SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තනි ආසනයක් තියාගෙන පාර්ලිමේන්තුවේ හිටපු රනිල්, දැන් අගමැති .

එජාප පාක්ෂිකයින් විමතියෙන්. තවමත් අදහා ගන්න බැරුව වගේ . එජාපය නම් මොකක්ද?  සජබත් අවුල් වෙලා. සජිත් හොඳටම අවුල් වෙලා.  රටේ අනිත්  දේශපාලන පක්ෂත් අවුල් වෙලා. ඒවායේ  නායකයොත් අවුල් වෙලා. උපදේශකයනුත් අවුල් වෙලා. අරගලයත් අවුල් වෙලා. කොටින්ම රටම තක්බීර් වෙලා.

දැන් එක එක්කෙනා එක එක විග්‍රහ දෙන්න අරගෙන. සජිත් ජනාධිපතිට ලියුම් පිට ලියුම් ලියනවා. එක අතකින් සජිත්ගේ දුක සාධාරණයි.

මොකද මැයි 6 කැබිනට් රැස්වීම වෙලාවේ  ජනාධිපති සෘජු තීන්දුවක් දීලා තිබුනා , අගමැති මහින්දට ඉල්ලා අස්වෙන්න කියලා. ඒ දැනුම්දීමෙන් පස්සේ , ජනාධිපති ගෝඨාභය , විපක්ෂ නායක සජිත් ට තමයි ආරාධනා කරේ, අගමැති ධූරය භාරගෙන අලුත් ආණ්ඩුව හදන්න කියලා.

සජබ මන්ත්‍රීවරුන් කියන විදිහට පළවෙනි ඇමතුම ජනාධිපති දුන්නේ සජිත්‍ට . හැබැයි සජිත් වටින් ගොඩින් ඒක ප්‍රතිකේෂ්ප කලා. හැබැයි පොරොන්දුවක් දුන්නා සමගි සන්ධානයේ අනිත් පිරිසත් එක්ක කතා කරලා කියන්නම් කියලා .

ඔය අතරේ ජනාධිපති සහ සජබ නියෝජිතයන් වුනු, රංජිත් මද්දුමබංඩාර, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් , එරාන් වික්‍රමරත්න සමග සාකච්ඡාත් ගියා.

ඒ විතරක් නෙවෙයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ත් ගිහින් සාකච්ඡා කරලා තිබුනා . අන්තිමට කොන්දේසි විතරයි අගමැති ධූරය බාරගන්න සජිත් ආවේ නෑ .

නමුත් ඉතිං ආණ්ඩුව ඇතුලේ බෙදුම ඇත්තටම හැදුවේ සජිත්ලා නෙවෙයි . ඒක හැදුවේ විමල්ලා , ගම්මන්පිලලා, වාසුලා , ටිරාන් අලස් ලා.

එයාලා තමයි කෙලින්ම ගිහින් ජනාධිපතිට පැමිණිල්ල දැම්මේ , බැසිල් සහ එයාගේ ගජමිතුරු නඩය ආණ්ඩුව සුද්ද කරන බව.

ඉක්මනින්ම  මිනිස්සු පාරට බහින බව.

ජනාධිපති ගේ මිරිහානේ ගෙදරටම ගිහින් තමයි පැමිණිල්ල දැම්මේ . ඒ විතරක් නෙවෙයි , පුලුපුලුවන් විදිහට ෆයිට් කරා.

ෆයිල් එක්ක බඩු මාට්ටු වුනාම, ජනාධිපති මුලින්ම කිව්වේ බැසිල්ට යන්න කියලා . ඒත් බැසිල් ගියේ නෑ . එහෙනම් මම යන්නම් කියලා , මහින්ද නැගිටලා තමයි , එදා වැඩේ බැලන්ස් වුනේ.. අන්තිමට විමල්ට , ගම්මන්පිල ට ඇමති ධූර නැති වුනා. වාසුත් පැත්තකට වැටුනා. හැබැයි විමල්ලා දිගටම ගේම අල්ලගෙන හිටියා.

ඔය අස්සේ තමයි ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම  හැදෙන්නේ . ඒ එක්ක ගොවියන් , ගුරුවරුන් , ශිෂ්‍යයන්, රාජ්‍ය - පෞද්ගලික සේවකයින් , වෘත්තිකයන්, කම්කරුවන්, සිවිල් සංවිධාන,  මේ විදිහට, ආණ්ඩුවේ පීඩනයට පත්වෙච්ච සියලු කොටස් එකට එකතු වෙනවා.

