SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආචාර්ය නන්දලාල්

මීළඟ ජනපතිවරණයට

ග්‍රීසියේ හිටපු මුදල් ඇමති  IMF සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය නිසා ආණ්ඩුව ඇතුලේ ලොකු කලබලයක් වුණා. ඇතුලේ විතරක් නෙමෙයි එළියෙත් ඒ ගැන සෑහෙන කතිකාවතක් ඇති වුණා. හිටපු මුදල් ඇමති යානිස් වරුෆාකිස් කිව්වේ IMF දෙන ආර්ථික opinion වලින් රටවල් නන්නත්තාර වෙච්ච බවයි.

"වගකීම් විරහිත ණයකරුවකු සිටින්නේ කොහෙද, වගකීම් විරහිත ණය දෙන්නෙකු ද සිටිනවා"

ඒක තමයි වරුෆාකිස් කළ ප්‍රකාශය. ඒක ලංකාවටම ගැලපෙන ප්‍රකාශයක්.ඔහු මේ සංවාදයේදී කියනවා 1998 දී දකුණු කොරියාව, 2010-2018 දක්වා ග්‍රීසිය බංකොලොත් වූ තත්ත්වය තුළ IMF උදව් පැතූ නමුත් ඔවුන් දුන් ආර්ථික උපාය මාර්ගවලින් සාර්ථකත්වය ළඟා කරගන්න බැරි වුණා කියලා. ලංකාව කියන්නේ වගකීම් විරහිත ණය කරුවෙක්. එහෙම කෙනෙකුට ආවොත් ආවා ගියොත් ගියා පන්නයේ ණය හිමියෙක් මුණගැසුණාම මොකද වෙන්නේ.

සංවර්ධන උපාය බිංදුවයි

ලංකාවට  සංවර්ධන උපාය මාර්ගයක් නැහැ. තියෙන්නේ බදු ගැහිල්ලක්. මේ බදු ගැහිල්ල, කරන්නේ මොනවා කරලා හරි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් හදාගන්න.එහෙම කරන්න කියලා IMF රනිල්ට කිව්වා.

ඒ බදු කෙළියේදී ජනතාව හොඳටම හෙම්බත් වෙලා. IMF ඒ උපාය මාර්ගය වුණත් ඔවුන්ගේ ඔපීනියන් කොච්චර අසාර්ථක ද කියලා පෙන්නවනවා. ඊට පස්සේ ලාභ ලබන නොලබන ආයතන වර්ග දෙකම ප්‍රතිව්‍යූහගත කරන්න කියලා දෙන උපාය මාර්ගය කොහොමද? එතකොට වරුෆාකිස් කියපු එක ඇත්තක් කියලා හිතෙනවා නේද?

