SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද අගෝස්තු 28 ඉරිදා. ගෙවීගිය සතියේ මව්රට, කපිල පුංචිමාන්නගේ 

ගෙන එන රාජ්‍ය රහස් කොළම.

ලංකාවට එන ගෝඨාට හිටපු අගවිනිසුරු බාල්දියක් පෙරළයි! ලොස්ඇන්ජලීස්වලින් ගෝඨාට එන්න කියයිද? හදිසි ජනාධිපතිවරණයකට රනිල්ගේ සූදානමක්! මෛත්‍රීපාල ශ්‍රීලනිපයෙන් පන්නන කුමන්ත්‍රණයේ මහමොළකරුවෝ දෙන්නා! පොහොට්ටුව රනිල් කැඳවූ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වර්ජනය කිරීමේ සූදානමක! (රාජ්‍ය රහස්) EXCLUSIVE.

 

69 ලක්ෂයේ කට වහන්න රනිල් ලෑස්ති වෙයි!

පෙති හැලුණු පොහොට්ටුව එකතු කරන්න යන සාමදූතයා!

ආණ්ඩුවෙන් මහින්දට මිලියන 400ක තෑග්ගක්!

ගෝඨාගේ ලංකා ගමන කල්ගිය හේතුව අපි හොයාගත්තා!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමට නියමිතව සිටියේ ඉකුත් බදාදා (24) දිනය. නමුත් පසුගිය සතිය ආරම්භ වන විට හදිසියේ තීරණය වෙනස් කළ ගෝඨා ලබන මස පළමු සතිය තෙක් එම ගමන කල් දැමීමට පියවර ගත්තේය. ඊට හේතුව වශශෙයන් නිශ්චිත කාරණාවක් සඳහන් නොවුණු අතර ඒ හේතුවෙන්ම ‘රාජ්‍ය රහස්’ තීරය ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ සොයාබැලීමක නිරත විය. එහිදී අපට ගෝඨාගේ ලංකා ගමන සිරවී ඇති තැන නිශ්චිතව සොයාගැනීමට හැකි විය.

රනිල්ට යෝජනා දෙකක්!

 

‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වූ ආකාරයට ගෝඨා යළි ලංකාවට පැමිණීමේදී තමන්ගේ පාර්ශ්වයෙන් අවශ්‍ය කරුණු දෙකක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කොට තිබේ. ඉන් පළමු සහ ප්‍රධානතම කාරණාව වී ඇත්තේ ලංකාවට පැමිණීමෙන් පසු තමන්ගේ ආරක්ෂාව සහතික කිරීමය. දෙවැනි කාරණාව වී ඇත්තේ නිල නිවාසයක් ලබාගැනීමය. ගෝඨාගේ යෝජනාව වී ඇත්තේ තමන් හිටපු ජනාධිපතිවරයකු වීම නිසා නිල නිවෙසක් සහ ආරක්ෂාව ව්‍යවස්ථාවට අනුව තමන්ට හිමිවිය යුතු යැයි කියාය.

 

හිටපු අගවිනිසුරුගේ තර්කය!

නමුත් මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට ලබාදී ඇත්තේ තරමක වෙනස් ප්‍රතිචාරයකි. ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව ලබාදිය හැකි නමුත් නිල නිවෙසක් ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව මෙහිදී ජනාධිපතිවරයා ගෝඨාට දැනුම්දී ඇති බව දැනගන්නට තිබේ. එහිදී ජනාධිපතිවරයා ගෝඨාට දැනුම්දී ඇත්තේ හිටපු අගවිනිසුරුවයකු වූ සරත් එන්. සිල්වා මහතා මෑතකදී කර තිබූ ප්‍රකාශයකි. සරත් එන්. සිල්වා මහතා එහිදී සඳහන් කොට තිබුණේ හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරුන්ට හිමිවී ඇති කිසිදු වරප්‍රසාදයකට සහ අයිතිවාසිකමකට හිමිකම් කීමට නොහැකි බවකි. හිටපු අගවිනිසුරුවරයාගේ තර්කය වී ඇත්තේ ගෝඨාභය යනු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගිය අයකු බැවින් ඔහුට කිසිදු හිටපු ජනාධිපතිවරයකු හට හිමි වරප්‍රසාද භුක්ති විඳීමට වලංගුභාවයක් නොමැති බවකි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය හැර යෑමෙන් පසු ඔහුට හෝ ඇයට හිටපු රාජ්‍ය සේවකයකු වශයෙන් කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවත්, ඒ අනුව යමින් ගෝඨාද සිය ධුරය අතහැර ගිය බැවින් ඔහුටද කිසිදු වරප්‍රසාදයක් හිමි නොවන බවත් හිටපු අගවිනිසුරුවරයාගේ තර්කය වී තිබේ.

 

නිල නිවෙසට ‌උත්තරයක් නෑ!

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු පළමු වාරය අවසන් කොට ඉවත් වුවත්, පළමු වාරය අතරවාරයේදී හදිසියේ මියගියහොත් ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වරප්‍රසාද භුක්තිවිඳිය හැකිය. නමුත් අතරමැදදී සේවය අතහැර ගියහොත් එවැනි කිසිදු වරප්‍රසාදයක් හිමි නැති බව හිටපු අගවිනිසුරුවරයාගේ තර්කය වී තිබේ. මේ තර්කය මතද, එසේත් නැත්නම් වෙනත් තර්කයක් මතද නොදන්නා නමුත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මෙහිදී ගෝඨාට නිල නිවෙස සම්බන්ධයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

 

ගෝඨා රනිල්ට ‌කෝල් කරයි!