ඒ නිසා අරගලය අසීමිත ශක්තියක් ලබනවා . ඒක ඔච්චර අත්දැකීම් තියන මහින්ද පවා දැනගත්තේ මැයි 9 වෙනිදා . ගෝල්ෆේස් අරගල බිම ට මැරයන් දැම්මට රිටර්න් එක ආවේ, හිතාගන්න බැරි විදියට . මැති ඇමතිලා විතරක් නෙවෙයි , එදා අරලිය ගහ මන්දිරය ට ආපු හැමෝම වගේ හොඳට කෑවා.

 බහුතරය පෙන්නනකල් යන්නේ නෑ කිව්ව මහින්ද  අගමැති , ඉල්ලා අස්වෙනවා විතරක් නෙවෙයි, බංකරයක හැංගෙන්නත් සිද්ධ වුනා. අද මහින්දට ළඟ ඉන්නේ , කැප්ටන් නෙවිල් විතරයි .

මහින්ද අගමැති ඉල්ලා අස්වෙලත්, සජිත් නෙවෙයි, අගමැති ධූරය බාර ගත්තේ . ඒ වෙනුවට සජිත් මාධ්‍ය හමුවකදී කියන්නේ, ජනාධිපති යටතේ, අන්තර් වාර ආණ්ඩුවක , කිසිම වගකීමක් ගන්නේ නෑ කියලා .

කොහොම හරි , මහින්ද ඉල්ලා අස්වෙලා පැය 48ක් යනකල් , රටේ අගමැතිවරයෙක්  නෑ , ඇමති මණ්ඩලයක් නෑ .

දැන් පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියන්නේ , සජිත්‍ට ආණ්ඩුව ගන්න කිව්වට,  මග හැරපු නිසා ස්වාධීන කණ්ඩායමට ජනාධිපතිතුමා ආරාධනා කලා කියලා . ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත්, අන්තර්කාලීන ආණ්ඩුවක් හදන්න සාකච්ඡා කරලා. පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම පක්ෂයක් එක්කම, සාකච්ඡා කරලා. ඒත් සාර්ථක වෙලා නෑ .

අන්තිමට ජනාධිපතිතුමා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ට , අගමැති ධූරය බාරගන්න කියලා ආරාධනා කරලා.

ආරංචි විදිහට නිමල් සිරිපාල ද සිල්වා , ඩලස් අලහප්පෙරුම , විජේදාස රාජපක්ෂ කියන නම් තුන , ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඇතුලේ යෝජනා වෙලා. හැබැයි මේ නම් තුන ජනාධිපති ළඟට ගිහින් නෑ . විජේදාස මන්ත්‍රීතුමා නම් කියලා තියෙන්නේ , ඇතුලේ කඹ ඇදපු නිසා අන්තිමට කාටවත් නැති වුණා කියලා.

ඕවයේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ . ළඟ ළඟ අය සෙට් වෙලා කියන ඒවා තමයි , අපිටත් එන්නේ.

කොහොම හරි අගමැති ධූරය භාරගන්න කෙනෙක් නෑ . සජිතුත් කොන්දේසි විතරයි , අනුරත් නෑ , ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් නෑ .

ඒ මදිවට මහින්ද ගියෙත් රට ගිනි තියලා. එක රැයෙන් මැති ඇමති ගෙවල් පනස් ගාණක් ගිනි ගන්නවා.

ගෙවල් කුඩු වෙනවා, පාරේ කාර් බස් ගිනි තියලා, රටම අස්ථාවර වෙලා. ප්‍රචණ්ඩත්වය මර්දනය කරන්න හමුදාව පාරට ආවා. වෙල්ලමුල්ලි වයික්කාල් වගේ , මහ දවල් සන්නා සන්නද්ධ රථ නගර වල යන්න ගත්තා .

අගමැති ධූරයට කවුරුත් නෑ , ඔහොම ගියොත් ශවේන්ද්‍ර ට තමයි අගමැති ධූරය කියලා , ලොකු හාහොවක් ගියා. සාමාන්‍ය  මිනිස්සු විතරක් නෙවෙයි ,දේශපාලනඥයින් පවා තිගැස්සුනා.  හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා , විපක්ෂ නායක සජිත්  පවා, හමුදා පාලනයක් ගැන රටට අනතුරු ඇගෙව්වා.

ඒ වෙනකොට පැය 48 ක් ගෙවිලා හමාරයි. ජනාධිපති විතරයි , ආණ්ඩුවක් නෑ . ඔය අතරේ ජනාධිපති ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ක දිගටම සාකච්ඡා කළා කියලා තමයි පොහොට්ටු ආරංචි කියන්නේ .ඒ විතරක් නෙවෙයි , ජනාධිපති ගේ සමීපතම හිටපු මැති ඇමතිලා කිහිපදෙනෙකු එක්කත් සාකච්ඡා කරලා .