කොරේ පිටට මරේ

දැන් විදුලි බිල 70% කින් වැඩි කරන්න කැබිනට් මණ්ඩලය යෝජනාවක් පාස් කරගෙන. දේශපාලඥයන් අසූ තුන්දෙනෙක් තමතමන්ගේ නිල නිවාසවල විදුලි බිල ගෙවලා නැති බව විදුලි වෘත්තීය සමිති කියනවා. අසූ තුන් දෙනෙක් සමග සමස්තයක් ලෙස විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු මුදල රුපියල් කෝටි පන්දාහක්. දේශපාලකයෝ හතර දෙනකුගේ නම් විදුලි වෘත්තීය සමිති නායකයකු වන රංජන් ජයලාල් හෙළිදරව් කරා. harin fernando, රංජිත් සියඹලාපිටිය, රාජිත සේනාරත්න වගේ වර්තමාන පාර්ලිමේන්තු මැති ඇමතිවරු එතන ඉන්නවා. මියගිය පෙප්ටස් පෙරේරා තවත් කෙනෙක්. රංජන් ජයලාල් කියන පරිදි ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ විදුලි බිල එක්කෝටි විසි අට ලක්ෂයක්. මාස දෙකකට පෙර ඔහු ලක්ෂ අසූවක් ගෙව්වා. තව ලක්ෂ 48 ගෙවන්න තියෙනවා. ඒක නොගෙවා ඉන්නවා. රටට ජනතාවට කරන්න ආපු අය ඇයි විදුලි බිල මෙච්චර එකතු වෙනකන් ඉන්නේ. මෙච්චර කල් ඉන්න ඉඩ දුන්නු එකක් වැරදියි. නවීන් දිසානායකගෙ විදුලි බිල එක්ලක්ෂ පන්දහසයි. ඒක නොගෙවා ඉන්නකොට ලයිට් කපන්න ගිය විදුලි බලමණ්ඩලයේ සේවකයන් දෙන්නෙක්ව නවීන බෙල්ලෙන් අල්ලලා එළියට දානවා. ජනාධිපති මොකද මේ ගෝලයෝ ගැන කියන්නේ. mahendran තරම් රටට ලොකු අවුලක් නවීන් කරලා නෑ තමයි. ඒත් විදුලි බිල විෂයෙහි අප ඉන්න තැන අනුව තත්ත්වය බරපතලයි. දැන් 70% කින් බිල වැඩි කරලා ජනතාවට කෙලවන්න යන්නේ මෙවැනි තත්ත්වයක් තුළයි.

නන්දලාල් ඔන්ද වේ

පසුගිය සතියට පෙර සතියේ ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ කියනවා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මීළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙනවා කියලා. ඒක ටිකක් ඇවිලිලා ගියා. ඒත් හුඟක් අය කිව්වේ ආශුට පයිත්තියන්, මේ වගේ මිනිස්සු කොහොමද මහාචාර්යවරු උනේ කියලයි.ඒ කිව්වත් වගේ ආශූ ගිය සතියේ දවසක කියනවා මං කිව්වේ බොරුවක් වෙරි සොරි කියලා.රනිලුත් මේ ගැන පොඩි අදහසක් දක්වලා තිබුණා.

මේ කතාබහට සමාන්තරව ආර්ථිකය ගොඩගැනීම පිළිබඳ වැඩිම ජනතා විශ්වාසයක් තිබෙන පුද්ගලයා කවුද කියලා කරපු සමීක්ෂණයකින් 56% කගේ විශ්වාසය ආචාර්ය නන්දලාල් දිනාගෙන තිබුණා. රනිල්ට විශ්වාසය පළ කරලා තිබුණේ සියයට 44% යි.

ඇත්තටම ජනාධිපතිවරණයකට ගිහින් ඔය වගේ ප්‍රතිඵලයක් එන්නත් බැරි නෑ. කොහොම වුණත් රනිල් සහ නන්දලාල් අතර සීතල යුද්ධයක් තියනවා. යුද්ධයේ කොටසක් හැටියට ආශූ මාරසිංහ පොදු අපේක්ෂක කතාවක් පත්තු කළා වෙන්නත් පුළුවන් දැන්මම බ්ලාස් කරලා දාන්න හිතාගෙන. හැබැයි මේක වර්ණපාල තියරිය වගේ වැඩ කරන්නත් පුළුවන්. වර්ණපාල නැමැති රට හොඳින් අඳුනන මහත්මයෙක් විශ්වවිද්‍යාලයට යන කාලේ කෙල්ලක් යාලු කරගන්න දාපු උප්පරවැට්ටියක් තමයි පසු කාලෙකදී වර්ණපාල තියරිය කියලා ප්‍රසිද්ධ වුණේ. වර්ණපාල කියන තරුණයා කෙල්ල ඉන්න තැනට ගිහින් එයාට නොපෙනෙන්න ඉඳගෙන "හා හා අපි දන්නවා හොරේ ඔයා වර්ණපාල එක්ක යාළුයි නේද"  කියලා අහනවා. ඕක ඇහිලා ඇහිලා ඇත්තටම කෙල්ල වර්ණපාල මහත්මයා එක්ක යාලු වුණා. ඉතින් පොදු අපේක්ෂක කතාව නන්දලාල් ම පැතිරෙව්වද නැත්නම් ආශු ගහන්න ගිය ගැටයක් අනිත් පැත්තට පෙරලුනා ද කියන්න බැහැ. කමක් නැහැ ඉතින් නන්දලාල් සුදුසුයි කියලා හිතනවා නම් ජනතාව ඒ තීරණය ගත්තුදෙන්.

