුවගේ පිටමතට වැටුණා.

බදු බරින් පීඩාවට පත්වුණු මේ ජනතාවට අද කරන්ට් වද්දලා තිබෙනවා. පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලය කිවුවා නොපියවූ විදුලි බිල් රුපියල් කෝටි 200ක් තිබෙන බව. මේ රුපියල් කෝටි 200 තුළ ඉන්නේ දේශපාලනඥයින් හා මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. මේ නොගෙවූ මුදල බොල් ණය බවට පත්කොට තිබෙනවා. ඒ කියන්නේ ඒ බිල කිසිදිනෙක අය නොකර ගන්නා බව. ඒ අයගේ බිල් බොල් ණය ලෙස සැලකුවත්, සාමාන්‍ය ජනතාව මත 52.5%ක බිල වැඩිකර තිබෙනවා. ඒක අපිට දැනෙන්නේ අපේ විදුලි බිල වෙනදාට වඩා වැඩිවෙලා ලැබෙනකොට. සුළු ව්‍යාපාරයක් කරන, කඩයක් කරන, ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයන් සියල්ලන්ගේම ව්‍යාපාර කඩා වැටිලා. ඇඳුමක් මහගන්න, තේ කඩයක් කරගන්න, සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන්ට හෝටලයක් කර ගන්න, ටියුෂන් පංතියක් පවත්වාගෙන යන්න, පෙර පාසලක් පවත්වාගෙන යන්න බැරිවෙලා තිබෙනවා. මේ විදුලි බිල වැඩිවීමෙන් ජනතාව ඉමහත් පීඩාවට පත්වෙලා. රනිල් මහත්තයාගේ අලුත් බදු වර්ගවලින් පීඩාවට පත්වුණේ අසරණ දෙමාපියන්. ඒ නිසාම පාසල් උපකරණ මිලත් වැඩිවෙලා තිබෙනවා.

අපිට අහන්න ලැබුණා රුපියල ශක්තිමත් වෙලා කියලා. නමුත් හාල් කිලෝ එකේ මිල අඩුවෙලා නැහැ. පොල් ගෙඩිය රු:100/- සිට රු:150/-ක් වෙලා තිබෙනවා. දරුවගේ කෑම පෙට්ටිය, වතුර බෝතලේ මිල, බිත්තරේ මිල, මාළු කෑල්ලේ මිල, හැල්මැස්සෝ අඩුවෙලා නැහැ. මේ ශක්තිමත් වූ රුපියල නිසා අඩු වූ බඩු මිලක් හෝ ජනතාවට දැනෙන සහනයක් ලැබී නැහැ. රනිල් වික්‍රමසිංහ මේ මවාපාන්නේ නැවතත් ඇමති මණ්ඩලය පැටව් දාන්නද කියන සැකය අපට මතුවෙනවා. රටේ නිෂ්පාදන ආර්ථිකයක්, සැලසුම්ගත ආර්ථිකයක්, ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ජනතාවාදී ආර්ථිකයක් නොවෙයි මේ තිබෙන්නේ. මේ අයගේ ආර්ථිකය ණය ආර්ථිකයක් හා හොරකම් කරන ආර්ථිකයක්.

මේ ආර්ථිකය තුළත් 2023දි රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා ආදායමක් ලෙස රුපියල් බිලියන 3456ක්. අපට වියදම ලෙස දරන්න වෙලා තිබෙනවා රුපියල් බිලියන 7879ක්. මේ රජයේ වියදම් සඳහා අපට හිඟ මුදල සම්පූර්ණ කර ගැනීමට ණයක් ලබාගත යුතු වෙනවා. ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වන්නේ නැහැ. ආනයන තහනමක් දමා තිබෙනවා. මේ නිසාම කෘත්‍රිමව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ ආනයන තහනම මත ආණ්ඩුව මුදල් ඉතිරිකර ගැනීමට උත්සාහ දරනවා. මේ මුදල් ඉතිරි කර ගැනීමට දරන උතත්සාහයේ හා ණය මුදලක් ගැනීමේ හේතුවෙන් ආණ්ඩුව මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ දරනවා. ආණ්ඩුව වියදමට වඩා ආදායමේ යම් වෙනසක් පෙන්වන්න උත්සාහ දරමින් ඉන්නවා. ලෝක බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 400ක මුදලක් ලැබී තිබෙනවා. බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඇමෙරිකන් ඩොලර් 200ක මුදල ගෙවන්න සිදුවෙලා තිබෙනවා. තත්වය මෙසේ තිබියදී, ලෝක බැංකුවෙන් ලද ණය මුදල සම්බන්ධයෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අපි ස්ථාවර යැයි කියමින් උදම් අනනවා. අපේ රටට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.5ක් ලැබෙන්නේත් ඇඟලුම් ක්ෂේත්‍රයෙන්. නමුත් මේ විදුලි බිල වැඩිකිරීම නිසා ඇඟලුම් ක්ෂේත්‍රය දවසින් දවස කඩාවැටෙමින් තිබෙනවා. ඒ නිසා රටට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලැබෙන බිලියන 5.5ක මුදල සොයාගැනීමට නොහැකි තත්වයක් උදාවෙලා තිබෙනවා.

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා ඔබට සිදුවී තිබෙන්නේ ඔබගේ නොහැකියාව පෙන්වන්න. වසර ගණනාවක් ඇමතිකම්, අගමැතිකම් දැරුවා. අද ජනාධිපතිකම දරනවා. අපේ රටේ ජනතාවට හෙට දවස ගැන බලාපොරොත්තු තැබිය හැකි ආර්ථික වැඩපිළවෙළක් මේ දක්වාත් පෙන්නුම් කර නැහැ. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවාට පාඩම් කරන්න විදුලිබලය දුන්නේ නැති, කුස්සියේ බදුබර වැඩිකර, කාන්තාව පීඩාවෙන් පීඩාවට පත් කළ ජනාධිපතිවරයෙක් මේ ඉන්නේ. දෙමාපියන්, සිසු දරුවන්, ගුරුවරුන් විභාගය අවසන් වෙන තෙක් විදුලිය ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ඇහුම්කන් නොදුන් විදුලි ඇමති, ජනාධිපති විභාගය අවසන් වු දිනයේම බිල වැඩිකොට, පසුදා සිට විදුලිය නොකපා ලබාදීමට කටයුතු කළා. කුස්සියේ කාන්තාවගෙන් පළි ගන්නවා වගේම හෙට දවසේ තරුණයෙක්, තරුණියක් ලෙස සමාජයට පා තබන සිසු දරුවාගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක විදුලිය ලබා නොදී සිටීමට තරම් දරුණු වුණා.

පීඩාවට පත් ජනතාව මේ රට වෙනස් කරන්න ඕනෙයි කියන තීරණයක සිටියා. ව්‍යවස්ථානුකූලව හිමි ඡන්දය නියමිත දින නොපවැත්වීමට කටයුතු කරන මොහොතේ ජනතාව තමන් ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා පාරට බහිද්දී ඒ අයිතියත් උදුරා ගැනීමට කටයුතු කළා. කඳුළු ගැස් ගැහැව්වා, ප්‍රහාර එල්ල කළා. ජීවිතයක් බිලි ගත්තා. සෑම අතකින්ම පීඩාවට පත් ජනතාවට අවශ්‍යව තිබුණේ තමන්ට ජීවිතය ලබාදෙන, තමන් ගැන සොයා බලන ආණ්ඩුවක් පත් කර ගන්න. අපි කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා අපට ඕනෙ රටක් නම්, අපිට ඕනෙ අනාගතයක් නම්, මේ එළඹෙන මාර්තු 08දා දිනයේදී ඔබ පාරට එන්න, උද්ඝෝෂණයට සූදානම් වෙන්න, දරුවන්ට අලුත් ලෝකයක් ගොඩනඟා දෙන්න, කුස්සියේ සටන මහපාරේ සටනක් කර ගනිමු. ආණ්ඩුව පළවා හරින්න, ජනතාවගේ පොදු අයිතිය වෙනුවෙන් සටන් කරමු. ඉතිහාසයේ ක්ලාරා සෙට්කින් සමාජවාදී නායිකාව දෙවන ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ජාත්‍යන්තර දිනයක් හඳුන්වා දුන්නා. ක්ලාරා සෙට්කින් කාන්තාවන්ගේ දිනය මාර්තු 08 ලෙස ස්ථාපිත කළේ ‘ඔබගේ අයිතිය උදෙසා ඔබ සටන් කළ යුතුයි’ යන අරමුණෙන්. මාර්තු 08 ඔබගේ දිනයයි. ඔබගේ පීඩාව, වේදනාව හඬගා කිව හැකි දිනයයි. සමස්ත ජනතාවගේම පීඩාව වෙනුවෙන් හඬ නඟන්න, අනාගත දරු පරපුර වෙනුවෙන් හඬ නඟන්න, ඔබගේ ආර්ථික, සමාජයීය නිදහස ලබාගැනීම වෙනුවෙන් හඬ නඟන්න, සටන් කරන්න, පෙරට එන්න. අලුත් ලෝකයක් ගොඩනැගීම සඳහා පෙරට එන්න.”

 

තමන්ව සුරක්ෂා කරන පාලනයක් පත්කිරීමට කාන්තාවට අයිතිය තිබිය යුතුයි
අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ විධායක සභික රිෂානා ෂිමා

 

“අපේ රටේ කාන්තාවගේ අයිතීන් කොතරම් දුරට සුරැකී තිබෙනවාද යන්න සොයා බැලුවොත් රූපවාහිනියේ තොරතෝංචියක් නැතිව කියන දෙයක් තමයි පාස්පෝට් නැත්නම් එන්න, ඔබට රට යන්න පහසුකම් අපි හදා දෙන්නම්. මේ කියන්නේ උසස්ම රැකියාව කරන්න නොවෙයි. මේ කතා කරන්නේ ඔයාලට. රැකියාවක් නැත්නම් ලොකු මුදලකට, ඉක්මනට යවන්නම්. මේ උත්සාහ ගන්නේ කාගේ හෝ ගෙදරකට වහල් මෙහෙයට යවන්න. අපේ කාන්තාවන්ට ඒ කියන දේට රැවටෙන්න සිදුවෙලා තිබෙනවා. තමන්ගේ දරුවන්, දෙමාපියන් දාලා මේ යන්නේ ඇයි? පරපීඩක මේ ආණ්ඩුව විසින් කාන්තාව මත පටවලා තිබෙන මේ බදුබර, එදිනෙදා කටයුතු කරගෙන යමට නොහැකිව ලතවෙන කාන්තාවට මේ බැලමෙහෙවරකම තෝරා ගන්න සිදුවෙනවා.

කාන්තාව තම කුටුම්භය සුරකිනවා වගේම රටේ ආර්ථිකය ගොඩනගන්නත් දායක වෙනවා. ඒ කාන්තාව තමන්ගේ පවුල අතහැර විදෙස්ගත වෙලා, කිසියම් හෝ මුදලක් එවනවා නම්, ඒකත් මේ පාලක පංතිය විසින් සූරා කනවා. තම රටේ සිටියත් විදෙස්ගත වෙලාවත් කාන්තාවට සැනසීමක් නැහැ. හැම පැත්තකින්ම එකතුවෙලා, වටකරලා කාන්තාවගේ අයිතීන් යටපත් කරලා, හපයක් බවට පත්කරලා, සූරාකන එකට අපි විරුද්ධ වෙන්න ඕනෑ. කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍යය, සුරක්ෂිතතාවය, රැකදීම ආණ්ඩුවේ වගකිමක්.

බංග්ලාදේශය පාලනය කරන්නේ කාන්තාවක්. ඒ රටේ කාන්තාවන් බැලමෙහෙවරකම් සඳහා විදෙස්ගත කිරීම තහනම් කොට තිබෙනවා. ඒ රජය ඒ කාන්තාව සුරක්ෂිත කරනවා. අපේ පාලකයන්ට අපි බල කර සිටිනවා. තවදුරටත් ඇයව ඇය වහලියක් ලෙස නොසලකා කටයුතු කරන ලෙසට. ඒ වගේම පාලකයන්ගේ මේ පීඩාවට එරෙහිවීමට තිබෙන අවස්ථාව, අසාධාරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තිබෙන එකම අවස්ථාව වන ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇයට ලබාදෙන ලෙස. ඇයව සුරක්ෂා කරන ආණ්ඩුවක් බලයට පත්කිරීමට අයිතිය ඇයට තිබිය යුතුයි. අපි කාන්තාවන්ට ප්‍රකාශ කරනවා, ඔබ වෙනුවෙන් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය’ පෙනී ඉන්නවා. ඒ සඳහා කාන්තාවන් වන අපි සංවිධානාත්මකව එකතු වෙලා, සටන් කරමු.”

 

කාන්තාවන්ට ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් සටනක් තිබෙනවා
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

 

“එළඹෙන මාර්තු 08 කාන්තා දිනය සමරන මොහොතේ ලංකාව තුළ ආර්ථික සාධාරණත්වය ලබාගැනීමේ සටනක් තිබෙනවා. ඒ වගේම ස්ත්‍රී, පුරුෂ සමාජභාවයේ සමානතාවය, වෘත්තීය අයිතිවාසිකම් ලබාගැනීම, මානව නිදහස ලබාගැනීම සඳහා වූ සටනක් අපේ රට තුළ තිබෙනවා. මෙවන් මොහොතක කාන්තාවන්ට බඩගින්න වෙනුවෙන් පාරට බහින්න තත්වයක් ඇතිවී තිබෙනවා. අපේ සමාජය මීට වඩා උසස් මට්ටමකට යාමට කාන්තාවන්ගේ ජීවන මට්ටම ඉහළට ඔසවා තැබිය යුතුයි. ගෝලීය තත්වයක් තුළ විශ්වීය කාන්තාවක් බවට පත්වෙන්න, ලාංකීය කාන්තාවට තිබෙන අවස්ථාවන් පිළිබඳ සාකච්ඡාවක් තිබිය යුතුයි. නමුත් එයින් බැහැරවෙලා, අපට සිදුවෙලා තිබෙනවා ආණ්ඩුවේ ඉන්න පාලකයන් සමග හැප්පෙමින් මහජනයා සූරාකන මේ ආර්ථිකය, දරු පැටවුන්ගේ බඩගින්න වැනි පෞද්ගලික කාරණා සඳහා සටන් කරන්න. අප රටක් හැටියට ඉන්නේ ඉතාමත් පහළ මට්ටමක බව, මේ අනුව පෙනෙනවා.

විශ්වීය කාන්තාවක් ගොඩනඟන්න නම්, කාන්තාවන්ගේ අධ්‍යාපන අවස්ථා, සෞඛ්‍ය, ප්‍රජා පහසුකම්, ජීවන මට්ටම, චින්තන ධාරිතාව දියුණු මට්ටමකට ගේන්න අවශ්‍යයි. ඒ සඳහා පළමුවෙන්ම කළ යුතු දෙය තමයි ආර්ථික සාධාරණත්වය ඇති කර ගැනීම සඳහා සටන් කිරීම. ලංකාවේ මේ මොහොතේ තිබෙන අර්බුදය තමයි කුටුම්භයක ජීවත්වෙන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය ආණ්ඩුව විසින් සූරාකෑම. තම දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, හොඳ පරිභෝජන රටාවට අවශ්‍ය මුදල් පවුලක් තුළ එය කළමනාකරණය කර ගැනීමට අවස්ථාව නොදී, බදු ලෙස, ගාස්තු ලෙස මේ ආණ්ඩුව විසින් සූරාකමින් තිබෙනවා. මාසික වැටුප් ලබන පවුලක්, කුලියෙන් ජීවත්වෙන පවුලක්, විදුලි බිල, ජල බිල, ප්‍රවාහන ගාස්තු සඳහා වියදම් කරලා, බැංකු ණය වාරික ගෙවා අවසන් වුනාට පසුව පවුලේ බඩගින්න නිවන්නේ කොහොමද? දරුවන්ට උගන්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය තුළ හිරවෙනවා. මේකෙන් වැඩිම පීඩාවට පත්වෙන්නේ අපේ කාන්තාවනුයි. ලංකාවේ 70%ක් ඊළඟ ආහාර වේල උයාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ ඉන්නවා. 40%කට වැඩි පිරිසක් පෝෂණය ගැන නොසලකා හැර තිබෙනවා. කුමන හෝ ප්‍රමාණවත් නොවන කෑමකින් බඩගින්න නිවාගන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ රටේ හොඳට කාලා බීලා ඉන්නේ වංචනික දේශපාලනඥයෝ විතරයි. ඒ නිසා මේ දේශපාලනික වළල්ල ආරක්ෂා කරන්න මේ රටේ කාන්තා වන අපට කිසිසේත් වුවමනාවක් නැහැ. මේ තරම් අගාධයකට රට හෙළා දැමූ දූෂිත, වංචනික දේශපාලනඥයන් පළවා හැරීමේ සියලු වැඩසටහන් සඳහා කාන්තාවන් නොපසුබටව පාරට බහිනවා කියන එක අපි කියනවා.