ආරංචි විදිහට ගොඩක් සාකච්ඡා අවසානයේ ජනාධිපතිට යෝජනා වෙනවලු නමක් , ඒ තමයි රනිල් වික්‍රමසිංහ .

ඔය වැඩේට මේ වෙලාවේ හරියන්නේ රනිල්. ඔය යෝජනාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වගේම , ශ්‍රීලනිප වෙනමත්, පොහොට්ටු මන්ත්‍රීන් අතරිනුත් ඇවිත්.

ඒ විතරක් නෙවෙයි , ඒ වෙනකොට , මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව , සිවිල් බුද්ධිමතුන්, ජනාධිපතිගේ විදෙස් මිතුරන් වගේම ආරංචි විදිහට , ප්‍රබලම මට්ටමේ තානාපතිවරුන් පවා යෝජනා කරලා තියෙන්නේ , විකල්පය හැටියට රනිල්ව.

ඔන්න ඔහොම ලැබුණු යෝජනාව තමයි රනිල් භාරගන්නේ. ඔය වෙලාවෙ තමයි සජිත්‍ට දෙලෝ රත් වුනේ. හදිසියේ ලියුමක් එක්ක නියෝජිතයන් එව්වත්, ජනාධිපති ඒ පිරිස හරවලා යවලා තියෙන්නේ , " දැන් මට වචනේ වෙනස් කරන්න බෑ. අගමැති වෙන්න ඕන නම් දැන් , පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නන්න" කියලා.

දැන් ඉතිං සජිත් දවල්ට  ප්‍රෙස් තියලා රනිල්ට ගහනවා. රෑට ජනාධිපතිට ලියුම් ලියනවා .

ඔය මොනවා කරත් මේ වෙනකොට සජබ , ජාජබ , TNA  ඇතුළු විපක්ෂය ට තියෙන්නේ ආසන 70 යි. එයින් දැනටමත් මුස්ලීම් මන්ත්‍රීවරුන් දෙන්නෙක් අනිවාර්යයෙන් රනිල්ගේ සහයට යනවා කියලා කියන්නේ . ඒ විතරක් නෙවෙයි , නොකර සද්ද හිටියට සජබ මන්ත්‍රීවරුන් පිරිසකුත් යන්න ඇඳුම්  මැදලා ඉන්නේ කියලා තමයි , දැනගන්න තියෙන්නේ .

ඔය අතරේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඊයේ මාධ්‍ය හමුවක් තිබ්බා . ඔවුන්ගේ ස්ථාවරය විදියට කිව්වේ, රනිල්ගේ ආණ්ඩුවට යන්නෙත් නෑ , අංචි අදින්නෙත් නෑ කියලා .

ඒත් ඉතිං ඔය මාධ්‍ය හමුවට  කලින් තිබුන සාකච්ඡාවෙදී නම් , ඇමති ධූර ගන්න එකඟ වුණ, ආරාධනා ලැබුණ අයත් හිටියා කියලා තමයි ආරංචි.

ටිරාන් අලස් ට අමාත්‍ය ධූරයක් සඳහා ආරාධනා ලැබිලා . ඒ වගේම ජනාධිපති පෞද්ගලික ආරාධනයක් විජේදාස ට කරාලු එයා වෙනුවෙන් අධිකරණ අමාත්‍ය ධූරය බාරගන්න කියලා.

ඊයේ ශ්‍රී ලංකා එකත් මාධ්‍ය හමුවක් තියලා ඇමති ධූර ගන්නේ නැති කතාවක් තමයි කිව්වේ. ඒත් ආරංචි විදිහට ශ්‍රී ලංකා එකට රනිල්ගේ ඇමති මණ්ඩලේ අමාත්‍ය ධූර 4-5ක් තියෙනවා . ඒ අස්සේ , නම් වගයකුත් ලීක් වෙලාලු.  නිමල් සිරිපාල ,  දුමින්ද දිසානායක , මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න වගේ නම් ටිකක් තමයි එළියට ඇවිත් තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි , ශ්‍රී ලංකා එක ඊයේ ප්‍රෙස් එක තියන්න කලින් මධ්‍යම කාරක සභාව රැස්වෙලා . එතනදි බදුල්ලේ චාමර සම්පත් ප්‍රසිද්ධියේ කිව්වලු, ඇමති ධූර එපා, හැබැයි මෙහෙම ගියොත් ගමට යන්නත් බැරි වෙනවා. ඒ නිසා මම රනිල්ට සහය දෙනවා කියලා . එහෙම කියපු චාමර සම්පත් අගමැති කාර්‍යාලයට ගිහින් වචනෙත් දුන්නා කියලා තමයි ආරංචි . ඒ විතරක් නෙවෙයි , මොණරාගල ජගත් පුෂ්පකුමාර වගේම නිමල් කියලා නමකුත් ඒ අතරේ තිබුනලු . තවත් නම් වෙලාවට එලියට එයි කියලයි කියන්නේ .