ඒ අනුව ඉකුත් සිකුරාදා (19) ගෝඨා සහ ජනාධිපතිවරයා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. නිල නිවෙස සම්බන්ධයෙන් කිසියම් සංවාදයක් සිදුවුවත් රනිල් එහිදීද කිසිදු ප්‍රතිචාරයක් හෝ සහතිකයක් ලබාදීමට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයා ගෝඨාට දැනුම් දී තිබුණේ මිරිහානේ නිවෙසට ආරක්ෂාව ලබාදිය හැකි බවකි. මීට අමතරව තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර සිටියේ යම් හෙයකින් ගෝඨාට නිල නිවෙසක් ලබාදීමෙන් පසු කවුරුන් හෝ ව්‍යවස්ථාව කඩකළ බවට ගෝඨාට එරෙහිව නඩු පැවරුවහොත් ඒ හරහා බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුවිය හැකි බව ජනාධිපතිවරයා විසින් ගෝඨාට දැනුම්දී ඇති බවකි. ඒ අනුව හොඳම විකල්පය මිරිහාන නිවෙසේ පදිංචි වීම බව ජනාධිපතිවරයා ගෝඨාට දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා (25) ලංකාවට පැමිණීමට නියමිතව සිටි ගෝඨාගේ ගමන සැප්තැම්බර් මුල් සතිය දක්වා කල් දැමුණේ මේ හේතුවෙන් බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

 

නඩුව දැම්මේ ලොස්ඇන්ජලීස් නීතිපතිතුමා!

මේ අතරවාරයේ පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් ගෝඨා සම්බන්ධ අතිවිශේෂ තොරතුරක් රටට අනාවරණය කළෙමු. ඒ, ගෝඨාට ඇමෙරිකානු රජය විසින් එරට අධිකරණයක නඩු පවරා ඇති බවකි. ඒ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපට ලැබී නොතිබුණද, මේ වන විට ඒ පිළිබඳ තොරතුරු රැසක් අප වෙත වාර්තා වී තිබේ. එම තොරතුරුවලට අනුව ගෝඨාට එරෙහිව නඩු පවරා ඇත්තේ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තය භාර නීතිපතිවරයා විසිනි. ඒ, ලොස්ඇන්ජලීස් අධිකරණය හමුවේය. ගෝඨාට අමෙරිකානු පුරවැසිභාවය හිමි 2019 කාලයට පෙර ගෝඨාට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ එම නඩු නිමිත්ත තරමක් බරපතළ බවකි. එමෙන්ම මෙම නඩුව හේතුකොට ගෙන මේ වන විට ගෝඨා ඉල්ලුම් කර ඇති ඇමෙරිකානු ග්‍රීන්කාඩ් වීසා පහසුකම ලබාගැනීමද ව්‍යර්ථ වී ඇති බව ආරංචිය. ඒ අනුව ගෝඨාට ලංකාවට ඒම හැර වෙන විකල්පයක් ඇති බවක් පෙනෙන්නට නැත.

 

බැසිල් ස්ථාවරය වෙනස් කරයි!

මීට අමතරව අප පසුගිය සතියේ ගෝඨා සම්බන්ධයෙන් තවත් විශේෂ කාරණාවක් ලියා තැබුවෙමු. ඒ, ලංකාවට පැමිණීමෙන් පසු ගෝඨා ජාතික ලැයිස්තුවෙන් යළි පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කිසියම් කණ්ඩායමක් සිදුකර ඇති රහසිගත සැලසුමක් පිළිබඳවය. එමෙන්ම අපි මීට සති කිහිපයකට ඉහතදී ගෝඨාගේ ලංකා ගමන පිළිබඳ පොහොට්ටුවේ ජාතික සංවිධායක මෙන්ම ගෝඨාගේ සොහොයුරු බැසිල් රාජපක්ෂ මහතා දරන ස්ථාවරය පිළිබඳව සඳහන් කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ ගෝඨා ලංකාවට පැමිණෙනවාට බැසිල් එතරම් කැමැත්තක් නොදක්වන බවකි. එමෙන්ම බැසිල් ගෝඨා ලංකාවට පැමිණෙන විට පිළිගැනීමට කටුනායකට නොයන ලෙසත්, පිළිගැනීමේ උත්සව සංවිධාන නොකරන ලෙසත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කළ දැනුම්දීම අපි ලියා තැබුවෙමු. ජනාධිපතිවරයාත් සමග පොහොට්ටුව මේ වන විට කිසියම් අන්‍යොන්‍ය එකඟතාවකට අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයා සමග අනවශ්‍ය ගැටුම් ඇතිකරගත යුතු නැති බව බැසිල්ගේ ස්ථාවරය වී තිබූ බවද අපි එහිදී වාර්තා කළෙමු.

 

ගෝඨා වෙනුවෙන් පොහොට්ටුව පෙරට!

නමුත් පසුගිය සතිය වන විට බැසිල් ඇතුළු කණ්ඩායම ගෝඨාගේ පැමිණීම සම්බන්ධයෙන් දැරූ මෙම ස්ථාවරය තරමක් වෙනස්වී තිබූ බවක් දැකගන්නට ලැබිණ. දැන් බැසිල්ලාගේ ස්ථාවරය වී ඇත්තේ ගෝඨාට සාධාරණය ඉටුවිය යුතු බවත්, යම් හෙයකින් ඔහුට සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් සටන්වැදිය යුතු බවත්ය. ඒ අනුව පසුගිය කාලසීමාවේ තුන්වැනි පාර්ශ්වවලින් එළියට ආ ගෝඨා නැවත පාර්ලිමේන්තු පැමිණිය යුතු බවට වූ යෝජනාව පොහොට්ටුව ඇතුළෙන්ම නිල වශයෙන් මේ වනවිට සාකච්ජාවට ලක්වී ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව ගෝඨාව යළි පාර්ලිමේන්තුවට ගෙන එන්නේ කෙසේද, ඒ සඳහා පොහොට්ටුවේ අනෙකුත් පක්ෂ එකඟ කරවා ගන්නේ කෙසේද, පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු ගෝඨාගේ දේශපාලන භූමිකාව කුමන ආකාරයෙන් විය යුතුද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොහොට්ටුවේ ප්‍රබලයන් අතර සංවාදයක් මතුව ඇති බවක්ද දැනගන්නට තිබේ.

