SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෑත ඉතිහාසයේ තරම් අර්බූධයට සහ අවධානමකට පත්වූ අවස්ථාවක් නැති තරම්ය.

පසුගියදා සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල්දමන බවයි. මෙහිදී වෛද්‍ය ක්ෂේත්‍රයේ වාත්තීය සමිති විසින් කියන ලද්දේ කිසිදු ශල්‍යකර්මයක් අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්මයක් යැයි වර්ගීකරණයක් කළ නොහැකි බවත් එය කෙහෙලිය ඇමතිවරයාගේ වර්ගීකරණයක් බවත් ය.

 

ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෙහෙලිය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය පසුගිය කාලය තුළ යොමු කර ඇත්තේ ඖෂධ හිගය අර්බූධමය අවස්ථාව තෙක් පවත්වාගෙන ගොස් නිසි ටෙන්ඩර් පරිපාටියෙන් තොරව ඖෂධ මිළදීගැනීමක් සඳහා බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් විවිධ ලෙස චෝදනා කර තිබුනි.

 

එමෙන්ම එසේ මිළදී ගන්නා ඖෂධ අධික මිළට මෙරට රෝගීන්ට මිළට ගැනීමට සැලැස්වීම පිළිබඳව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පසුගියදා යූටුයුබ් නාලිකාවක් සමග ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුනි.

 

ඒ අනුව, ඉන්දියාවෙන් ආනයනය කරන කාබොප්ලැටීන් නැමැති ඖෂධය ලංකාවේ රුපියල් 14,000ත් 18,000ත් අතර මිලකට වෙළඳපොලේ විකුණන අතර ඉන්දියාවේ එහි මිල ලංකාවේ මුදලින් රුපියල් 5,000ත් 5,500ත් අතර මිලක් වන බව වෛද්‍යවරයා අනාවරණය කළේය.

තවද, අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් මිල දී ගත් නිර්වින්දනය කිරීම සඳහා ගන්නා ඖෂධයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් 100ක් වන නමුත් එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 480කට බවත් හිරි වැට්ටීම සඳහා භාවිතා කරන ඖෂධයේ වටිනාකම රුපියල් 97ක් වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිල දී ගෙන ඇත්තේ රුපියල් 2,500කට බවත් ඔහු අවධාරණය කළේය.

 

ඒ අනුව ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම තුළින් මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව පවසන මානව හිමිකම් කොමිසන් සභාව ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අද නොතීසි නිකුත් කර ඇත.

 

රට තුළ ඖෂධ හිඟය නිර්මාණය සහ ඖෂධ මිල ඉහළ යාමට සැලැස්වීම  පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් කඩවීමක් යයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමට අනුව ඖෂධ හිඟ ඖෂධ මිල ඉහළ යාම මානව හිමිකම් කඩවීමක් යයි තීරණය කොට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළේය.

 

ඒ අනුව රටක ඖෂධ හිඟය  හා ඖෂධ මිල ඉහළ යාම මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව මගින් පිළිගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කොට ඇත.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා පැවසූයේ මෙය සමස්ත ශ්‍රී ලංකාවාසී ම ලද විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර අත්තනෝමතික ලෙස කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියා කලාපයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙරට මනුෂ්‍ය ජීවිත සාපරාධී ලෙස ඝාතනය ලක් වීමට කිසිසේත් ඉඩ තැබීමට තම වෘත්තීය සමිති සන්ධානය සූදානම් නොමැති බවයි.

 

මාස ගණනාවක් තිස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා මෙම දූෂිත අක්‍රමිකතා සහිත ක්‍රියා පරිපාටිය ඉදිරියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නෑසූ කන්ව සිටින්නේ මෙරට පුරවැසියාගේ ජීවිතය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා වශයෙන් කිසිදු තීරණයක් නොගනිමිනි. එසේ වුවත් රටේ ආර්ථිකය සහ ජාත්‍යන්තරයේ පිලිගැනීමට ලක්වන රටක් ලෙස ඔසවා තැබීම තම පරම අභිලාශය ලෙස කතන්දර නම් දිනපතා නිකුත් කරනු ලැබ ඇත.

 

යුද්ධයකදී පවා සතුරාගේ ප්‍රහාර එල්ලවන විට ප්‍රතිප්‍රහාරකයා පළායන්නේ තනිවම නොව එකී ජනතාවද සමගිනි. මන්ද ජනයා නොමැතිව ලබන යුධ ජයග්‍රහණයකින් ඇති ප්‍රතිඵලයක් නොමැති බැවිනි.

 

එනයින්, රටේ පුරවැසියා ගේ ජීවිත දිනපතා ආහාර හිගයෙන්, ජීවන බරින්, ඖෂධ හිගයෙන්, රෝහල් පද්ධතිය අර්බූධයට යෑමෙන් විනාශවන්නේ නම්, අහිමි වන්නේ නම්, පුරවැසියන් මියගිය විනාශයට පත්වූ රටක කුමන අභිමානයක්ද යන්න රනිල් ජනාධිපතිවරයාට හෝ වර්තමාන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ට, නිළධාරීන්ට නොවැටහී යෑම රටේම අභාග්‍යයකි.

නවතම ලිපි