පොහොට්ටුවට මේ වෙනකොට මන්ත්‍රී ආසන 105 ක් තියෙනවා .අලිසබ්‍රි සහ රමේෂ් පතිරණ ඇතුළු කිහිපදෙනෙක් තමයි අමාත්‍ය ධූර එපා කියලා තියෙන්නේ . මේ වෙනකොට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ආසන 50ක් තියෙනවා . එයින් නිමල් ලන්සා ගේ හය දෙනාගේ ටීම් එක කෙලින්ම රනිල්ගේ ආණ්ඩුවට යන්නලු ඉන්නේ .

ඒ  විතරක් නෙවෙයි , ගෝඨාභය ජනාධිපති ට ඉනාවක් කැව්වා වගේ , රනිල් ව ඔච්චර ඉක්මනින් උඩට ඉස්සුවේ  කවුද කියලත්, හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ . පසුගිය පැය 48 ම ගොඩක් අය , සේරටම වඩා උනන්දු වුනේ ඒ ගැන . ඒ ගැනත් ඉතිං නම් කිහිපයක් ඇවිත් තියෙනවා . නිමල් සිරිපාල , අනුර ප්‍රියදර්ශන යාපා , නලින් ප්‍රනාන්දු , දුමින්ද දිසානායක , මහින්ද අමරවීර වගේ නම් ටිකක් තමයි එතනත්  තියෙන්නේ .

කොහොමින් කොහොම හරි ඔන්න ඔහොම තමයි , රනිල් අගමැති වෙන්නේ . ඇමති ධූර ලැබෙන්නෙත් 18ක් වගේ ලු. ඒ කියන්නේ  ඉතිං අභියෝගය සුළුපටු නෑ . මාස 2ක් 3ක් යනකොට පෝලිම් ටික ඉවර කරලා ආර්ථික ය පීල්ලට දැම්මොත් රනිල් ගොඩ.  නැත්නම් ඉතිං බේරේ තමයි. හැබැයි ඉතිං රනිල් නම් කියන්නේ , රට වෙනුවෙන් කරන හොඳ දේවල් වලට හැමෝම සහය දෙනවා කියපු නිසා , දැන් සහය දෙන්න ලෑස්ති වෙන්න කියලා . 

ඔන්න ඔහොම රනිල් රට හදන්න යන අස්සේ , නාමල් රාජපක්ෂ විපක්ෂ නායක වැඩේට බැහැලා.  මේ වෙනකොට නාමල් නීතිඥ කණ්ඩායමක් එක්ක ගෙවල් ගිනි ගත්තු, දේපල හානි වුනු අය වෙනුවෙන් වන්දි අරගෙන දෙන්නම් කියලා ඩේටා බේස් හදනවලු.  බැසිල් බාප්පත් එලියේ නැති නිසා ,

 මහින්ද මැසේජ් එක දීලා වගේ .

ඔය අස්සේ තවත් කතාවක් තියෙනවා කියන්නම ඕන. ඒ තමයි හුඟාක් අය අහනවා, හොයනවා, අගමැති ධූරය සඳහා හාමුදුරුවන් පවා යෝජනා කරලා තිබුන, හිටපු කතානායක කරූ ජයසූරිය ට මොකද වුණේ කියලා . අපි ඒ ගැනත් හොයලා බැලුවා . ආරංචි විදිහට කරූ නිර්පාක්ෂික අගමැති කරන්න පාර්ලිමේන්තු එන්න ඕන. ඒ වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා තිබුණේ , සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක . මයන්ත මේ ටිකේ හිටියේ කැනඩාවේ . මයන්ත කරූටත් කියලා තිබුනා , " හරි අංකල් මම අයින් වෙන්නම්" කියලා . හැබැයි මයන්ත වෙලාවට ආවේ නෑ .මයන්ත එන්නේ හෙට.  එතකොට කවුද මයන්තගේ ගමන  පරක්කු කරන්න උපදෙස් දුන්නේ .? අපිට ඒ ගැන ලැබුණ  නම සජිත් ප්‍රේමදාස .

ඔන්න ඔහොම තමයි , තනියම ආපු රනිල් අගමැති වෙනකල් පහුගිය ටිකේ දේශපාලන ය.