 

රනිල්ගෙන් මහින්දට මිලියන 400ක තෑග්ගක්!

කෙසේවෙතත් මේ ආකාරයට නිල නිවෙසක් ඉල්ලීම සම්බන්ධයෙන් ගෝඨාට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබියදී ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද සිය නිල නිවෙස සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව තිබූ ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. ගෝඨා ජනාධිපතිවරයාව සිටි සමයේ අගමැති ධුරය දැරූ මහින්ද විසින් එවක සිය විජේරාමේ පිහිටි නිල නිවෙස අලුත්වැඩියා කිරීමටත්, ඊට යාබද කොටසද එම නිවෙසටම පවරාගෙන නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් අවශ්‍ය මුදල් ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් යොමුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ සඳහා රුපියල් මිලියන 400ක් අවශ්‍ය බව එම කැබිනට් පත්‍රිකාවෙන් දැනුම්දී තිබිණි. නමුත් ඒ වන විට රට තුළ මතුව පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් සහ කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලුවක් හේතුකොටගෙන එම ව්‍යාපෘතිය අත්හිටුවීමට ගෝඨා පියවර ගෙන තිබිණි. ඒ අනුව අගමැති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද බුලර්ස් පාරේ පිහිටි වෙනත් රජයේ නිල නිවෙසක් වෙත මාරුවීමට කටයුතු කළේය. නමුත් ඒ තාවකාලිකවය. කෙසේ වෙතත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ විශේෂ කැබිනට් පත්‍රිකාවකින් කියැවුණේ විජේරාමේ පිහිටි මහින්ද රැඳී සිටි නිල නිවෙස මිලියන 400ක් වැයකොට අලුත්වැඩියා කර සහ නව නිවාස සංකීර්ණයක් ඉදිකොට යළි එය මහින්දට ලබාදීමට පියවර ගත යුතු බවය. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව ආණ්ඩුව මේ වන විට සූදානමින් සිටින්නේ හැකි ඉක්මනින් එම නිල නිවෙස ඉදිකොට මහින්දට එහි පදිංචි වීමේ අවස්ථාව ලබාදීමටය.

 

සාම සාකච්ජා යළි ඇරඹේ!

පසුගිය කාලයේදී පොහොට්ටුවේ ප්‍රධාන පාර්ශ්ව රැසක් පොහොට්ටුවෙන් ඉවත් වීමට පියවර ගෙන තිබුණේ එහි ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා සමග ඇති කරගත් අර්බුද හේතුවෙන්ය. ඇතැම් පක්ෂ නායකයන් විසින් බැසිල්ට ප්‍රසිද්ධියේ විවිධ නම් පටබඳිමින් යළි කෙදිනකවත් ඔහු සමග දේශපාලනය නොකරන බවට ප්‍රකාශ ලබාදෙමින් පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමට පියවර ගෙන තිබිණි. පසුව බැසිල්ගේ පාර්ශ්වයෙන්ම එම කණ්ඩායම පොහොට්ටුව සමග සමගි කරවීමේ උත්සාහයන් කිහිපයක් දැරූ අතර, ඒ සියල්ල අසාර්ථක වූ ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව එම සාකච්ඡාවලට වැඩි ආයුෂද හිමිව තිබුණේ නැත.

 

සාම දූතයා කව්ද?

කෙසේ වෙතත් පසුගිය සතිය වන විට මෙසේ පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව සිටින කණ්ඩායම් ඒකාබද්ධ කිරීමේ අලුත් උත්සාහයක් දියත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ගෝඨාව ලංකාවට රැගෙන ඒම සඳහා විශාල ප්‍රචාරයක් ගෙන ගිය පිරිස්මය. ඒ අනුව ඔවුන් පසුගිය සතියේදී පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීනව සිටින ඩලස් පිල සහ විමල්ගේ කණ්ඩායම අතර සාකච්ඡා වටයක් ආරම්භ කළේය. එම සාකච්ඡාවලට මාතෘකා වී තිබුණේ ඉදිරියේදී එක කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ කෙසේද, ගෝඨා යළි දිවයිනට පැමිණීමෙන් පසු කුමන පාර්ශ්වය සමග එක්ව කටයුතු කරන්නේද යන්න පිළිබඳවය. එහිදී දෙපාර්ශ්වයෙන්ම ඊට අතිශය සුබවාදී ප්‍රතිචාර ලැබී තිබුණු බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම මෙම සාකච්ඡාවලදී ඩලස් සහ විමල් පිල එක්ව කටයුතු කරන්නේ නම් එහිදී ගෝඨාට පක්ෂය ඇතුළේ ලබා දෙන තැන එම සන්ධානයේ දේශපාලන කාර්යභාරය කුමක්ද, තවදුරටත් ආණ්ඩුව සමග දේශපාලනය කරනවාද, එසේත් නැතිනම් විපක්ෂය සමග දේශපාලනය කරනවාද යන්න සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවන් සඳහා බැසිල්ගේ කිසිදු අනුදැනුමක් හෝ සහභාගිත්වයක් නොමැති වුවද එම සාකච්ඡා පිළිබඳ මේ වන විට බැසිල්ටද තෙරතුරු වාර්තා වී ඇති බවට රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

 

මෛත්‍රී පන්නන්න සියල්ල ලෑස්තියි!

