SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියූ ‘කොලපාට සමාජය’ දේශපාලන රචනාවේ අදිසි කතුවරයා ප්‍රගීත් එක්නැළිගොඩ බව දන්නේ ඔහුගේ සමීප මිත්‍රයන් සමූහයක් පමණි.

ප්‍රගීත්ට තරුණ වියේ වාමාශිකයෙක් [ජවිපේ හා නවසමසමාජ පක්ෂ] වූවත් ඔහු වියපත් වෙද්දී ලංකාවේ ‘සමාජවාදය’ ඇති කිරීමට පෙර ධනේෂ්වර සංවර්ධනය සිදුවිය යුතු බව විශ්වාස කළේය. න්‍යායික එම ආස්ථානයට ඒමට හේතු නිරන්තරයෙන්ම පැහැදිලි කළේය. ඔහු විශ්වාස කළේ 1956 බලය පැමිණි බණ්ඩාරනායක [ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී] ඇරඹු ජනසතුව ලංකාවේ ධනපති පංතියක් නිර්මානයවීම අහෝසිකර දැමූ බවකි. එයට ප්‍රධානම උදාහරණය ඔහු ඉදිරිපත් කළේ බස් ජනසතුව ඇසුරෙන්‍ ය.

 

පුද්ගලික ව්‍යවසායකයන් අතරට ප්‍රාග්ධනය සංකේන්ද්රණය වීම මේ ක්‍රියාවලියෙන් විනාශ වූ බව ප්‍රගීත් උදාහරණ සහිතව කීවේය. ඔහු විශ්වාස කළේ ලංකාවේ ධනේෂ්වර සංවර්ධන අනාගතයේ සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් කියාය. 1988/89 කාලයේ ‘බටලන්ද වධකාරය’ හා රනිල්ගේ පාතාල දේශපාලනයේ ඉතිහාසය ප්‍රති තර්කයක් හැටියට ඉදිරිපත් වු පසු ඔහු එයට කීවේ “රනිල් මොන්ටිසෝරියේ දී කළ දේශපාලනය” අමතක කළ යුතු බවයි.

 

එහෙත් 2010 ජනාධිපතිවරනයේ දි එනම් හරියටම මිට අවුරුදු 13 කට පෙර අද වගේ දිනක ඔහු පැහැර ගන්නේ මේ මතයේ සිට රනිල් හයර් එකට ගත් ජොකියා ලවා චන්ද අශ්වයා දිනවීමට උත්සාහ ගත් අවසාන දිනයේ දිය.

බස් ජනසතුව [1958 ජනවාරි] ආවේ පුද්ගලික බස් සමාගම් අද මෙන් එදත් මැරයන් හා පාදඩයන් යොදාගෙන මගීන් ප්‍රාණ ඇපයට ගෙන සිටි නිසාය. එය මහජන ඉල්ලිමක් හැටියට පැමිණියේය. අනෙක් අතට පසු කාලීනව පැමිණි අපනයන ව්‍යාපාරිකයන් පසුගිය වසර 5 තුල ඩෝලර් බිලියන 5ක් විදේශවල තබා ඇති බව අපි දැන් දනිමු. මේ කෙටි ලියවිල්ලේ අරමුණ එය නොවේ.

ප්‍රගීත් පැහැරගෙන වසර 5කට පසු එනම් 2015 අවුරුද්දේ රනිල් අගමැති වී පිහිට වූ ආන්ඩුව ප්‍රගීත්ගේ ඝාතකයන් සෙවීම ඇරඹුවේය. එහෙත් නඩු විභාගයේ අවසානයක් එකල සිදු නොවිය.

 

එහි අවසාන ජවනිකාව වුයේ ප්‍රගීත් ඝාතකයන්ට නියෝග සැපයූ රාජපක්ෂ ආන්ඩුවේ ගැලවුම්කරුවා හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවීම පමණි. ඉතිහාසයක හැටි...!

 

ප්‍රගීත් කලක් එජාපයේ ‘සියරට’ පත්තරේ කතුවරයා විය. එම පක්ෂයට නව දේශපාලන මතවාද හා වැඩසටහන් සම්පාදනය කිරීමේ නායකයා විය. ඔහු පැහැරගෙන ගොස් රටේ හමුදා කඳවුරක දී [මිනේරිය] දසවධදී මරා දැමූ බවට සාක්ෂි ඉදිරිපත් විය.

දැන් ප්‍රගීත්ගේ සිහින නායකයා රටේ ජනාධිපතිවී සිටින්නේය. ඔහුගේ මතවාද පොතක් හැටියට ලියූ චන්ද්රප්‍රේම, රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ජීනිවා නුවර සිටින මානව හිමිකම් තානාපතිවරයාය. සන්ධ්‍යා [එක්නැළිගොඩ] තවමත් තම සහකරු ඝාතනයට යුක්තිය සොයමින් සිටින්නීය. අපි තවමත් මේ දේශපාලන නාඩගම් නිහඬවම නරඹමින් සිටිමු.

@නන්දන වීරරත්න ගේ මුහුණුපොතෙනි.

24/01/2023

නවතම ලිපි