SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අද පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද ඔහු සඳහන් කළා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”

සැබවින්ම , මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව, මේ වන විට පැය 48ක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට දේශපාලන බලධාරීන් මෙතෙක් සමත්ව නෑ .

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (මැයි 11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම පවා පවත්වනු ලැබුවේ, Zoom තාක්ෂණය ඔස්සේ ..

යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 වැනිදා වුවත් පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුවක් පත් කිරීම එදිනටත් අවිනිශ්චිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ .

පසුගිය 09 වැනිදා සාමකාමී විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රටපුරා ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා දෙවන දිනටත් ඊයේ රාත්‍රියේත් ඇතැම් ස්ථාන වල සිදුවීම් වාර්තා වී තිබෙනවා .

එනිසා රට පුරා පනවා ඇති ඇඳීරි නීතිය හෙට (මැයි 12 වැනිදා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර තිබෙනවා .

කෙසේ වුවත් රටේ මතුව තිබෙන මේ තත්ත්වය ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉතාම අහිතකර බලපෑමක් සිදුකරන බව ඉතා පැහැදිලි යි.

මේ පසුබිමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත්කළ නිවේදනයක පවසන්නේ,
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බවයි.

නව රජයක් පත් වූ විගස ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීමට සුදානම් වීම සඳහා තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා .

එහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි සඳහන් කර ඇත්තේ ,
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර සමාජයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින බවයි"

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා මැයි 9-23 දක්වා පැවැත්වනු ඇත!