SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

වර්තමාන රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයැයි බල කෙරෙමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අභියස පැවැත්වෙන ජන අරගලය වෙනුවෙන් 43 සේනාංකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

43 සේනාංකයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

මාධ්‍ය නිවේදනයයි

2022.04.15

ජන අරගලය සහ පාර්ලිමේන්තුව අතර සංවාදයක් ඇරඹීම සඳහා මැදිහත්වන්න!

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල හා එහි සමීපතමයන්ට ධූරයන් හැර යන ලෙස බලකරමින් දැනට දින කිහිපයක් තිස්සේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව පැවැත්වෙන ජන අරගලය, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් දැක ඇති වඩාත්ම ආශ්චර්යවත් හා ආකර්ශනීය දේශපාලන සිදු වීමක් බවට සැකයක් තිබිය නොහැකිය. විශේෂයෙන්ම ඊට සම්බන්ධව සිටින තරුණ තරුණියන් වෙතින් දක්නට ලැබෙන සටන්කාමී ජීව ගුණයත්, ඒ සමගම ප්‍රදර්ශනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදීභාවය, ශිෂ්ටත්වය හා නවීනත්වයත්, මුළු මහත් සමාජයේම ගෞරවයට හේතු වී තිබේ. කිසිදු එක් තනි දේශපාලන කණ්ඩායමකට අයත් නැති නමුත් රාජපක්ෂ විරෝධී ඒ සියලු දෙනාගේම පොදු අධිෂ්ඨානය මේ ජන අරගලය තුළ දක්නට හැකිය. ඒ අනුව මේ සටන ජයග්‍රහණයෙන් නිමා වී මේ රටට ශාපයක්ව සිටින, අපකීර්තිමත් පවුල් පාලනය ඉක්මනින්ම අවසාන වේවා යනු අපගේ ද අවංක බලාපොරොත්තුවයි. එයින් තොරව මේ රටට අනාගතයක් ගැන සිතීමටවත් නොහැකිය.

එසේ හෙයින් පළමුවෙන්ම කිව යුත්තේ මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් හා සාකච්ඡාවට එන්නැයි සටනේ නියුතු වූවන්ට කර ඇති ආරාධනය සළකා බැලීමේවත් අවශ්‍යතාවක් නොමැති බවය. පොදු මහජනතාවගේ ඉල්ලීම පැහැදිලිය. එනම් රාජපක්ෂ පවුල් පාලනය අවසන් විය යුතුය යන්නයි. ඒ නිසා රාජපක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම කෙසේ සිදු වන්නේද යන කරුණ පිළිබඳව විනා ඔවුන් සමග සාකච්ඡා කළ යුතු අන් දෙයක් තිබිය නොහැකිය.

නමුත් ඒ සමගම අප තරයේ විශ්වාස කරන්නේ මේ මහජන අරගලයේ පරමාර්ථයන් සාක්ෂාත් කර ගත හැකි වන්නේත්, එසේම අරාජකත්වයට ගොදුරු නොවී අපේ රටට අනාගතයක් ගොඩ නගා ගත හැකි වන්නේත්, මේ අරගලයට සමාන්තරව ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයක්ද දියත් වන්නේ නම් පමණක් බවයි. අවාසනාවකට එක් අතකින් ආණ්ඩු විරෝධී මහජන නියෝජිතයන්ට මේ ඓතිහාසික මොහොතේ තමන්ට පැවරී ඇති බරපතල වගකීම පිළිබඳව නිසි අවබෝධයක් ඇති බවක් නොපෙනේ. අනෙක් අතට කලින් කලට රවටනු ලැබීමෙන්, කෝපයට හා අපේක්ෂා භංගත්වයට පත්ව ඇති ජනතාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහත් සේ කලකිරී සිටින බැවින්, ඔවුන්ද ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමනයන්හි ශක්තිය පිළිබඳව විශ්වාස නොකරන මානසිකත්වයකට පත්ව ඇත. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා නීත්‍යනුකූල ලෙස බලයෙන් පහ කිරීම සහ එයින් පසු මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමයක් යළි ගොඩ නගා ගැනීම යනු කරුණු සම්බන්ධයෙන් බරපතල මෙන්ම භයානක අවිනිශ්චිතතාවක් ඇති වී තිබීමය.