නල්ල නේරම්

රනිල් වික්‍රමසිංහ රාජාසන කතාවේදීත් කිව්වා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඕනේ කියලා. පහුගිය 26වැනිදා දෙමළ දේශපාලන පක්ෂ සම්බන්ධන් ගේ ගෙදරට එකතු වෙලා මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. උතුරු නැගෙනහිර ඉඩම් අත්පත් කර ගැනීම වැලැක්වීම හා ඒවා මුල් අයිතිකරුවන්ට දීමත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීමක්. ඊළඟට පෙඩරල් ක්‍රමයට බලය බෙදන්න ඕනේ කියන එක. අනතුරුව පළාත් සභා  ඡන්දය පැවැත්වීම. මේ තුනම කළයුතු හා කළ හැකි දේවල්. ඊට පස්සේ ජාතික ගැටළුව ගැන වර්තමාන ජනාධිපති එක්ක සාකච්ඡාවක් කරන්නත් ඔවුන් ගිවිසගෙන තියෙනවා. මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මේක තමයි හොඳම වෙලාව. කොහොම වුණත් රනිල් බලය බෙදීම දේශපාලන මතයක් හැටියට පිළිගන්නවා. පිළිගන්න කෙනෙක් එක්ක තමයි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න ඕනේ.

ඇඟිලි කැපුවෙ රනිල්

හාමුදුරුවරුන්ට බට්ටෝ කියලා, අරගල කලොත් හමුදාව එවනවා කියලා, මට ඕනේ නම් හිට්ලර් වෙන්න පුළුවන් කියලා පහුගිය සතිය ආරම්භයේදීම ජනාධිපති නෑවා. ඊට පස්සේ දවසේ ඇඟ පිසදාගන්න බැලුවා. මොකක් කියලද දන්නවද. අංගුලිමාල සිවුරක් ඇඳගෙන බුදුන්ට කරදර කරන්න ආවා කියලා. හැමෝම හිතුවේ ලොකු තැනට මාර පටලැවිල්ලක් වුණා කියලා. නැහැ රනිල් අපිව පටලවන්න ඒක කිව්වේ.

ඔය අංගුලිමාල කතාව නිසා හාමුදුරුවරුන්ට බට්ටො කියලා විරුද්ධව නැගෙන්න ගිය හඬ යටපත් වුණා. හිට්ලර් කතාවත් යට ගියා. අරගල මර්දනය කරන කතාවක් මැකී ගියා. එහෙම බලනකොට රනිල් හිට්ලර් මරලා අංගුලිමාලට පණ දුන්නා. මෙතෙක් කල් අංගුලිමාලනෙ ඇඟිලි කැපුවෙ. මේ පාර රනිල්,තමන්  අංගුලිමාලගෙත් ඇඟිලි කපන්න පුළුවන් කකුලක් කියලා පෙන්නුවා.

හැබැයි ඉතින් මේ සෙල්ලම් සේරම දාන්නෙ ජනතාව ගඟේ යවන්න. මේවා ගැන ලියන එකත් ගඟේ යාමක්.ඒත් කරන්න දෙයක් නෑ. දැනගෙන ගඟේ ටිකක් දුර ගිහින් හැරිල එන්න. හැබැයි  ආපහු එන්න. නැත්නම් වැඩක් නෑ.