මේ සියල්ල අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉලක්ක කරගෙනද තවත් දේශපාලන මෙහෙයුමක් දියත් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එම මෙහෙයුම දියත් වී ඇත්තේ දැනට ශ්‍රීලනිපයේ නායකත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉවත් කොට ශ්‍රීලනිපයේ බලය වෙනත් පාර්ශ්වයක් අතට ලබාගැනීමටය. දැනගන්නට ඇති ආකාරයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රීලනිප නායිකාව වශයෙන් කටයුතු කරන සමයේ ශ්‍රීලනිප ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ වගන්තියක් මුල්කරගෙන මෙම මෙහෙයුම දියත් වී ඇති ආකාරයක් වාර්තා වේ. ඒ අනුව මේ වන විට එම වගන්තය මුල්කරගෙන මෛත්‍රීපාලට අධිකරණය හමුවේ නඩුවක් පැවරීමටද මෙම පිරිස පියවර ගෙන තිබේ.

මේ ආකාරයට මෛත්‍රීට එරෙහිව ඉදිරියට ගෙනැවිත් ඇති ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ ඇති මෙම වගන්තිය කුමක්ද?

ව්‍යවස්ථාවේ එක වගන්තියක් එළියට ගනී!

එම වගන්තිය වී ඇත්තේ පක්ෂ සාමාජිකයකු යම් හෙයකින් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුට හෝ ඇයට නිල බලයෙන් ශ්‍රීලනිපයේ නායකත්වය හිමිවන බවත්, එසේ නොවන්නේ නම් ඔහු හෝ ඇය විසින් පක්ෂ ව්‍යවස්ථාවේ ඇති ක්‍රියාදාමයට අනුව පක්ෂ නායකත්වයට පත්විය යුතු බවත්ය. එමෙන්ම ජනාධිපති ධුරය අහිමි වන විටදී ස්වයංක්‍රීයවම පක්ෂ නායකත්වයද අහෝසි වී යන බව එම වගන්තියේ දැක්වේ. එම වචන කිහිපය ඔස්සේ මෙසේ මෛත්‍රීපාලට එරෙහිව ප්‍රබල නීතිඥවරුන් කණ්ඩායමක් අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට කටයුතු කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම සැලසුම පිටුපස විශාල කණ්ඩායමක් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එම සැලසුමට අනුව යම් හෙයකින් මෛත්‍රීපාලට අවාසිසහගත තීන්දුවක් ලැබුණහොත් ශ්‍රීලනිපයේ බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් මෙම සැලසුම පිටුපස ඇති බවක්ද වාර්තා වේ. ඊට ශ්‍රීලනිපයේ හිටපු ප්‍රබලයකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකුද සම්බන්ධ වී සිටින බවත්, තවත් විශේෂ පුද්ගලයන් කිහිප දෙනකුද එම සැලසුම පසුපස සිටින බවත් අපට දැනගන්නට ඇත.

 

අමරවීර තමයි නායකයා!

මෙම මෙහෙයුම හරහා ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත පක්ෂ නායකත්වයට ගෙන ඒමත්, මේ වන විට පක්ෂය හැරගොස් සිටින කුමාර වෙල්ගම වැනි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් නැවත ශ්‍රීලනිපයට එක්කරගෙන පක්ෂය ශක්තිමත් කිරීමත්ය. යම් හෙයකින් මෛත්‍රීට පක්ෂ නායකත්වය අහිමි වන ආකාරයේ අධිකරණ තීන්දුවක් ලැබුණහොත් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන මොහොත දක්වා තාවකාලික නායකයා වශයෙන් මහින්ද අමරවීර පත්කර ගැනීමටද එහිදී යෝජනා වී ඇති බව දැනගන්නට ඇත. මහින්ද අමරවීර දැනටමත් ජනාධිපතිවරයාට ඉතා සමීපව කටයුතු කරන අයකු ලෙස ප්‍රසිද්ධය. වෙනකක් තබා අමරවීර සහ නිමල් සිරිපාල ජනාධිපතිවරයා සමීපයට ගොස් ඇමැති ධුර ලබාගත්තේද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීන්දුවලට එරෙහිව යමින්ය. ඒ අනුව අප වෙත ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම මෙහෙයුමේද අරමුණ වී ඇත්තේ ඉදිරියේදී සිදුවීමට නියමිත දේශපාලන වෙනස්කම්වලදී කිසියම් කණ්ඩායමකට බලය ලබාගැනීමය. කෙසේ වෙතත් මෛත්‍රීපාලද ප්‍රබල නීතිඥ කණ්ඩායමක් සමග මෙම නඩුවට අධිකරණය හමුවේ මුහුණ දෙමින් සිටින බවද සඳහන් කළ යුතුය.