කවුරුන් කුමක් කීවත්, කුමනාකාරයෙන් අවතක්සේරු කරන්නට උත්සාහ කළත්, යථාර්ථය වන්නේ ගෝඨාභය පළවා හැරීම සඳහා වූ ජන අරගලය මේ රටේ දේශපාලන අනාගතය තීරණය කිරීමේ ප්‍රධානතම මහජන මැදිහත්වීම බවට දැන් පත්ව තිබේය යන්නයි. එසේම කුමන විවේචන තිබුනද, පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමයන් තවමත් මේ රටේ ආණ්ඩුකරණය හා මහජන ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සාධනීය ලෙස ප්‍රයෝජනයට ගත හැකි මට්ටමකට ශක්තිමත් බවද අමතක නොකළ යුතුය. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රය වන ශ්‍රී ලංකාව විවිධ අභියෝග මැද තම ප්‍රජාතන්ත්‍රවාදී උරුමය මේ තාක් රැක ගත් අයුරින්ම මේ ජාතික අභියෝගයද ඒ දේශපාලන සාරධර්ම රැක ගනිමින්ම ජයග්‍රහණය කළ යුතු යැයි අප විශ්වාස කරමු. ශ්‍රී ලංකාවට මීට වඩා යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමේ අවස්ථාව ඇත්තේ ඒ මාවතෙහි පමණය.

එසේ හෙයින් මේ ජනතා අරගලය සහ පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු විරෝධී මහජන නියෝජිතයන් අතර සංවාදයක් ගොඩ නගා ගැනීම ඉතා ඉක්මනින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තකැයි අපි විශ්වාස කරමු. එනම් රාජපක්ෂ පවුල් පාලනය ඉක්මනින් අවසන් කොට ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගැනීම සඳහාත්, එසේම ඒ පවුල් පාලනය මගින් නිර්මාණය කළා වූ ආර්ථික ව්‍යසනයෙන් සාර්ථකව ගොඩ ඒම සඳහා වූ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනින් ඇති කර ගැනීම සඳහාත්, ජනතාව සහ පාර්ලිමේන්තුව අතර ඒකමතියක් සහ සම්මුතියක් ඇති කර ගැනීම වහා කළ යුතුය. එහෙත් ඒ සඳහා පළමුවෙන්ම පාර්ලිමේන්තුව සහ ජනතා අරගලය අතර දැනට ඇති වී ඇති දුරස්ථභාවය නිම කිරීම අවශ්‍යය. එය කළ හැක්කේ දෙපාර්ශ්වයේම විශ්වාසය දිනාගත් සිවිල් සංවිධානයන්ට පමණකි. එබඳු සංවිධාන ලෙස අපට හඳුනා ගත හැකි වන්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව ආදියයි. ඒ අනුව මේ අරගලයේ අරමුණු ජය ගැනීම සඳහා වූ සම්මුතියක් බිහි කර ගැනීමේ කටයුත්ත සඳහා පාර්ලිමේන්තුව සහ මහජන අරගලය අතර විධිමත් හා විවෘත සංවාදයක් ඇති කිරීම සඳහා ඉක්මනින්ම මැදිහත් වන මෙන් එකී සංවිධානවලින් ඉතා කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

විශේෂයෙන්ම මෙහිදී අවධාරණය කළ යුතුම කරුණක් වන්නේ ජනතා අපේක්ෂාව වන්නේ රාජපක්ෂ පාලනය අවසන් කර, ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරභාවය තහවුරු කර ගනිමින්, රට දැනට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒම විනා කිසිසේත්ම අරාජකත්වයට තල්ලු වී යාම මගින් තව තවත් ආර්ථික අගාධයේ අඳුරු පතුලට ඇදී යන ඉරණමකට ලක් වීම නොවන බවය. ඒ සඳහා වූ මාර්ගය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථානුකූලවාදය තුළය. එහෙයින් මේ ජන අරගලය හා ව්‍යවස්ථාදායකය අතර සංවාදයක් තුළින් ගොඩ නැගෙන සම්මුතියක් මේ මොහොතේ අත්‍යවශ්‍යය. අප පෙර කී සිවිල් සංවිධානවලින් ඉල්ලා සිටින්නේ එම යුතුකම ඉටු කිරීම සඳහා සක්‍රීයව හා අනලස්ව මැදිහත් වන ලෙසය.

රාජපක්ෂ පවුල් පාලනය පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගනිමු

ආර්ථික අගාධයෙන් ගොඩ එමු

ස්තූතියි.

කරුණාරත්න පරණවිතාන.

43 සේනාංක සභාපති.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි