SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලය යළි අලුත් වටයකින් පනගැන්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (12) පැවති සිය පක්ෂයේ මාධ්‍ය හමුවක දී යි.

ළමුන්ට සහ කාන්තාවන්ට අදාළ ඇතැම් නීති රීති සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් එය ළමුන් සහ කාන්තාවන් කෙරෙහි සුබ නොවන තත්ත්වයක් බවත් ඔහු එහිදී පැවසිය.

ආණ්ඩුව විසින් පාසල් දරුවන්ට රැකියා කිරීමට හැකියාවක් ඇති ආකාරයට නීති සකසමින් සිටින බවත්, වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන් වැඩිහිටියන් ලෙස නිර්වචනය කිරීමට තර්ක සූදානම් කරන බවත්, එය භයානක තත්ත්වයක් බව‍ත් එමගින් ළමුන්ගේ, ළමා කාලය විනාශ වන බව පුබුදු ජයගොඩ පැහැදිලි කළේය.



මේ අතර උසස් පෙළ හදාරන සිසුන්ගේ අධ්‍යාපන වියදම් සීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙන බවත්, එම වියදම් පියවා ගැනීම සඳහා එම සිසුන්ට රැකියාවල නිරත වීමට සිදුව ඇති බවත්, එවැනි තත්ත්වයන් 1943 වසරේ දී නිදහස් අධ්‍යාපන කාරක සභාවේ දී ලබා ගත් විශාල ජයග්‍රහණයක් ආපස්සට හැරවීමක් බවත් ඔහු පැවසීය.



එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ, වර්තමානයේ පවුල් ලක්ෂ නවයක් එක් ආහාර වේලකින් පමණක් දිවිය පවත්වාගෙන යන බවත් එවැනි තත්ත්වයකට රට පත් වීම තුළින් සමාජයක් ලෙස අපි යන්නේ කොතනට දැයි ගැටලුවක් මතුවන බවයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය සමාජමාධ්‍ය තුළ මේක සාධාරණීකරණය කරන පිරිසක් ද සිටින බවත් ඔහු කියා සිටියේය.

එසේ ම වැඩිහිටියන්ට රැකියාවල නිරත වී ජීවත් විය නොහැකි නිසා, අද තම දරුවත් රැකියාවට යවන්න සූදානම් වන තත්ත්වයක් උදා වී ඇති බවත්, පොදු සමාජ අරමුදල් දේශපාලකයන් ඇතුලු කොටසක් වෙනුවෙන් වෙන් කර දරුවන්ගේ ජීවිත විනාශ කිරීමට පාලකයන් කටයුතු කරන බවත් ඔහු මාධ්‍ය හමුවේ දී රජයට චෝදනා කළේය.

තව ද වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මවුවරුන් විදෙස් රැකියාවලට යාම තහනම් කරමින් පනවා තිබූ නීතිය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, කම්කරු අමාත්‍යවරයා කියා සිටින පරිදි ළමයා කිරි බොන්නේ නැත්නම් අම්මා ළග ඉන්න අවශ්‍ය නෑ වැනි තර්ක ගොඩ නැගීමට උත්සහ කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව, මෙකී නීතිමය ප්‍රතිසංස්කරණ සහ ජනාධිපතිවරයාගේ 'රී සෙටින්ග්' ආර්ථික වැඩපිළිවෙල අතරේ ගොඩක් සමානකම් තිබෙන බව ද ඔහු පවසයි.


මේ පිළිබඳව ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ලංකාවේ මිනිස්සු අරගල කළ බවත්, සටන් කිරීමට මිනිස්සු තීරණය කළ බවත්, මෙවැනි සිදුවීම් සමග නැවත අරගල කිරීම හැර වෙන කළ හැකි අන් දෙයක් නොමැති බවත් ය.

දරුවන් වෙනුවෙනුත් සටන් කල යුතු තත්වයක් මේ මොහොතේ උද්ගත වී ඇති බව පැවසු පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා, එබැවින් අලුත් වටයකින් යලි අරගලය පනගැන්විය යුතු යයි තමා යෝජනා කර සිටින බවත් ඔහු මෙහි දී කියා සිටියේය.