 

22ට පොහොට්ටුව අකැමැත්තෙන්!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අපි ආණ්ඩුවේ මැතිවරණ සැලැසුම පිළිබඳ තවත් විශේෂ අනාවරණයක් සිදුකිරමට පියවර ගත්තෙමු. පවතින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ වසර දෙකහමාරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල හිමිවුවද රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දී තිබූ පොරොන්දුවකින් කියැවුණේ මෙම පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවකි. නමුත් පවතින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ ජනාධිපතිවරයා මේ වන විට සැලසුම් කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව තමන්ට බලය හිමිවන පළමු අවස්ථාවේදීම, එනම් ලබන මාර්තු වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමටය. ඒ සම්බන්ධයෙන් වූ වගන්තියක් මේ වන විට පාර්ලිමේන්තුට ඉදිරිපත් කොට ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමටද විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන තිබූ අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් පසුගිය සතියේ එම වගන්තිය වෙනස් කරන ලෙසට විජයදාසගෙන් කර තිබූ ඉල්ලීමක් ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමටද පියවර ගෙන තිබිණි. මෙම පසුබිම යටතේ ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් මේ වන විට සිටින්නේ 22ට සහාය නොදෙන ස්ථාවරයකය.

 

හදිසි ජනාධිපතිවරණයකට යෝජනාවක්!

කෙසේවෙතත් මෙම වාතාවරණය යටතේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මේ වන විට වෙනත් විකල්ප යෝජනා කිහිපයක්ද ඉදිරිපත් වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන් එක් යෝජනාවක් වී ඇත්තේ හදිසි ජනාධිපතිවරණයකට යොමු වීම මේ අවස්ථාවේ සුදුසු යැයි කියාය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට වසර 4ක ධුර කාලයෙන් පසු නැවත ජනාධිපතිවරණයක් කැඳවීමේ අවස්ථාව හිමිව ඇති අතර එම බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ 2023 නොවැම්බර් මාසයේදීය. මෙම යෝජනාව ඉදිරිපත් කළ පිරිස් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මේ වන විට විකල්ප ප්‍රතිවාදීන් ලෙස සිටි රාජපක්ෂ කඳවුර බෙහෙවින් දුර්වල වී ඇති මොහොතේ ඉක්මන් ජනාධිපතිවරණයකට යෑම ඉතා වාසිසහගත යැයි කියාය. මන්ද මේ වන විට හිටපු ජනාධිපතිවරයකු මෙන්ම අගමැතිවරයකුද වූ මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය තත්ත්වය අතින් සිටින්නේ තරමක් පිරිහීමකට ලක්වය. හිටපු ජනාධිපති ගෝඨාභයටද මේ අවස්ථාවේ රට ඇතුළේ බරපතළ විරෝධයක් මතුව තිබේ. බැසිල් සම්බන්ධයෙන් ගත්තද පවතින්නේ එවැනි තත්ත්වයකි. මේ පසුබිම යටතේ පොහොට්ටුවේ හා අනෙකුත් හවුල්කාර පක්ෂවල සහාය ගෙන ශක්තිමත් අපේක්ෂකයකු වශයෙන් ජනාධිපතිවරයාට යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම ඉතා වාසිසහගත බව රනිල්ට හිතවත් පාර්ශ්වවල යෝජනාව වී ඇත. ඒ අනුව යම් හෙයකින් වසර දෙකහමාරක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊළඟ හොඳම විකල්පය ලෙස පෙන්වාදී ඇත්තේ මේ ජනාධිපතිවරණ තුරුම්පුවය.

 

පොහොට්ටුව පුංචි ජන්දෙට ලෑස්තියි!

ඊළඟ විකල්පය ලෙස එම පිරිස් ජනාධිපතිවරයාට යෝජනා කොට ඇත්තේ පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. මේ වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පවතින අවාසිසහගත තත්ත්වය උඩ වසරකින් කල් දැමීමට ගෝඨාගේ ආණ්ඩුව වසර මුලදී පියවර ගත්තේය. අවශ්‍ය නම් පාර්ලිමේන්තු යෝජනාවකින් එය තවත් වසරකින් දීර්ඝ කරගැනීමේ හැකියාව ආණ්ඩුවට තිබේ. කෙසේ වෙතත් පොහොට්ටුව නම් මේ වන විට තීන්දු කොට ඇත්තේ ලබන පෙබරවාරියේ පුංචි ඡන්දය පැවැත්වුවහොත් යම් වාසියක් පොහොට්ටුව වෙත ගම් මට්ටමින් ලබාගත හැකි යැයි කියාය. ඔවුන්ගේ උපකල්පනය වී ඇත්තේ මේ වන විට ගෝඨාට රට ඇතුළේ යම් අනුකම්පාවක් මතුවෙමින් පවතින බවත්, එය උපයෝගී කරගෙන ඉකුත් වතාවේ තරම් නොවුණත් මේ වතාවේදීද යම් වාසියක් ගම් මට්ටමෙන් පොහොට්ටුවට ලබාගත හැකි බවත්ය.

 

69 ලක්ෂයේ කට වහන්න රනිල් ලෑස්ති වෙයි!

අනෙක් අතට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ වහාම පළාත් පාලන ඡන්දය පවත්වා පොහොට්ටුවේ ඇති බලය පාලනය කළ යුතු බවකි. ලක්ෂ 69ක ජනවරම පිළිබඳ නිතරම කියමින් පොහොට්ටුව අණ්ඩුව හා ජනාධිපතිවරයා පාලනය කිරීමට සූදානම් වන බවත්, පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලින් පොහොට්ටුවට බරපතළ අවසාසිසහගත තත්ත්වයක් උදාවිය හැකි බැවින් මේ හරහා එම පාලනයෙන් මිදීමට හැකියාව ලැබෙන බවත් ඔවුන්ගේ මතය වී තිබේ. එම පරාජයෙන් පසු පොහොට්ටුවේ 69 ලක්ෂයේ ජනවරමේ කතාව අහෝසි වන බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති මේ පිරිස එවිට පොහොට්ටුවටද හිස පහත් කරගෙන ජනාධිපතිවරයා ළඟට පැමිණීමට සිදුවන බව පෙන්වා දී ඇත.