දඩ ගැසීම

ප්‍රවාහන අමාත්‍යංශයට අදාල වැය ශීර්ෂය ගැන පාර්ලිමේන්තු විවාදයේදී අමාත්‍ය ලසන්ත අලගියවන්න රියදුරන් විසින් මාර්ගයේදී කරන වැරදි 32කට අදාළව රියදුරන්ගේ ලකුණු කපන ක්‍රමයක් ඉදිරිපත් කළා. ලකුණු 24ක් කැපී ගියහොත් අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනවා. අනතුරක් සිදුකර පලා ගියහොත් ලකුණු 10 ක්, වේගය 150 සීමාව පැන්නොත් ලකුණු 08 ක්, බීමත්ව රිය පැදවුවහොත් ලකුණු 06 ක් ආදී වශයෙන් ලකුණු කපනවා. පරිවාස කාලය තුළදී ලකුණු කැපුනොත් බලපත්‍රය ලබා ගැනීම තවත් දීර්ඝ කෙරෙනවා.

සමෘද්ධි දීමනා

නොවැම්බර් මාසයට අදාල සමෘද්ධි දීමනා තවමත් ගෙවා නැති බව පාර්ලිමේන්තුවේදී හරිනි අමරසූරිය කිව්වා. මේ ගැන අදාල අමාත්‍යවරුන්ද තාම පිළිතුරක් දීලා නැහැ. හිටපු අමාත්‍ය එස්බී දිසානායක කිව්වේ සමෘද්ධි ව්‍යාපාරය සහනාධාර ව්‍යාපාරයක් නෙවෙයි, ග්‍රාමීය ජනයා පණගන්වන ව්‍යාපාරයක් විදියටයි පණ ගැන්වුණේ කියලයි. බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරය ආදර්ශ කරගෙන සමෘද්ධි ව්‍යාපාරය හදපු බවකුත් ඔහු කිව්වා.

ඒත් 2017 ලෝක බැංකුව නිකුත් කරපු වාර්තාවක දැක්වුණේ ලංකාවේ ක්‍රියාත්මක කළ සමෘද්ධි, ජනසවිය වැනි කිසිම ව්‍යාපාරයක් ජනයාගේ දුප්පත්කම තුරන් කරන්න සමත් වුණේ නැහැ කියලයි. බැසිල්ගෙ දිවිනැගුම ගත්තත් ඒකෙන් දිවි නැගුනේ බැසිල් ගේ මිසක් ජනතාවගේ දිවි නොවන බව රටම දන්නවා.

රනිල්ට වැන්දද? 

අරගලයේ නියමු යූ ටියුබර්ලා   දෙන්නෙක් රනිල්ට වැඳලා සමාව අරගෙනයි කියලා පුවතක් පළවෙලා තිබුණා. ඒ ගැන leader ටීවී අරගලයේ නියමුවකු වශයෙන් හිටපු රතිඳූ සේනාරත්නගෙන් විමසුවා. ඉරාජ් වීරරත්න කෝණාර නමැත්තකු සමග කරපු යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවක තිබුණු දෙයක්, ඒ කතාව අමූලික බොරුවක් කියලයි රතිඳු කිව්වෙ. 

යූ ටියුබර්ලා කියලා තියෙන්නේ ආයෙත් රනිල්ට Ranil rajapaksha කියලා අපහාස නොකරන බවයි. ඒක ඉතිං අපහාසයකුත් නෙමෙයි. රනිල් සහ රාජපක්ෂලා හදපු රජය රනිල් රාජපක්ෂ රජය නම් වේ. අරගලයේ අපේක්ෂාව රනිල් බලයට ගෙන ඒම නොවුනට රනිල් බලයට පත්වුණේ අරගලය නිසා තමයි. රනිල් කැමති නෑ  අනුන්ගේ අරගලයකින් තමන්  බලයට ආවේ කියලා ඉතිහාසයේ ලියවෙනවට. රනිල් ලොකු මිනිහෙක් නිසා ඒක එයාගෙ කැරියර් එකට හොඳ මදි ඇති. මොනවා කරන්නද මහත්තයෝ ඒක තමා ඇත්ත කතාව.

 

@ විමලනාත් වීරරත්නගේ පිටපතක්.

නවතම ලිපි