SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී,

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී අනාවරණය වූ කරුණු අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම නිර්දේශය කර ඇත.

එම විගණන වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගත්තේ නම් වැයවන්නේ ලක්ෂ හතරකට ආසන්න මුදලකි. එහෙත් සංස්ථාව මෙම එන්නත සඳහා රුපියල් හයකෝටි අසූහත් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයිද විගණන වාර්තාවේ සඳහන්වේ.


සිදුව ඇතැයි කියන මෙම වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, දිගින් දිගටම වංචා දූෂණ වලට චෝදනා ලැබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා (දඬුවම් දීම වෙනුවට) නැවත එම තනතුරටම පත් කළ අය මේ විනාශයට වග කිව යුතු බවයි.


සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු එබව අවධාරණය කර තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ සභාපතිවරයා ලෙස විශාල වංචාවක චූදිතයා වූ මේ තැනැත්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජුලි 10 නැවත සභාපති තනතුරට පත් කරන්නේ තමන් නිල වශයෙන් ජනාධිපති වීමටත් පෙර බව පෙන්වාදෙන පුබුදු ජයගොඩ, ''රනිල්ගේ කුක්කා නැවත වරක් සෙල්ලම පටන් අරන්'' යයි සඳහන් කර තිබේ.

මේ වගේ තක්කඩින්ට රට ගොඩ ගන්නට තවත් කාලය දිය යුතුයැයි කිව හැක්කේ එවැනිම තක්කඩින්ට පමණක් බවත්, මේ රොත්ත බුරුත්තම පන්නා දමනවා හැර වෙන විකල්පයක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා තවදුරටත් අවධාරණය කර සිටියි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කලින් සිදුකළ වංචා ගැන පුබුදු ජයගොඩ, මිට ඉහතදී Truth with Chamuditha වැඩසටහනක දී අනාවරණය කල ආකාරය පහත වීඩියෝවේ සඳහන් වේ.

@Theleader.lk

නවතම ලිපි