 

සජබ-ජවිපෙ සූදානම් ශරීරෙන්!

ඒ අනුව හදිසි මහ මැතිවරණය, හදිසි ජනාධිපතිවරණය සහ පළාත් පාලන ඡන්දය යන විකල්ප තුනම මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විවෘතව පවතින යෝජනා බවට පත්ව ඇත. කෙසේ වෙතත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සිටින්නේ මේ කියන ඕනෑම විකල්පයකට මුහුණ දීමේ අරමුණෙන් යුතුවය. සජබය නම් මේ වන විටත් ආසන බලමණ්ඩල ශක්තිමත් කරමින් ගමින් ගමට යෑම ආරම්භ කොට ඇති අතර ජනතා විමුක්ති පෙරමුණද ඉදිරියේදී මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමට නියමිතය.

 

IMF සාකච්ජා නම් යනවා!

මෙවැනි පසුබිමක් යටතේ ලංකාවට ඊළඟට මුහුණ දීමට සිදුව ඇති බරපතළ ගැටලුව වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය ණය පහසුකම් ලබාගැනීම හා ඒ සමග බැඳී ඇති මානව හිමිකම් අර්බුදයට මුහුණ දීමේ අභියෝගයය. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සතියක කාලසීමාවකට ලංකාවට පැමිණ සිටින අතර මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කොට සිටියේ මෙම සතිය ඇතුළත කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම්වලට අස්සන් තැබීමට දෙපාර්ශ්වයට හැකි වනු ඇතැයි කියාය. එමෙන්ම ප්‍රංශය කේන්ද්‍ර කොටගත් ලසාඩ් සමාගමද මේ වන විට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ හැකි ආකාරය පිළිබඳ සැලසුම් සකස් කරමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

 

සල්ලි හම්බවෙයිද?

නමුත් ගැටලුව වී ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් මුල් කරගෙන මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන රටවලට ලංකාව සම්බන්ධයෙන් බරපතළ පණිවුඩයක් ගොස් තිබීමය. ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අස්සන් කළත් නැතත් එය සමග ණය වැඩසටහනකට ඇතුළත් වීමේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පවා සිදුවෙයි. එහිදී ඡන්ද බලය හිමි රටවල් අතර ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ජපානය, යුරෝපා කොමිසමේ රටවල් ප්‍රධානය. නමුත් මේ සියලු රටවල් මානව හිමිකම් මාතෘකාව මුල් කරගෙන මේ වන විට ලංකාව සමග විවෘත සටනකට යොමුවී ඇති බවක් පෙනී යයි. පසුගිය මාස දෙක තුන ඇතුළත පමණක් ඇමෙරිකාව ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් මුල් කරගෙන බරපතළ නිවේදන රැසක් නිකුත් කරනු ලැබීය. බි්‍රතාන්‍යය, යුරෝපා කොමිසම ඇතුළු අනෙක් රටවල්ද එසේමය. ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි සක්‍රීය කරමින් අරගලයේ සිටි චරිත අත්අඩංගුවට ගැනීම මෙම රටවල බරපතළ විවේචනයට පාත්‍ර වී තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කටයුතු අවසන් කළද ඉතිරි වැඩකටයුතුවලදී මෙම රටවල සහාය ලබාගැනීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ බරපතළ තත්ත්වයකි.

 

ජිනීවා රත්වෙයි!

ඊට අමතරව ලබන මස මුල් සතියේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීමද ආරම්භ වීමට නියමිතය. ‘රාජ්‍ය රහස්’ තීරයට ලැබෙමින් පවතින තොරතුරුවලට අනුව දැනටමත් ජිනීවාවලදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමේ අවදානමක් මතුව තිබේ. එහි මධ්‍ය කණ්ඩායම වශයෙන් (Core Group) කටයුතු කරන රටවල් අතරට ඇමෙරිකාව, බි්‍රතාන්‍යය වැනි රටවල්ද ඇතුළත් තිබීම හේතුවෙන් මෙවරද ඔවුන් ඉකුත් වතාවේ මෙන්ම ලංකාවට එරෙහි බරපතළ යෝජනාවක් සම්මත කරගැනීමට ලහිලහියේ කටයුතු සිදුකරමින් සිටින බව ආරංචිය.

 

ජපානයට රනිල් යන හේතුව හෙළිවෙයි!

මෙවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා සිය පළමු විදෙස් සංචාරය සිදුකරමින් ඉදිරි දිනවලදී ජපානය බලා පිටත්ව යෑමට නියමිතය. නිල සංචාරයක් නොවුණද ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙසේ ජපානයට පිටත්ව යෑමට සැලසුම් කර තිබුණද එහි යම් සැඟවුණු න්‍යාය පත්‍රයක් පවතින බව ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා වී තිබේ. අපට ලැබුණු තොරතුරුවලින් කියැවෙන්නේ රනිල් අගමැතිවරයා වශයෙන් තේරීපත් වූ 2001-2004 කාලසීමාවේදී ලංකාවට සහාය පළකිරීම සඳහා ජපානය ගත් ක්‍රියාමාර්ගය නැවත වතාවක් පණගැන්වීම මෙම සංචාරයේ අරමුණ බවය. එකල එල්.ටී.ටී.ඊ.ය සමග පැවැති යුද ගැටුම් අවසන් කොට සාම සාකච්ඡා ක්‍රියාවලියට එල්.ටී.ටී.ඊ.ය ඇතුළත් කරගැනීම සඳහා ජපානයද විශාල කාර්යභාරයක් ඉටු කළේය. ප්‍රධාන රටවල් 4ක සහභාගිත්වයෙන් පිහිටුවූ සමසභාපතිවරුන්ගේ රටවලට ජපානයද ඇතුළත් විය. ලංකාව වෙනුවෙන්ම විශේෂ නියෝජිතයා ලෙස යෂුශි අකාෂි පත් කළේය. අවස්ථා ගණනාවකදීම ලංකාවට පැමිණි අකාෂි එහිදී සිය කාර්යභාරය මැනැවින් ඉටු කළේය. එමෙන්ම 2001 වසරේදී ලංකාවට ආධාර කිරීම සඳහා ජපානය ලෝක බලවතුන්ගේ ආධාර ඇතිව ටෝකියෝ සමුළුව පැවැත්වූ අතර ඉන් කෝටි 20,000ක ආධාර මුදලක් එකතු කර දීමටද ජපානය පියවර ගත්තේය. නමුත් 2004 වසරේ චන්ද්‍රිකා මැතිනිය විසින් හදිසියේම එම පාලනය විසුරුවා හැරීමත් සමග ඒ සියලු ආධාර ලංකාවට අහිමිව ගියේය.

 

ජපානය කැමැති වෙයිද?

රනිල් ඒ සියල්ල එදා කළේ අගමැතිවරයා වශයෙන් සිටිමින්ය. නමුත් මෙවර රනිල් ජපානයට යන්නේ පළමු වරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුවය. ඒ යන්නේද අතීතයේ ජපානය ලංකාවට දැක්වූ සහයෝගය නැවත වතාවක් ලබාගැනීමේ සැලසුම ඔළුවේ තියාගෙනය. ඒ අනුව මෙවර ජපන් සංචාරයේදී ජනාධිපතිවරයා ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා මැදිහත්කරු වශයෙන් කටයුතු කරන ලෙසට නව ජපාන අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.

 

මොනෝරේල් එකෙන් ඉවත් කළා!

නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පවතින තත්ත්වය යටතේ ජපානය ලංකාවට උදව් කිරීමට පැමිණේද යන කාරණය සම්බන්ධයෙන්ය. ඊට හේතුව වී ඇත්තේ බලයට පැමිණි විගස අවස්ථා දෙකකදී ගෝඨාගේ ආණ්ඩුව ජපානය කෝපගන්වන සුළු කටයුතු දෙකක් සිදු කර තිබීමය. ඉන් බරපතළම සිදුවීම වූයේ ගිවිසුම් පවා අස්සන් කර තිබූ ඩොලර් බිලියන ගණනාවක සුවිශේෂ ව්‍යාපෘතියක් වූ මාලබේ-කොළඹ මොනෝ රේල් ව්‍යාපෘතිය කිසිදු හේතුවක් නොදන්වා අහෝසි කිරීමය. ගෝඨා යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම අහෝසි කිරීම සිදුකළ අතර පසුව දෙමටගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන ගුවන් මාර්ගයක් ඉදිකිරීම චීනයට භාරදීම සිදුකෙරිණි. ඒ අනුව ජපානය මොනෝ රේල් ව්‍යාපෘතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය.

 

වරායෙන් ගැලෙව්වා!

දෙවැනි සිදුවීම වූයේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතුවලින් ඉන්දියාව හා ජපානය යන රටවල් දෙකම ඉවත් කිරීමට ගෝඨාගේ ආණ්ඩුව පියවර ගැනීමය. ඉකුත් යහපාලන රජය මගින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දියාව හා ජපානයට ලබාදීමට පියවර ගෙන තිබූ අතර වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු එය අත්හිටුවීමට පියවර ගැනීමත් සමග ජපානය සම්පූර්ණයෙන්ම වරාය සංවර්ධන කටයුතුවලින් ඉවත් වීමට පියවර ගත්තේය. ඉන්දියාව ඒ වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම අකැමැත්තෙන් හෝ භාරගැනීමට පියවර ගත්තේය. ඒ අනුව පසුගිය කාලයේ ජපානය ගෝඨාගේ ආණ්ඩුව සමග සිටියේ එතරම් හිත හොඳින් නොවේ.

 

කටුනායකින් ඉවත් වුණා!

මේ තත්ත්වය පුපුරා ගියේ ගෝඨාගේ අවසන් කාලයේ ගුවන් සේවා අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු භාරව සිටි ජපාන තායිසෙයි සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට ජපන් තානාපතිවරයා ගෝඨා වෙත කළ පැමිණිල්ලත් සමගය. එහිදී ගෝඨා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ අතර පරීක්ෂණය අවසන් වනතුරු නිමල් සිරිපාලව ඇමැතිකමෙන් ඉවත් කර තැබීමටද පියවර ගත්තේය. නමුත් රනිල් ජනාධිපති ධුරයට පැමිණි විගස කළේ ඒ සියලු පරීක්ෂණ පසෙක තිබියදී ත්‍රිපුද්ගල කමිටුවක් පත්කොට ඒ හරහා නිමල් සිරිපාලව නිැවරැදිකරුවකු ලෙස ප්‍රකාශයට පත්කිරීමය. පසුව රනිල්, නිමල් සිරිපාලට යළිත් ගුවන් සේවා ඇමැති ධුරය ලබාදීමට පියවර ගත් නමුත් ඒ සමගම ජපානය කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියෙන් තායිසෙයි සමාගම ඉවත් කරගැනීමට පියවර ගත්තේය.

 

නැව නිසාත් ප්‍රශ්නයක්!

