SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව තුළ "බැලේ ඔපෙරා" සම්ප්‍රදාය ඇරඹීමේ හැරවුම් ලක්ෂය වූ ඇගේ හඬ නිවීගොස් ය.
සංගීතයේ ආකෘතිමය සංවර්ධයක් උදෙසා ඇප කැප වුණු ඇය තනූජා ප්‍රියන්ති බන්දුල මහත්මිය යි.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පෙරදිග සංගීත ආචාර්‍යවරිය වූ ඇය එවකට ඉතාම ක්‍රියාශීලි ආදර්ශමත් ගුරුවරියක් වූවාට සැක නැත. බොහෝ දෙනාට හුරු පුරුදු "වැසි වසිනා අහස අපි" අමරදේව ශූරීන් මුලින් ගායනා කළ ගීතයේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන් විසින් කරන ලද ඉදිරිපත් කිරීම පසුපස සිටි පුහුණුකාරිනිය ඇය යි. පාසල් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇය රනාරා ඇකඩමිය නමින් බැලේ නර්තන කලායතනයක් පවත්වා ගෙන යමින් බැලේ නර්තන අභ්‍යාස පසු පරම්පරාවට ලබා දීමට වෙහෙසුනා ය.
 
ඇය සිය එක නිර්මාණ කටයුත්තක් සඳහා අවුරුද්දකට වැඩි කාලයක් පර්‍යේෂණාත්මක අධ්‍යයනයක යෙදුණු ඈ කලා කෘතියක් කිසි විටෙක සුළුකොට නොතැකුවා ය. නිර්මාණයක් මෝරන්නට සැලකිය යුතු කාලයක් අවශ්‍ය බව හා ඒ සඳහා ශිල්පීන්ට මෙන් ම නිර්මාණ කරුවන්ට ද හොඳ ඉවසීමක් අවශ්‍ය බව ඈ අවබෝධ කරගත්තා ය.
 
ලංකාවේ පළමු බැලේ ඔපෙරා නිර්මාණය, ගයා රම්‍ය අල්විස් මහතා විසින් රචිත තනූජා ප්‍රියන්ති බන්දුල මහත්මියගේ "පඨවි" බැලේ ඔපෙරාව යි. චීන ජන කතාවක් ඇසුරෙන් ඉදිරිපත් කෙරුණු එය ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය රසිකයින් හට අර්ථවත් නාට්‍ය අත්දැකීමක් ලබා දුන් අතර සමකාලීන් නාට්‍ය කලාවේ ආකෘතිමය වශයෙන් වැදගත් මඟ සලකුණකි
.
අධිරාජ්‍යයකුට පවා ජනතාවගේ බලයට හිස නමන්නට සිදුවන බව මතු කළ එම නිර්මාණය බැලේ නර්තනය නවමු අත්දැකීමක් වූ අප රටේ සිසු දරුවන්ට උගන්වමින් දැඩි කැපවීමකින් කළ නිර්මාණයක් ලෙස එය හැඳින්විය හැකි යි. එවැනි දිගු සංගීතමය කාල අවකාශයක් ගන්නා නිර්මාණයක බර දරා සිටීමට ඇයට තිබුණ ශක්තිය ගැන ශ්‍රී ලාංකිකයින් ස්තුතිවන්ත විය යුතු ය.
තනූජා ප්‍රියන්ති බන්දුල මහත්මිය සංගිත නිර්මාණය කළ දැවැන්තම කටයුත්ත "රාවණා නොකී පුරාවත බැලේ ඔපෙරාව" යි. පැය දෙකක් පමණ පුරාවට සංගීතය මූලික කර ගනිමින් සිදු කෙරෙන නිර්මාණයක් නිරතුරු පුහුණුවීම් අවසන් කර ඉදිරිපත් කිරීම වර්තමානයේ ලංකාවේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජනප්‍රිය නවකතාකරුවකු සහ පෙර රචක භද්‍රජි මහින්ද ජයතිලක මහතා රාවණා නොකී පුරාවතෙහි ලිබ්‍රෙටෝ රචකයා යි. කොළඹ විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කළ එම බැලේ ඔපෙරාව සඳහා රනාරා ඇකඩමියේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු දරුදැරියන් විසින් ගායන හා රංගනය ඉදිරිපත් කළහ. මාස 6 ක පමණ කාලයක් දිනපතා පුහුණුවීමෙන් බැලේ ඔපෙරා කලාවට ආගන්තුක පිරිසක් ඉහළ ප්‍රමිතියකට ගෙන ඒම තනූජා මහත්මියගේ දක්ෂතාව සහ නොසැලෙන කැපවීම විශද කරයි.
 
සතුන් කෙරෙහි ඉමහත් කරුණාවක් දැක්වූ තනුජා මහත්මිය, පරිසරයට තදින් ඇල්ම දැක්වූවා ය. බැලේ නර්තනයේ යෙදෙන වේදිකාවට ඔබ්බෙන් ජීවින රඟ මඬල පිළිබඳ ව ඇය දරුවන්ට කියා දුන් ආදර්ශ බොහෝ ය.
දුක්ෂර වුවත්, අත්නොහැරමින් අපහසු වූ සංගීතමය ආකෘතියන් ඇසුරෙන් ලංකාවේ රසිකයින්ගේ රසවින්දනය ඔසවා තැබීමට නිරන්තරයෙන් කැපවූ සංගීතවේදිනියක, නර්තන ශිල්පිනියක, ගුරුවරියක වූ තනූජා ප්‍රියන්ති බන්දුල මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ බලවත් කණගාටුව අපි මෙසේ පුද කරන්නෙමු.
 
@ප්‍රගතිශීලී කාන්තා එකමුතුව

නවතම ලිපි