මේ ආණ්ඩුව ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට, තම ජීවිතය ගෙනි යන්න බැරි තැනට පත්කර තිබෙනවා. එවැනි ආණ්ඩුවක් පළවා හැරීමේ අවශ්‍යතාවය ජනතාව තේරුම් ගෙන සිටිනවා. ආණ්ඩුව පළවා හැරීමට හැකි අවස්ථාව තමයි ඡන්දය. ඡන්දයෙන් තමන් ප්‍රතික්ෂේප වන බව තේරුම් ගෙන තිබෙන ආණ්ඩුව ඡන්දය කල්දමමින් ඉන්නවා. ජනමතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහුරලා තිබෙනවා. ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ පරිවර්තනයකට ඉඩ නොදෙනවා නම්, ඒ අදාළ විසඳුම සොයා ගැනීම සඳහා පාරට බහිනවා. එය ආණ්ඩුවට යහපත් නොවන බව අපි දන්නවා. මේ ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් බවට පත් නොකර, ජනතාවට ඡන්ද අවස්ථාව ලබාදෙන්න.

ආණ්ඩුව ආර්ථිකයේ ප්‍රසාරණයක් ඇති බවට ප්‍රවෘත්ති වාර්තා විජ්ජා පෙන්වන්න පටන්ගෙන තිබෙනවා. ආර්ථිකයේ ප්‍රසාරණයක් තිබේ නම්, භාණ්ඩ මිල අඩුකර, ජනතාවට එය ලැබෙන්න ඕනෙ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල, අතශ්‍යවශ්‍ය භාණ්ඩ වන ගෑස්, විදුලි බිල, තෙල් මිල, පොහොර මිල, අඩු කරන්න ඕනෙ. අත්‍යවශ්‍ය ඖෂධ ලබාදෙන්න ඕනෙ. 300%කින් වැඩිවී තිබෙන පාසල් උපකරණවල මිල අඩුකර ආර්ථික වර්ධනයේ ඵල ජනතාවට ලබාදිය යුතුයි. ආණ්ඩුවේ මේ ආර්ථික ප්‍රසාරණය ප්‍රෝඩාවක්.

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය හැටියට අපි මේ රටට කාන්තා ප්‍රඥප්තියක් තිබිය යුතු බව අපි යෝජනා කරනවා. ලංකාවේ කාන්තාවන්ගේ නීතිමය සුරක්ෂිතභාවය, මානව නිදහස, සමාජීය ආරක්ෂණය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය, වෘත්තීමය අයිතිවාසිකම් යන සියල්ල සම්බන්ධව ස්ත්‍රී ප්‍රඥප්තියක අවශ්‍යතාවය ලංකාවට තිබෙනවා. ප්‍රධානකොටම මේ අවස්ථාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නත්, විස්තීරණ ස්ත්‍රී ප්‍රඥප්තියක් මගින් නිදහස් හා විශ්වීය කාන්තාවකගේ ජීවිතය ලබාදීමේ අරගලයක් වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තා සංවිධානය ලංකාවේ කාන්තාවන්ට නායකත්වය දෙනවා. එළඹෙන මාර්තු 08වෙනිදා උදේ 10.00ට කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනවා. එහි අරමුණ පවතින බදු බර, භාණ්ඩ මිල, විදුලිබිලට එරෙහිවීම, ඡන්ද අයිතිය, නිදහස් හා සාධාරණ මැතිවරණය අවශ්‍යතාවය, ජනතාවගේ දේශපාලන කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ආණ්ඩුව දැනුවත් කිරීම. ලංකාව පුරා ඉන්න අපේ කාන්තාවන්ට, සමාජ ක්‍රියාකාරිනීන්ට, විවිධ වෘත්තීන්වල නියැලෙන කාන්තාවන් දැනුවත් කරමින් මේ දැවැන්ත උද්ඝෝෂණය ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

 

@Lankatruth

නවතම ලිපි