අනෙක් අතට ඉන්දීය සාගර කලාපයේ චීන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමට පිහිටුවාගෙන ඇති ඇමෙරිකාව, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, ප්‍රමුඛ කොඩ් සංවිධානයේද ජපානය සාමාජිකත්වය දරයි. පසුගිය සතිවල ලංකාවට පැමිණි චීන යුවාන් වැන්ග් 5 නෞකාවේ ප්‍රශ්නය මත මේ වන විට ඇමෙරිකාව හා ඉන්දියාව ලංකාව සමග සිටින්නේ තරමක හිත් අමනාපයකිනි. එම සංවිධානයේ සාමාජික රටක් වීම හේතුකොටගෙන ජපානයටද එම විරෝධය නැතැයි කියා කීමට නොහැකිය. එවැනි පසුබිමක් යටතේ ජනාධිපතිවරයා ජපානයට ගොස් සිදුකිරීමට සූදානමින් සිටින මෙහෙයුම සාර්ථක එකක් වනු ඇතැයි කීමට තවම කල් වැඩිය.

 

අයවැය පාර්ලිමේන්තුවට!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන අතුරු අයවැය ලබන අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය. ඒ අනුව ජනාධිපතිවරයා සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග සාකච්ඡාවක නිරත වෙමින් මෙවර පාර්ලිමේන්තු සතිය ලබන සඳුදා සිට පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරගත්තේය. ඒ අනුව රනිල්, සුසිල්ට කරුණු දෙකක් දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඉන් පළමු කාරණය වූයේ පාර්ලිමේන්තුව වෙනදා පෙරවරු 10ට ආරම්භ කළද ඉදිරියේදී පෙරවරු 9.30 සිට ආරම්භ කළ යුතු බවකි. දෙවැනි කාරණාව වූයේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සඳුදා පස්වරු 5ට පැවැත්විය යුතු බවකි.

 

සුසිල් එක්ක විතරක් කතා කරලා!

කෙසේ වෙතත් සුසිල් සමග පමණක් මෙම කාරණා සාකච්ඡා කොට තීන්දු ගැනීමට ජනාධිපතිවරයා පියවර ගැනීම හේතුකොට ගෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පසුගිය සතියේ සිටියේ එතරම් හිත හොඳින් නම් නොවේ. විශේෂයෙන්ම සුසිල් පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන මන්තීවරයකු ලෙස පසුගිය කාලයේ කටයුතු කිරීම හේතුකොටගෙන පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් සුසිල් සමගද මේ වන විට සිටින්නේ එතරම් හිත හොඳකින් නොවේ.

 

රැස්වීම වර්ජනය කරන සූදානමක්!

ඒ අනුව මේ වන විට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් තීන්දු කොට ඇත්තේ සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවීමටය. එය සාර්ථක වනු ඇද්ද යන්න දැන්ම තියා කිව නොහැකි නමුත් පොහොට්ටුවේ බොහෝ මුහුණු සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැකගත හැකි නොවනු ඇත.

 

නාමල් ගැන රනිල් කලකිරෙයි!

මේ ආකාරයට පොහොට්ටුව ඇතුළේ විවිධ කණ්ඩායම් බලවේග ගොඩනැගෙද්දී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන්ද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ පැත්තට ගෙන තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති ආකාරයක් දැකගත හැකිය. පළමුව ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වැඩේ කරට ගෙන කළේ පොහොට්ටුවේ නිමල් ලන්සාය. ලන්සා ඒ ආකාරයට සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත රැගෙන ආවේය. නමුත් ඒ කටයුත්ත මන්දගාමී නිසා මීට සති කිහිපයකට කලින් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් හමුවීමට පියවර ගත්තේය. වරෙක ආණ්ඩු පක්ෂ ලොබිය දෙසටද, තවත් වරෙක විපක්ෂයේ ලොබිය දෙසටද යමින් ජනාධිපතිවරයා මෙසේ මන්ත්‍රීවරුන් හමුවෙමින් සුහදව සිනාසෙමින් කතාකරද්දී ආණ්ඩු පක්ෂ ලොබියේදී යම් අපහසුතාවකට මුහුණ දෙන සිදුවීමක් සිදුවිය. ඒ, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග කතාබස් කරද්දී ඔවුන් සමග සිටි නාමල් මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා සමග කතා කරන්නට ඉඩ නොදී ඔවුන්ගේ නියෝජිතයා ලෙස හැඟෙන ආකාරයට ජනාධිපතිවරයා අසන සියලු ප්‍රශ්නවලට පැන පැන උත්තර දීමට යෑම නිසාය. මේ නිසාම දැඩි අපහසුතාවට පත්වූ ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ කිසිවක් නොකියා තරමක කෝපයකින් යුතුව එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

නමුත් පසුව තම හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හට ජනාධිපතිවරයා දැනුම් දී තිබුණේ පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග කතා කිරීමට නාමල් ඉඩ නොදුන් බවත්, තමන් ඊට එතරම් කැමැති නැති බවත්ය.

 

පොහොට්ටුවත් තීන්දුවක් ගනී!

කෙසේ වෙතත් මේ සිදුවීම හරහා පොහොට්ටු ප්‍රධානීන්ටද පෙනී ගිය කාරණයක් වූයේ ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කතාකොට ඔවුන් තමන්ගේ පාර්ශ්වයට ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බවය. ඒ අනුව පසුගිය සතියේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් විසින් සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් කොට තිබුණේ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයා මුණගැසීමට යනවා විනා තනි තනි වශයෙන් ගොස් ජනාධිපතිවරයා මුණගැසීම සුදුසු නොවන බවකි.

@කපිල පුංචිමාන්නගේ

නවතම ලිපි